කුජ ග්‍රහයා ලෙයට අධිපතිය. ඒ නිසා කුජ දුර්වල වීමෙන් ලේ දූෂිත වී රෝග හටගනියි.
කුජ දුර්වල වීමෙන් අධික උණ – වසූරිය – බෝවන රෝග – වණ – තුවාල – කුෂ්ට – බඩවැලේ පිළිකා – ලේ ගැලීම් ඇතිවන අසනීප – අධික රක්ත – වාතය – නහර පිපිරීම සහ කාමය නිසා හට ගන්නා රෝග ඇති වේ.
කුජ ලග්නයේ
ලග්නගත කුජ මේෂ රාශියේ දුර්වලව සිටියහොත් මොලයේ අමාරු – අධික හිසරදය – සිහිනැ තිවීමේ ගතිය – අපස්මාරය – මැලේරියා උණ – පහසුවෙන් ඇති වේ.
එසේම උත්පත්ති කේන්ද්‍රයෙහි ලග්නයේ සිට බටහිර අර්ධයෙහි කුජ දුර්වල වන තරමට ජන්මියා දුබල රෝගියකු වීමට කරුණු යෙදේ.
විශේෂයෙන් වෘශ්චික රාශිය ලග්නය වී කුජ දුර්වල වුවහොත් අර්ශස් – ගුදයේ පිලිකා – ලේ යන රෝග පහසුවෙන් හටගනී.
කුජ ලග්න ගතව සිටියදී රවි දහ වැන්නේ සිටිය හොත් එබඳු ජන්මියාට දාහ රෝගය පීඩාකාරී ලෙස ඇති වේ.
කුජ දෙවැන්නේ
කුජ දෙවැන්නේ දුර්වල වූ විට මුහුණේ තුවාල, ලප කැළැල් සහ දත් රෝග ඇති වේ.
එසේම බෙල්ල, කට සහ උගුර සම්බන්ධ රෝගයන් ගෙන් නිරන්තරයෙන්ම දුක් විඳින්නට සිදු වේ.
කුජ තුන්වැන්නේ
කුජ තුන්වැන්නේ දුර්වලව සිටියහොත් ස්නායු පද්ධතිය පිළිබඳව බරපතළ ලෙස දුර්වලතා ඇති කරන්නට හැකිය. සෙම් ගෙඩි, වායුගෙඩි හටගනියි.
කුජ සතරවැන්නේ
කුජ සතර වැන්නේ දුර්වලව සිටි විට පපුවේ අමාරු සහ අමනුෂ්‍ය පීඩා නිසා නිතර රෝගී තත්ත්වයක් ඇති වේ. මවටද රෝග ඇති කළ හැකියි.
කුජ පස්වැන්නේ
කුජ පස් වැන්නේ දුර්වලව සිටි විට බඩ පපුව දැවිල්ල ඇති වේ.
අධික කාමාශාවන් ගෙන් පෙළෙමින් රෝග සාදා ගනියි.
කාන්තා කේන්ද්‍රයට කුජ පස් වැන්නේ දුර්වලව සිටි විට ප්‍රසූති ශල්‍යකර්මවලට භාජනය වීමට සිදු වේ. ගබ්සා සිදුවීමටද ඉඩ ඇත.
කුජ සයවැන්නේ
කුජ සයවැන්නේ දුර්වලව සිටි විට බඩේ ඌෂ්ණත්වය නිසා හටගන්නා රෝග ඇති කරයි.
කුජට සහ ශනිට මැදිව සය වැන්නේ සඳු සිටියහොත් ඇදුම රෝගය, සෙම් රෝග සහ උණ රෝග හටගනියි.
කුජ ගුරු සහ හය – අට අධිපතියන් සමග එක් වී සයවැන්නේ දුර්වලව සිටි විට හෘද රෝග ඇති වේ. කුජ සහ අධිපති සමග සංයෝගව දුර්වලව සිටිවිට ලේ ඌෂ්ණ රෝග හටගනියි.
