යම් පිරිමියකු හෝ කාන්තාවක ඔබ දෙස බලන බැල්මෙන් හෝ ඉඟිබිඟි පෑමෙන් ඔවුන්ගේ චරිතය පිළිබඳව යම් අවබෝධයක් ලබාගැනීම අප කාටත් වැදගත්වේ. විශේෂයෙන් අඹුසැමියනට ප්‍රීතිමත් යුග ජීවිතයකට මගපෙන්වීම සඳහාත් පෙම්වතුන්ට ඔවුනොවුන් ගේ සිතැඟි දැනගැනීමට, ආදරය තහවුරු කරගැනීමට මග සලසා ගැනීම සඳහාත් ඉඟිබිගියෙන් හා බලන බැල්මෙන් හඟවන රහස් දැනගත යුතුමය. සමාජයේ ජීවත්වෙන අපිට විවිධ තරාතිරමේ පුද්ගලයන් හමුවෙයි. සමහරු ඔබේ මුහුණ දෙස කෙලින්ම බලයි. තවත් සමහරු ඉවත බලාගෙන යයි. ඇතැමෙක් ඔබේ හිසේ සිට දෙපයේ මාපටඟිල්ල දක්වා බලයි. මෙලෙසින් බලන්නේ හෝ නොබලන්නේ කුමන හේතුවක් නිසාදැයි දැන ගැනීම ඔබට ඉතා වැදගත්ය.
කෙනෙකු බිම බලාගෙන හෝ වෙනතක් බලාගෙන තනිව ගමනේ යෙදේ නම් හෝ බියපත් ස්වරූපයක් දැක්වුවහොත් හෝ ඔවුන් ඔබට අවනත කර ගැනීම පහසුය. ඔබට ස්ථිර ලෙසින් බියක් දක්වයි. ගරු කරයි. ඔවුන් ඔබට යම් සේවයක් කරදීමට ද කැමැත්තක් දක්වයි. කිසිසේත්ම ඔවුන් ඔබ හා තරගයට නොඑයි. ක්ෂණික පරාජය පිළිගෙන සමාව ඉල්ලා සිටිනු ඇත. කෙලින්ම ඔහු ඔබේ මුහුණ දෙස බලන්නේ ද හිසේ සිට දෙපතුල දක්වා පරීක්ෂාකාරීව බලන්නේද, එම පුද්ගලයන්ගෙන් ඔබ ප්‍රවේශම් වියයුතුය. ඔහු කිසි ලෙසකින් ඔබ කියන දෙය විශ්වාස නොකරයි. ඔහු කිසිසේත්ම ඔබට අවනත නොවේ. යටහත් පහත්ද නොවේ. ඔබ කෙතරම් විනීතව හැසුරුනත් ඔබ ගැන සැකයෙන් පසුවේ. ඔහු සමග තරගයට යැමද සුදුසු නොවේ. අනිවාර්යයෙන්ම ඔබට ජයගත නොහැකි වනු ඇත. ඉතාමත් කලබලකාරී වටපිට බලමින්ද එකිනෙකාගේ මුහුණ දෙස බලමින්ද එක ඉරියව්වකින් නොසිටින පුද්ගලයන් ඔබ දැක ඇති. ඔවුන් කුමක් හෝ ගැටලුවකට මැදිවී සිටී. ඔවුන්ට උදව් කරනු මිස කරදර නොකරන්න. හිරිහැර කිරීමෙන් ඔවුන් නයින් සේ කිපී ඔබට තදබල ලෙස හානිකරනු ඇත. දුටුවිට උඩ බිම බලමින් හිස කසන පුද්ගලයා අනිවාර්යයෙන්ම ඔබ මෝඩයකු ලෙස සැලකීමට සූදානමින් සිටින්නෙකි. ඔබව නුසුදුසු කරමින් ගරු බුහුමන් දක්වන්නේද ඉහත අරමුණෙනි. ඔහු ඔබේ ගුණවර්ණනා කරන්නේද ඔහුට ලැබෙන ලාභ අපේක්ෂාවෙනි.
