ඔබ මේෂ ලග්නයේද? ඉපදීම මරණය අතර කාලය මෙහෙමයි

2098
මේෂ
මේෂ

රාශි චක්‍රයේ ලග්න දොළහකි. මෙලොව ඉපදුණ සියලුම අයට ලග්නයක්‌ හිමි වේ. ලෝකයේ කොතැනක, කුමන වෙලාවක උපත ලැබුවත් එම මොහොතේ නැගෙනහිර අහසේ උදාවන ග්‍රහ තාරකාව එම අයගේ ලග්නය වශයෙන් හඳුන්වයි. දළ වශයෙන් එක ලග්නයක්‌ පැය දෙකක්‌ පමණ කාලයක්‌ උදාවෙමින් පවතී. ඒ අනුව පැය විසිහතරට ලග්න දොළහක්‌ උදා වේ. ඒ අනුව එනම් ලග්නය අනුව බලපාන එම ජන්මියාගේ ජීවිත තොරතුරු හා චරිත ලක්‌ෂණ කෙසේදැයි විමසා බලමු.

රාශි චක්‍රයේ මුල්ම රාශිය මේෂ රාශියයි. ග්‍රහ මණ්‌ඩලයේ අඟහරුට හිමිවන මේෂ ලග්නය සංකේතවත් කරන්නේ එළුවකුගේ ස්‌වභාවයයි. විෂම චර පුරුෂ රාශියක්‌ වන මේෂ රාශිය තුළ අස්‌විද නැකත, බෙරණ නැකත, කැති නැකතත් එක පාදයකුත් හිමි වේ. වේගවත් බවින් අධික, සටන්කාමී බවෙන් යුතු තරුණකම නියෝජනය කරන අඟහරු හිමි මේෂ රාශියෙන් උපත ලැබූ අය බොහෝ විට සාමාන්‍ය මධ්‍ය ප්‍රමාණයේ සිරුරකට හිමිකම් කියයි. දික්‌වූ මුහුණක්‌ හා ගෙලක්‌ හිමිවන අතර යහපත් අංගසම්පූර්ණ අඟපසඟින් යුක්‌තය. කඩිසර මෙන්ම ක්‍රියාශීලී බව පැහැදිලිව දැකිය හැක. ගමන් කිරීමේදී හිස කෙළින් තබාගෙන යැම කැපී පෙනෙන ලක්‌ෂණයකි. නිතරම සටන්කාමීත්වයට බර මොවුහු හැම අවස්‌ථාවකදීම මූලිකත්වය ලබා ගැනීමට කැමැත්තක්‌ දක්‌වති. හැමවිටම තමන්ගේ මතය අනුවම ක්‍රියාකිරීමට පෙළඹෙයි. තවත් කෙනකුට යටත් වීමට හෝ ඔහුගේ මතයට එකඟවීමට මැළිකමක්‌ දක්‌වයි. මේෂ ලග්නයෙන් උපන් අය සමඟ තර්ක – විතර්ක කිරීම, වාද විවාදවලට යැම සුබදායක නොවේ. මන්ද යත් එයින් ඔහුට පරාජය ලැබුවත් දබරකර ගැනීමෙන් හෝ එතනින් ජය ලබා ගැනීමට ඔවුන් පෙළෙඹෙන බැවිනි. කිසිම කාර්යයක්‌ ඔවුන් සුළුවෙන් කිරීමට කැමැති නැත. හදිසි තීරණ ගැනීමට පෙළඹෙන අය වෙති. හදිසියේම ගන්නා මෙම තීරණවලින් බොහෝවිට පාඩු සිදුකර ගනී. කුජ හිමි සටන්කාමී උෂ්ණ රාශියක්‌ බැවින් මේෂයෙහි උපන් අය උසස්‌ අදහස්‌ ඇති ඉදිරියට යන තේජවන්ත ගතියකින් යුක්‌ත වෙයි. කීර්ති – ප්‍රශංසා ලැබීමට ඇති කැමැත්තත්, පෙරමුණෙහි සිටීමට ඇති ආශාවත්, ඉදිරියට යන ගතිය නිසා හැමවිට ජය හා ප්‍රසිද්ධිය ලබයි. පුරුෂයකු නම් තමාගේ භාර්යාවට හෝ ස්‌ත්‍රියක නම් තමාගේ ස්‌වාමිපුරුෂයාට හෝ හැර අන් කිසි අයකුට යටත් පහත්වීමට කැමැති නැත. හමුදා නිලධාරීන්, දේශපාලන නායකයන්, කාර්මික ශිල්පීන්, රසායන විද්‍යාඥයන්, විදුහල්පතීන්, වෛද්‍යවරුන් බොහෝවිට මේෂ ලග්නයෙන් ඉපදී ඇත.