කාන්තා කේන්ද්‍රයක කුජ සය වැන්නේ දුර්වල වූ විට ගබ්සා ඇති වේ.
කුජ සත්වැන්නේ
කුජ සත්වැන්නේ දුර්වලව සිටි විට කුෂ්ට රෝග, අර්ශස්, විකෘති කාමාශා හේතුවෙන් හටගන්නා රෝග, ගිනියම් රෝග හටගනියි. කාන්තාවන් ප්‍රසූති ආබාධවලට මුහුණපායි.
කුජ අටවැන්නේ
කුජ අටවැන්නේ දුර්වලව සිටි විට ලේ විෂවීමේ රෝග, දැඩි කාමාශාව නිසා හටගන්නා රෝග, වාතාබාධ, ඇස් අමාරු, මුත්‍රාබාධ පහසුවෙන් හටගනියි. පිත කුපිත වේ. ශල්‍යකර්මවලට භාජනය වීමට පවා සිදු වේ.
කුජ නමවැන්නේ
කුජ නමවැන්නේ දුර්වලව සිටි විට හදිසි අනතුරු නිසා විවිධ බරපතළ රෝගවලට ලක්වන්නට සිදුවෙයි. ගමන් බිමන්වලදී ඇති වන විපත් නිසාද රෝගියකු විය හැකිය.
කුජ දසවැන්නේ
කුජ දස වැන්නේ පළමු වැනි අංශක 15 තුළ දුර්වල වුවහොත්, එසේම ශනිගේ අශුභ දෘෂ්ටියක් කුජ වෙත එල්ල වුවහොත් බඩේ දැවිල්ල හටගනියි. දණහිස් හා කලවා පීඩාද ඇති වේ.
කුජ එකොළොස්වැන්නේ
කුජ එකොළොස් වැන්නේ දුර්වල වූ විට කෙණ්ඩාවල, මාංශ පේශීවල දුර්වලතා ඇති වේ.
කුජ දොළොස් වැන්නේ
කුජ දොළොස් වැන්නේ දුර්වල වූ විට ඇස් අමාරු, වාතාබාධ, රුධිර දෝෂ වැළඳේ.
කුජ – සඳු
කුජ විසින් හතරේ සිටින සඳුට පාප දෘෂ්ටියක් එල්ල කළහොත් සෙම නරක් වී ඇදුම රෝගය හටගනියි.
කුජ – බුධ
කුජ – බුධ – පාප සංයෝගය නහර දුර්වලතා ඇති කරයි. සමේ රෝග ඇති වේ.
කුජ – ගුරු
කුජ – ගුරු – පාප සංයෝගය පිත් රෝග, හෘදයාබාධ ඇති කරයි.
කුජ – ශනි
කුජ – ශනි පාප සංයෝගය අධික රුධිර පීඩනය ඇති කිරීමට බලපාන ග්‍රහ තත්ත්වයකි.
කුජ – ශුක්‍ර
කුජ – ශුක්‍ර – පාප සංයෝගය මුත්‍රා රෝග, වකුගඩු දුර්වලතා සහ ඒ හේතුවෙන් තුනටියේ අමාරු, ලිංගික දුර්වලතා ඇති කරයි.
කුජ – රාහු
කුජ – රාහු පාප සංයෝගය ලේ විෂවීමට මුල්වෙයි. සම දූෂිත කරයි.
කුජ – කේතු
කුජ – කේතු පාප සංයෝගය රුධිර පීඩනය අඩුකිරීමට හේතු වේ.
තත්කාල විමසුමක්
යම්කිසි රෝගයක් පිළිබඳව තත්කාල විමසුමක් කළ අවස්ථාවකදී තත්කාල ලග්නයෙන් සත්වැන්නේ කුජ සිටියහොත් එම රෝගියා අමනුෂ්‍ය දෝෂවලින් දුකට පත්ව පීඩා විඳින බව තත්කාල ශාස්ත්රයේ දැක්වේ.
We found this article from Divaina on 2012/12/07.
Also Sinhala to English Google word to word translation can be found here