කේන්දරෙන් හරි දේ ගන්න දුර්මතයට ඉඩ නොදෙන්න

1647
ජ්‍යෙතිෂ්‍යයෙහි
ජ්‍යෙතිෂ්‍යයෙහි

[ratings]

ජ්‍යෙතිෂයට සම්බන්ධ පදනම් විරහිත වූ දුර්මත බොහොමයක්‌ සාමාන්‍ය මහජනයා තුළ පවතින අතර ඒ සම්බන්ධව අනියත බියක්‌ ඇති කර ගැනීම නිසා තම ජීවිතයේ දියුණුවට ඇති ඉඩකඩ අවහිර කර ගනිති. දැනුමක්‌ නොමැති අයගෙන් යම්කිසි කරුණක්‌ පිළිබඳ උපදෙස්‌ ලබා ගැනීමට යැම නිසා බෙහෝ දෙනා වැරදි මත අනුව කටයුතු කිරීමට පෙළඹෙති.

පෙබරවාරි මාසයේ ශූභ නැකත් ඇත

පෙබරවාරි මාසය අඩු දින ගණනක්‌ සහිත මාසයක්‌ නිසා ශුභ කටයුතු ආරම්භ නොකළ යුතුයෑයි වැරදි මතයක්‌ ඇත. ජ්‍යෙතිෂයේ දී ගණන් ගනු ලබන්නේ දුරුතු, නවම්, මැදින් ආදී චද්‍ර මාස ක්‍රමය වේ. මේ හැම මාසයක්‌ම අමාවකින් පටන්ගෙන ඊළඟ අමාවක දී අවසන් වේ. එවිට, අඩු දින ගණන් සහිත මාස ජ්‍යෙතිෂයේ නොමැත. ශුභ නැකතක්‌ සෑදීමට අවශ්‍ය අනෙක්‌ කරුණු සම්පූර්ණ වේ නම් පෙබරවාරි මාසයේදී ශූභ නැකතක්‌ සාදා ගැනීමට කිසිම බාධාවක්‌ නොමැත.

අංක 09, සහ අංක 13 අශුභ නැත

අංක 09 නපුරු යෑයි බොහෝ දෙනා සිතති. නවය නපුරු වන්නේ “න” අක්‍ෂරයෙන් පටන් ගන්නා නිසාද? මෙය බොළඳ කතාවකි. නවය ජ්‍යෙතිෂයට ඉතා ශුභ අංකයකි. ජන්ම පත්‍රයේ නව වැනි කොටුව පුරාණ ස්‌ථානය වශයෙන් හැඳින්වේ. එහි ශුභ ග්‍රහයකු සිටීමෙන් පෙර පින් ඇති බව කියෑවේ. නව වැන්න බලවත් නම් උසස්‌ අධ්‍යාපනය ලැබිය හැකිය. නවය නපුරු යෑයි සිතන අය වයස 09, 19, 29, ආදී නවයෙන් කෙළවර වන වයසේ දී මාරක අපල ඇතැයි බිය වෙති. මෙවැනි වයසේ පසුවන දරුවන් ඇති මව්පියවරු බොහෝ විට පලාපල බලා ගැනීමට පැමිණෙති. සෙනසුරු ඒරාෂ්ටක අපලයක්‌, අශුභ මහා දශාවන් හෝ අතුරු දශාවක්‌ හෝ නොමැති නම්, වයස අවුරුදු 09, 19, 29 ගත කළ පමණින් මාරක අපල ඇති වන්නේ කෙසේ ද?

සමහර ආගමිකයන් 13 අශුභ අංකයක්‌ ලෙස සැලකුවද ජ්‍යෙතිෂයට එය අශුභ අංකයක්‌ නොවේ. ශුභ නැකතට අවශ්‍ය කරුණු සම්පූර්ණ වේ නම් මාසයේ 13 දින ශූභ කටයුතු ආරම්භ කිරීමේ වරදක්‌ නොමැත.

කුජ හතේ සිටින හැම විටම සහකරුට අපල නැත

ජන්ම පත්‍රයට කුජ හතේ සිටින පමණින් සහකරුට මාරක අපල යෑයි මතයක්‌ ඇත. එහෙත් හැම අවස්‌ථාවකම එය එසේ නොවන බව ජ්‍යෙdතිෂයේම සඳහන් වේ. කුජ බලවත්ව සිටීම, යෝග කාරක ග්‍රහයකු වී සිටීම, ගුරුගේ ශුභ දෘෂ්ඨියට ලක්‌වී සිටීම, සහකරුගේ ජන්ම පත්‍රයේ කුජ සිටින ස්‌ථානය යන කරුණු අනුව කුජ දෝෂය භංග වන අවස්‌ථා ඇත. කුජ හතේ සිටි පමණින් බියට පත් වී විවාහයට ප්‍රමාද කරගන්නා විවාහ නොවන තරුණයන් කී දෙනෙකු මෙම සමාජයේ සිටී ද?

