එයාගේ හැටි මුහුණින් හඳුනා ගන්න

544
මුහුණින්
මුහුණින්

මුහුණින් ගති ගුණ හඳුනා ගත හැකිද? සංකීර්ණ සමාජයක්‌ තුළ ජීවත් වන අපි අපිට එදිනෙදා හමුවන අය පිළිබඳව යම් කිසි අවබෝධයක්‌ ලබාගත හැකි නම් ඔවුන් හා කටයුතු කිරීමට වඩාත් පහසුවෙයි. මේ සඳහා යම් යම් අය තුළ පිහිටි දේහ ලක්‌ෂණ ඔවුන්ගේ චරිතයන් තේරුම් ගැනීමට ඉවහල්වනු ඇත. විශේෂයෙන් ඔබ සාර්ථක විවාහ ජීවිතයක්‌ ගත කිරීමට අපේක්‍ෂාවෙන් සිටින්නකු නම් ඇයගේ මෙම දේහ ලක්‌ෂණ පිළිබඳව විමසිලිමත් වන්නේ නම් එය ඔබේ යහපතට හේතුවනු ඇත.

කාන්තාවකගේ මුහුණ වටකුරුව හා පියකරු පෙනුමකින් යුක්‌ත නම් සැබවින්ම ඇය භාග්‍යවන්තියකි. ඉතා දිළිඳු පවුලක උපත ලැබූවත් පසු කලෙක ඇය ධනවත් වන්නීය. තම පරපුරද බබළවන්නීය. විවාහ ජීවිතය වඩාත්ම සාර්ථක වන අතර වාසනාවන්ත දරුවන්ද ලබන්නීය. මුහුණේ දිග පළල එක සමානව ඇති මසින් පිරි ගිය මුහුණක්‌ ඇති කාන්තාව වෙළෙඳ ව්‍යාපාරවලට දක්‍ෂය. මුලදී සුළුවෙන් අරඹන ව්‍යාපාරයක්‌ වුවද පසු කාලයකදී මහා පරිමාණ ව්‍යාපාරයක්‌ බවට දියුණු කර ගත හැකිවේ. දක්‍ෂතාවක්‌ හා වාසනාවක්‌ ඇය සතුය. සැපවත් නිවාස, දැසි දස්‌සන්, යාන වාහන ලැබ සතුටින් දිවි ගෙවීමටද මෙවැනි කාන්තාවන්ට හිමිකම් ඇත.

නළල් තලය

කාන්තාවකගේ නළල් තලයද පැරණි සෘෂිවරුන් විසින් මහත් අභිරුචියකින් වර්ණනා කරන ලද්දේය. අඩ සඳක්‌ මෙන් ශෝභමාන පුළුල් නළල් තලය සෞභාග්‍යවත් නාරි ලක්‌ෂණයක්‌ ලෙස හඳුන්වා ඇත. මෘදු මොලොක්‌ වදන් පවසන ඇය සියලු සම්පත් ලැබීමේ පින් ඇති තැනැත්තියකි. ඇය සැබවින්ම කාරුණිකය. මනුෂ්‍යයන් අතර දෙවඟනක්‌ බඳුය. නළල් තලයේ දකුණු පැත්තේ උපන් ලපයක්‌ පිහිටි කාන්තාවගේ විවාහ ජීවිතය අසාර්ථක වන අතර එවන් ලකුණක්‌ නළලේ වම්පසින් පිහිටියේ නම් ඇය ස්‌වාමියාට ෙද්‍රහි වනු ඇත.

මුහුණින්

කාන්තාවකගේ ලලාටයෙහි දකුණු පැත්තට බරව තල කැළලක්‌ හෝ ඉන්නෙක්‌ පිහිටීම ශුභ ලකුණක්‌ බව පූර්වාචාරීන් විසින් නිගමනය කර ඇත. පින්වත් පුරුෂයකුට බිරිඳ වන ඇය සුපුන්වත් දූ පුතුන් ලැබ සතුටින් ජීවත්වීමට වාසනාව ඇත.

ඇහි බැම සිට ඉදිරියට නෙරා ඇති නළලක්‌ පිහිටියේ නම් අහංකාර සිත් ඇතිවීමද කපටි ගතිද, වාද විවාද වලදී ඉතා ඉක්‌මනට කෝපවන ගතියද බද්ධ වෛරයද නොකටයුතු කම්වලින් සතුරන් ඇතිකර ගැනීමද නිතර අසනීපවලින් පෙළීමද සිදු වේ.