කාන්තාවකගේ සුකුමාල ඉරියව් හා ආචාරශීලී බව ඇයට ජන්මයෙන්ම ලැබෙන දායාදයක් වන්නේය. එහෙයින් තම සිතැඟි සියල්ල වචනවලින් පැවසීමට තරම් ඇය බොහෝ විට එඩිතර නොවන්නීය. මෙලෙසින් ප්‍රකාශයට පත් නොවී හද තුළ බුර බුරා නැගෙන ආශාවල් සිතැඟි අන් අයට දැන්වීමට ඇය උපයෝගී කරගන්නා අවිය වනුයේ ඉඟි බිඟි බව කිව යුතුය. මේ අයුරින් රහස් රැකීමේ හැකියාව අතින් ඇය හැම විටම පිරිමියාට වඩා ඉදිරියෙන් සිටී.
ඔබේ බිරිඳ හෝ වෙනත් කාන්තාවක් ඔබට පෙනෙන සේ කොණ්ඩය ගසා දමා හෝ කඩාදමා නැවත නැවත ගොතයිනම් හෝ බඳියි නම් ඒ ඇය අනඟ රැඟුමක් රඟනු සඳහා කරනු ලබන ඇරයුමකි. සිඟිති දරුවන් සිප ගැනීමෙන් ඔවුන් සමග හඬ නගා සිනාසීමෙන් හෝ කතා කිරීමෙන්ද ඇය එවැනිම රහසක් කියනු ඇත. යම් කාන්තාවක් කිසිම හේතුවක් නොමැතිව කිහිලි පෙනෙන ආකාරය දෙඅත් ඔසවා ඈනුම් අරින්නේ නම් හෝ සිනහ වන්නී නම් එයින්ද ඇගේ හද තුල රඟදෙන රසකාමී හැඟීම් එළිදක්වන්නීය. ඔබ මහ මග යන විට හෝ වෙනත් අයුරකින් ඔබ නෙතට හසුවන ලෙස යම් අඟනක් ගෙදර දොරටුවේ සිට ආශාවෙන් දැල්වුන දෙනෙතින් ඔබ දෙස බලන්නේ නම් හෝ අඟර දඟර පාන්නී නම් ඒ ඇය සිකුරා ඔබට අත වනන බව ඉඟි බසින් හඟවනු වැනිය. තවද යම් ස්ත්‍රියක් ඇඳ සිටින ඇඳුම නිතරම හරි ගස්සමින් හැඩ බලයි නම් ඇගේ ජීවිතයෙන් සඟවා ගත් රහස් ගොඩක් ඇති බව කියනු ලැබේ.
මනස තුළට පිවිසෙන ඉතා සියුම් හැඟීමක් වුවද දෙඅත් ක්‍රියාත්මක වන ආකාරයෙන් හඳුනා ගැනීමට නවීන මනෝ විද්‍යාඥයන්ගේ පරීක්ෂණවලින් හෙළිවී ඇත. එහෙයින් ගැහැණියක් අතේ ඇති ඇඟිලි හසුරුවන ආකාරයෙන්ද ඇයගේ හදවත තුළ තෙරපෙන සිතිවිලි කවරේදැයි හඳුනාගත හැකිය.