සෙනසුරු හත්වැන්නට අශුභ නැත

සෙනසුරු හත්වැන්නට අශූභ යෑයි බොහෝ දෙනා සිතති. බොහෝ ශුභ ග්‍රහ පිහිටීම් තිබුණත් සෙනසුරු හත් වැන්නේ සිටින කෙනෙකු සමග විවාහ වීමට කැමති නැත. සෙනසුරු අපල පමණක්‌ ඇතිකරන ග්‍රහයෙකු ලෙස වැරදි මතයක්‌ සමාජය තුළ ඇත. ඕනෑම දුක්‌ කරදරයක්‌ විඳ දරා ගැනීමේ ශක්‌තියක්‌ සෙනසුරුට ඇත. හත්වැන්නට දික්‌බලවේ. කටක, සිංහ, මේෂ ලග්න හිමියන්ට හත් වැන්නේදී සෙනසුරු බලවත් වේ. සෙනසුරු හත්වැන්නේ සිටීම විවාහයට තරමක්‌ ප්‍රමාද වුවද ස්‌ථිර විවාහයක්‌ සිදුවන ග්‍රහ පිහිටීමකි.

විසි පොරොන්දම් ගැලපීම

පොරොන්දම් බැලීමේදී විසි පොරොන්දම්වලට පමණක්‌ සීමා වී තීරණයක්‌ ගැනීමට බොහෝ දෙනා පුරුදු වී සිටිති. පොරොන්දම් විස්‌සෙන් වැඩි කොටසක්‌ ශුභ නම්, එය විවාහයට සුදුසු යෑයි ඔවුහු තීරණය කරති. පොරොන්දම් පරීක්‍ෂා කිරීමේ දී ජන්ම පත්‍ර දෙකේ ග්‍රහ පිහිටීම කෙරෙහිද විශේෂයෙන් පරීක්‍ෂා කර බලා තීරණයක්‌ ගැනීම වඩා සුදුසුය.

බස්‌නාහිර දිශාව සැමවිටම අශුභ නැත

බස්‌නාහිර දිශාව අශුභයයි බොහෝ දෙනා සිතති. නිවසක හෝ ව්‍යාපාරික ස්‌ථානයක හෝ ප්‍රධාන දොරටුව බස්‌නාහිර දිශාවට තැබීමට සිදුවන අවස්‌ථා ඇත. එවැනි අවස්‌ථාවලදී පාද බෙදීමක්‌ සිදු කර ශුභ පාදයක ප්‍රධාන දොරටුව තැබීමෙන් දෝෂ මඟ හැරේ. සමහර දිනෙක බටහිර දිශාව බලා ශුභ කටයුතු ආරම්භ කිරීමට සිදුවන අවස්‌ථා ඇත.

අඟහරුවාදා සහ සිකුරාදා දිය නෑම

අඟහරුවාදා සහ සිකුරාදා දිය නෑම අශුභ බව සමහරුන්ගේ මතයකි. අඟහරුවාදා කුජ ග්‍රහයාට අයත් දිනයකි. මෙදින සාමාන්‍යයෙන් තද ඌෂ්ණය පවතින දිනයකි. සිකුරු ග්‍රහයාට අයත් සිකුරාදා දින තද සීතල පවතින දිනයකි. මහලු අයට, කුඩා දරුවන්ට අසනීපයෙන් සිට සුව වූ අයට මෙදින දිය නෑම අශුභය. ඔවුන් අසනීප විය හැකි නිසාය. නිරෝගී කෙනකු එම දිනවල දිය නෑමේ වරදක්‌ නැත.

තම දියණිය මල්වර වූ විට ශුභ මොහොතක ඇය නෑවීමට සමහර මව්වරු බිය වෙති. දියණියට මව තරම් උතුම් වස්‌තුවක්‌ නැත. රජක ස්‌ත්‍රීන්ට වඩා තම මව විසින් දියණිය නෑවීම ශුභයි.

බිරිඳ දරු ප්‍රසූතියට සිටින විට නිවසක්‌ සෑදීම අශුභද? එවැනි අවස්‌ථාවක බිරිඳ සිටින නිවස කඩා බිඳ සෑදීම, අලුත් කොටසක්‌ එක්‌ කිරීම ශුභ නැත. අධික ශබ්ද ඇතිවීම, දුවිලි පිටවීම නිසා බිරිඳට සහ කුස තුළ සිටින දරුවාට අහිතකර විය හැකිය. එහෙත් පදිංචි ස්‌ථානයෙන් පිටත නිවසක්‌ තැනීම අශුභ නැත. බිරිඳ මවගේ නිවසට යවා තම පදිංචි නිවස අලුත් වැඩියා කිරීම අශුභ නැත.

තමන් වෙත පැමිණෙන ග්‍රාහකයන්ගේ දුර්මත බැහැර කර ඔවුන් දැනුවත් කිරීම පළපුරුදු ජ්‍යෙdතිෂඥයාගේ වගකීම වන්නේය.

We found this article from Divaina
Also Sinhala to English Google word to word translation can be found here