මේෂ ලග්න හිමියන් වියළි කඳුකර ස්‌ථානවලට බෙහෙවින් කැමැති වෙති. ගිනි, විදුලිය, ඉන්ධනවලට සම්බන්ධ රැකියා මේෂ ලග්න හිමියන්ට උරුම වේ. පොළොව ආශ්‍රිතව කරන කටයුතුවලින්ද යන්ත්‍ර සූත්‍ර ආශ්‍රිතව කරන කටයුතුවලින්ද වඩාත් ලාභ ප්‍රයෝජන හිමිකර ගැනීමට භාග්‍ය ඇත. ස්‌වකීය උත්සාහයෙන් කෙසේ හෝ උසස්‌ තත්ත්වයකට ඒමට ඉලක්‌ක කර ගැනීම මේෂ ලග්න හිමියන්ගේ ලක්‌ෂණයකි. වහා අවබෝධ වන තීක්‍ෂණ බුද්ධියක්‌ හිමිය. මේෂය චර රාශියක්‌ බැවින් සිතේ චංචල බවක්‌ ඇති කරයි. එහෙත් ගිනි රාශියක්‌ බැවින් යමක්‌ කරගෙන යැමට සිතාගතහොත් කෙසේ හෝ එය කරගෙන යයි. සිත තුළ දැඩි චංචල ගතිය පිටට නොපෙන්වයි. තමාට කෙනෙක්‌ පක්‍ෂපාතී නම් ඔහුට ඉතාම හිතවත් වේ. විරුද්ධ නම් කෙසේ හෝ ඔහු යටත්කර ගැනීමට සිතයි. මේෂ රාශිය හිමි කුජ තරුණ බැවින්ද, තද කාමයට ආශා ඇත්තකු බැවින්ද කොයි කාට යටත් නූනත් තම විවාහ සහකරුට හෝ සහකාරියට යටහත් බවක්‌ දක්‌වයි. ඇය හෝ ඔහුගේ අදහස්‌වලට වඩා සැලකිලිමත් වෙයි. තමා ගැනත් තමා කරන දේවල් ගැනත් හැම දේකටම වඩා සිතයි. භයානක දේවල්වලට පවා නිර්භයව ඉදිරිපත්වීම මේෂ ලග්න හිමියන්ගේ ලක්‌ෂණයකි. ආරක්‌ෂක අංශවල රැකියාවලට මොවුන් වඩාත් ගැළපේ. නිතර කෑම බීමවලට ප්‍රියකරන අතර ලස්‌සනට ඇඳීමට, පැළඳීමට හා දුර ගමන්වලට ළැදිකමක්‌ දක්‌වයි. නොඉවසිලිමත් බව, සාමයට ගරු නොකිරීම මොවුන් තුළ දැකිය හැකි ලොකුම දුර්වලකමකි. ලෝකයේ ප්‍රබල සටන්කාමීන්, දක්‌ෂ ක්‍රීඩකයින්, ක්‌ෂේත්‍ර වීරයන් වැඩි දෙනකු ඉපදී ඇත්තේ ද මේෂ රාශියෙනි.

රාශි චක්‍රය පටන්ගන්නේ මේෂයෙන් බැවින් මෙය බලවත්ම රාශිය වෙයි. මකර, කටක දෙකට මැදි බැවින් යුක්‌තිසහගත වේ. මේෂ ලග්නයෙන් උපන් අයට තුලා, මකර, කුම්භ ලග්න හිමියන් ඇසුරට වඩා යෝග්‍ය වෙයි. විවාහයේදී මෙම ලග්නවලින් උපන් සහකරුවකු හෝ සහකාරියක හිමිවුවහොත් විවාහ ජීවිතය වඩාත් සාර්ථක වේ. මේෂ ලග්න හිමියන්ට වෘශ්චික, මීන ලග්න හිමියන් කිසිසේත්ම නොගැළපේ. විවාහයේදී ප්‍රශ්න ඇති වේ. ඔහු මොවුන් හැමවිටම නුරුස්‌සන ගතියක්‌ පෙන්නුම් කරයි. විශාල ව්‍යාපාර පවත්වා ගෙන යැමට, ආයතන පාලනය කිරීමට මේෂ ලග්න හිමියන් දක්‌ෂය. මේෂ ලග්නයෙන් උපන් අයට නිතර නිතර ශරීරයේ උෂ්ණ රෝග ඇතිකරයි. තේජෝ ගුණය වැඩිවීම බොහෝ උෂ්ණ රෝගවලට හේතුවෙයි. මේෂ ලග්න හිමියන්ට වැළඳෙන රෝග අතර ඇඟපත දැවිල්ල, හිසරදය, හිසකෙස්‌ යැම, මොළයේ පීඩා, ක්‌ලාන්තය, සිහිනැතිවීම, රත්පිත් රෝග, ලේවල සිනී අඩුවීම ආදියයි. ශනි හා බුධ සිකුරු ග්‍රහයෝ මේෂ ලග්න හිමියන්ට අසුබ ඵල උදා කරති. රවි හා ගුරු නිතර ශුභඵල උදාකරන ග්‍රහයෝ වෙති. ගුරු- ශනි යෝගය මේෂ ලග්න හිමියන්ට එතරම් අශුභදායක නොවේ. මේෂ ලග්නයෙන් උපන් අයට මාරක ග්‍රහයා වන්නේ සිකුරුය. සිකුරු දශා අනු දශා, කාලවලදී ඔවුන්ට විවිධ බාධකවලට මුහුණපෑමට සිදු වේ. දුර්වල ග්‍රහ ගමනක යෙදෙන කාලවලදී මරණය පවා ගෙන දෙයි. මේෂ ලග්න හිමියකුගේ අටවැන්නේ බුධ, කුජ, ශනි නම් වඩාත්ම සැලකිලිමත් විය යුතුය. මෙසේ වූ විට මෙම ග්‍රහයන්ගේ දශා කාලය තුළදීද හදිසි අනතුරුවලින් දිවි හානිවීමට පුළුවන. මේෂ ලග්න හිමියන්ට බොහෝ විට රිය අනතුරු, විදුලි අනතුරු, බෝම්බ පිපිරිම් ආදියෙන් අනතුරු පෙන්නුම් කරයි. මේෂ ලග්නයෙන් උපන් අයට ශනි, බුධ, සිකුරු දශා, අනු දශා, තුළදී අධිකව ශුභඵල උදාකරයි. රවි, ගුරු යෝගයද, රවි- කුජ යෝගයද ඉතා ප්‍රබල රාජ යෝග වේ.

We found this article from Divaina on 2012/09/07.
Also Sinhala to English Google word to word translation can be found here