නාසය

යම් කතකගේ නාසය අග ඉතා මහත්ව පිහිටා මැද එය නැවී යන ස්‌වරූපයක්‌ ගතහොත් එයද අශුභ ලක්‌ෂණයකි. එබඳු කතුන්ට නොයෙක්‌ විටදී යම් යම් කරදරවලට මුහුණ පෑමට සිදු වේ. තවද ඔවුන් හදිසි තීරණ ගැනීම නිසා නොයෙක්‌ දුක්‌ කම්කටොලුවලට මුහුණ පානු ඇත.

ගිරවකුගේ මෙන් නාසය ඇති කාන්තාවන් ඔබ කොතෙකුත් දැක ඇත. එබඳු කතුන් ඉතා ආඩම්බර ගති පැවතුම් ඇති හිතුවක්‌කාර කපටි අදහස්‌ ඇති අය ලෙස හඳුනා ගෙන ඇත. මොවුන් අනුන්ට උගුල් අටවන කේලාම් කියන තමන්ගේ තත්ත්වය උසස්‌ කර ගැනීමටද උත්සාහ කරයි.

මුහුණින්

අලංකාර ලෙස දිග්ව කෙලින් නාසය පිහිටා ඇති කාන්තාවට නෙයෙක්‌ ශූභඵල ගෙන දෙයි. යන එන හැම තැනකදීම මුල්තැන ලැබෙයි. මෙබඳු කාන්තාවන් ඉතාමත් වාසනාවන්තය . සැප සම්පත් හිමි යහපත් සැමියකු මෙවැනි කතුන්ට ලැබෙනු ඇත.

දික්‌වූ නාසය පිහිටා ඇති කාන්තාව වුවමනාවට වඩා කරදර උසුලයි. මෙම ලක්‌ෂණයද ඉතා අභූභය. දැඩි ආත්මාර්ථකාමී ගති පැවැතුම් ඇති මෙවැනි අය රහස්‌ ජීවිත ගත කරන අතර සංචාර කටයුතුවලට වැඩි කැමැත්තක්‌ දක්‌වයි.

දෙබැම

බැලු බැල්මට පෙනෙන දෙබැමද දේහ ලක්‌ෂණයේදී විශේෂ තැනක්‌ ගනී. දෙබැම අනුසාරයෙන්ද ගැහැනියකගේ ජීවන චරිත විනිවිද දැකීමට පුළුවන. සුනිල වර්ණ සුසිනිදු රෝමයන්ගෙන් සුසැදි දේදුන්නක හැඩයගත් බැමි යුග්මය ප්‍රශස්‌ථ ලක්‌ෂණයක්‌ බව පැරණි සෘෂිවරුන් ප්‍රකාශ කර ඇත. ඉසුරු බර දිවියකට හිමිකම් කියන ලාලනියක්‌ කෙරෙහි මෙම උත්තම ලක්‌ෂණය පිහිටන බව කියෑවේ. ඇදක්‌ නොමැති දෙපසට විහිදයන දෙබැම සුබ නොවේ. කාන්තාවක්‌ කෙරෙහි අනිර්වාර්යෙන්ම පිහිටිය යුතු ආචාරශීලී ගති පැවතුම් බොහෝවිට ඇය කෙරෙහි දක්‌නට නොලැබෙයි. ප්‍රමාණයට වඩා ලොම් ඇති බැම යුගලයද අනිෂ්ට ලක්‌ෂණයක්‌ බව දැනගත යුතුය.

ඇස්‌

කාන්තිමත් පෙනුමකින් යුත් නිල් පැහැයෙන් යුත් ඇස්‌ යුවලක්‌ හිමි කාන්තාව බොහෝ සම්පත් ලබයි. ඇය ලබන පුරුෂයාද වාසනාවන්ත දූ දරුවන් ලැබ දිවි ඇති තුරාම සතුටින් ගත කරති. දිලිසෙන කුඩා ඇස්‌ ඇත්තාවූ ද මධ්‍යම ප්‍රමාණයේ සියුම් ඇහි බැමි හා පිහාටු ඇත්තාවූ ද කාන්තාවන් වාසනාවන්තය. පෙනෙන නොපෙනෙන තරමක්‌ වපරය ඇති කාන්තාවද යහපත්ය. විවාහයෙන් පසු සැමියා ධනවත් වේ. ඇස්‌ තද රක්‌ත වර්ණ නම් කාමුකයි. ඇස්‌ ලොකු නම් පතිදම්රකින බව පෙන්නුම් කරයි. සුදු පැහැති ලස්‌සන දත් දෙපළක්‌ ඇති ලලනාවන්ගේ සුදුසු සිනාව සෞභාග්‍යයේ සංකේතයක්‌ වෙයි. දුක්‌කම් කටොලුවලින් තොර රසින් බර ජීවන ගමනක යෙදෙන එවන් කාන්තාවෝ වාසනාවන්ත දූ පුතුන් ලැබීමේ වරම් ලබති.

We found this article from Divaina on 2014/01/26.