වෙදඟිල්ලෙහි මුද්දක් පැළඳීම සාමාන්‍යයෙන් විවාහක බව විවාහ ගිවිසගෙන ඇති බව පෙන්නුම් කරන ලකුණක් බව කවුරුත් දන්නා දෙයකි. නමුත් සුලඟිල්ලෙහි මුද්දක් පැළඳ ගෙන සිටින කාන්තාවක් ඔබ දුටුවහොත් ඇය ගැන ඔබ ඇතිකර ගන්නා හැඟීම කුමක්ද? විවාහ ජීවිතයෙහි වගකීම භාර ගැනීමට තරම් ආත්මශක්තියක් ඇයට නැත. එහෙයින්ම ඇය අවිවාහකව සිටීමට කැමති වන්නීය. ප්‍රේම රාජ්‍යයෙහි අභිෂෙස් ලැබීමට ආශාවෙන් ඒ ගැන අහස් මාලිගා තතන තැනැත්තිය මැද ඇඟිල්ලෙහි හෝ දබර ඇඟිල්ලෙහි මුදුවක් පළඳිනා බව කියෑවේ. යම් කිසි කාන්තාවක් ඔබට පෙනෙන සේ බැරිවීමකින් මෙන් ඇගේ ලේන්සුව බිම දැමුවා නම් ඒ ඉඟියෙන් ඇය පවසන්නේ ඇය ඔබේ ආදරය පතන බවකි.
ලේන්සුව ඇඟිල්ලක පටලවයි නම් ඇයට වෙනත් පෙම්වතෙක් සිටින බව ගොළුබසින් පවසන්නීය. විශේෂයෙන්ම ලේන්සුවක කොනක් වෙද ඇඟිල්ල වටා කරකවයිනම් එයින් ප්‍රකාශ කරන්නේ ඇය නීත්‍යානුකූලව විවාහ දිවියට පත්ව ඇති බවය.
යම් ස්ත්‍රියක් කතා කරන විට කකුලෙන් හෝ මහපට ඇඟිල්ලෙන් බිම අඳියි නම් ඇය ඔබේ ආදරය අයදියි. නමුත් කතා කරන අතර මහපට ඇඟිලෙන් වලක් හාරයි නම් ඒ ස්ත්‍රිය සමග ඇති සම්බන්ධතාවය නවතන්න. නැතිනම් ඇය නිසා මතුවට ඔබට විපතක් වනු ඇත. දැතේ ඇඟිලි පටලවාගෙන කථා කරන ස්ත්රියකගේත් ආදරය නොපතන්න. ඇය නිසා ඔබට නින්දා අපහාස ලැබෙනු ඇත. එක ඉරියව්වක නොසිට නටනවා වැනි ලතාවක් පාමින් ඉඟි බිඟි පාන්නේ සල්ලාල කතුන්ය. ඇගේ ආදරය ස්ථිර නැත. ආශාවන්ට මුල් තැන දෙයි. හිස සොලවමින් කතා කරන ස්ත්‍රිය පිරිමින්ට වදක භාර්යාවක් හා සමාන වේ. මලක් ගෙන සිඹ සිඹ ඔබේ මුහුණ දෙස බලන්නේ නම් ඇය ඔබේ ආදරය අපේක්ෂාවෙන් සිටියි. ඔබට ඇසෙන සේ ශබ්දයකින් ඉඟිකර යන්නියන්ද යහපත් නොවේ. එකවිට තුන්වරක් ඇසිපිය හෙළන කතුන්ගේ ජීවිත ඉතා වාසනාවන්තය. ගෘහ ජීවිතය බෙහෙවින් වාසනාවන්ත වේ. දෙමහල් තෙමහල් නිවාස ලැබීමේ වාසනාවද මොවුනට හිමිවේ. එක විට හතරවරක් ඇසිපිය හෙළන කාන්තාවන්ද වාසනාවන්තය. ස්ථිර දේපලවලට හිමිකම් කියයි. රටේ පතල කීර්තියක් හිමිවේ. ධනය ඉපයීමට උත්සාහ නොගත්තත් ලොතරැයි දිණුම්වලින් හෝ ධනවත්වේ. ඔවුන් තුළ කල්පනා ශක්තිය ඉතා බලවත්ය. යමක් නිවැරැදිව කිරීමේ ශක්තියක් උපතින්ම දායාද කොට ඇත.
We found this article from Divaina on 2013/01/18.
Also Sinhala to English Google word to word translation can be found here