ග්‍රහ අපල දුරුවන්න මේවාත් කර බලන්න

2078
අපල දුරුවන්න
අපල දුරුවන්න

[ratings]

මිනිස්‌ ප්‍රජාව ආරම්භ වූ අවධියේ සිට ජීවනෝපාය මාර්ගවල අවශ්‍යතාවය ඇති විය. ඒ සඳහා අනුගමනය කළ විවිධ ක්‍රම අසාර්ථක වන අවස්‌ථාවල ස්‌වකීය සත්‍යගරුක ප්‍රතිපත්ති වල මහිමය සත්‍යක්‍රියාවක්‌ ලෙස භාවිත කරන්නට පැරැන්නෝ පුරුදුව සිට ඇත. ඒ සඳහා භාවිත කළ සත්‍ය වචන සමූහයක්‌ බලය අසාර්ථක වූ වැඩ කටයුතු සාර්ථක කරගැනීම සඳහා යොදාගත් අතර ඒවා පසුකාලීනව මන්ත්‍ර ස්‌තෝත්‍ර වශයෙන් හැඳින්වූහ. බ්‍රහ්මචාරී උතුමන්ලා හෝ සිල්වත් ප්‍රභූ ජනයා විසින් මේවා භාවිත කළේ තමන්ටත් අනුන්ටත් යහපත සැළසීමේ අපේක්‍ෂාවෙනි.

හීන ප්‍රතිපත්ති ඇති අය මෙන්ම කාන්තා පක්‍ෂයේ අය මේ අගනා මන්ත්‍ර ස්‌තෝත්‍ර ගායනා නොකළ අතර එය ඵල රහිත ක්‍රියාවක්‌ බවද දැන සිටියේය. ඊට හේතු වූයේ මෙය ආරම්භ කළ සිල්වත් උතුමන්ලාගේ ගුණය ආරක්‍ෂා කිරීමෙන් ආශිර්වාද ලබාගැනීම සහ වැරදි උච්ඡාරණයෙන් ලැබෙන ඵල හීනවීම යන තත්ත්වයන්ය. මන්ත්‍ර ස්‌තෝත්‍ර වැරදි ලෙස කියවීමෙන් පූර්වාචාරීන්ගේ මතයට නිගරු කිරීමෙන්ද අර්ථය වෙනස්‌ වීමෙන්ද අපේක්‍ෂිත ඵල නොලැබෙනු ඇත. මේ සත්‍යතාවය අකාලික වන්නේය.

මේ තත්ත්වය අවබෝධ කර නොගන්නා ඇතැම්හු වර්මානයේ ශාස්‌ත්‍රයත්, ධර්මයත් වාණිජකරණය කොට ඇති නමුදු බොහෝ දෙනා ඒ හේතුවෙන්ම ධර්මශ්‍රවණයට මෙන්ම විවිධ ශාස්‌ත්‍රයන් කෙරෙහිද වැඩි වශයෙන් නැඹුරු වී ඇත. මේ අතර වගකීම් සහ යුතුකම් යන දෙඅංශයෙන්ම බැහැරව අනුග්‍රාහක භවතුන් මුළාකිරීමේ යෙදී සිටින අය නිසා මහත් ව්‍යසනකාරී තත්ත්වයන්ද උදාවී ඇත. එවැනි තත්ත්වයන් නිසා පීඩාවට පත් වූ අයගේ අදහස්‌ අනුව අපට අසන්නට ලැබුණේ “වේලාපත්කඩය බලලා කියපු හැමදේම කළා. අමාරුවෙන් වුණත් ලියල දීපු සොලෝකෙ මාස එකහමාරක්‌ම කියෙව්වා. දේව මෑණිවරුන්ට පූජාවල් තිබ්බා. ගණදෙවි, සරස්‌වතී වැඳලා නුවන, වාසනාව ඉල්ලා හිටියා. යන්තර බැන්දෙව්වා. එකකින් වත් වැඩක්‌ වුණේ නැහැ. බලාපොරොත්තු වුණ කිසි දෙයක්‌ හරි ගියේ නැහැ,” යන ප්‍රකාශයන්ය. මෙබඳු ප්‍රකාශයන් කරන්නට පෙළඹී ඇත්තේ ප්‍රතිපත්ති ගරුක වීමේ අගය ඔවුන්ට අවබෝධ නොකිරීම නිසාය. එබඳු අය බොහෝ දෙනෙක්‌ හමුවීමෙන් ලද අත්දැකීම් අනුව නිගමනය කළහැකි වූයේ අතැමුන් රැකවරණයත්, රැකියාවත් අපේක්‍ෂාවෙන් ශාස්‌ත්‍රීය කරුණු වලට මුවා වී කටයුතු කරන බවයි.

එවැනි අවස්‌ථාවන්හිදී පසුතැවීමෙන් ඵලයක්‌ නැත. පළමුව වචනය ආරක්‍ෂා කරගන්න. මනස නිවැරදිව මෙහෙයවන්න, කයින් කෙරෙන වැරදි වලින් වළකින්න. දෙවනුව ඔබට මෙන්ම ලෝක වාසී සියළු දෙනාට උපන් වේලාවට අනුව වෙන්වන ග්‍රහ චාරයක්‌ ඇති බව අවබෝධ කරගන්න. මේනයින් ඇතැම් කරුණු සත්‍ය වන බවත් ඇතැම් කරුණු අසත්‍ය වන බවත් සිතන්න. ඒ සඳහා හේතු වන මතු සඳහන් කරුණු ගැන සිතන්න. අප නිරත වන කවර හෝ කාර්යයක්‌ වේද එය අප විශ්වයට දෙන දායාදයකි. අපට හිමිවන කර්ම වේගය (විපාකය) වන්නේ මේ දායාදයයි. ඒ අනුව විශ්වයට අප දායාද කළ දෙයම කර්ම විපාකයක්‌ ලෙස අපට විඳින්නට සිදුවන බව අවබෝධ කරගන්න. අප පිහිට ඉල්ලා සිටින දේව සමූහයාටද මේ තත්ත්වය පොදු වන්නේය. අංකූර සහ ඉන්දක දෙවියන් ධර්ම ශ්‍රවණය කරන්නට සූදානම් වී තැන්පත් වුවද ධර්ම දේශණය අවසන් වන විට අංකූර දෙවියන් ඉන්නේ බොහෝ දුරිනි. එයට හේතුව පින් බල දුර්වල වූ කර්ම විපාකයකි. පෙර භවයක ධන කුවේරයෙක්‌ව සිටියදී කව්රුන් හෝ හමුවූ විට දන් පිරිනැමුවා මිස සිල්වතුන් ගැන සොයා බැලුවේ නැත. ඒ ආකාරයට ඔහු විශ්වයට දායාද කළ දුර්වල කම කර්ම විපාකයක්‌ වශයෙන් අංකූර දේව තත්ත්වයේදී හිමිව ඇත. ඉන්දක දෙවියන් පෙර භවයේ දර කපා ජීවත් වූ දිළිඳු අයෙකි. තමන් අසළට වැඩම කළ පසේ බුදු හාමුදුරුවන්ට තම ආහාර වේල පූජා කිරීමෙන් විශ්වයට දායද කළ බල මහිමය බුදුරජාණන් වහන්සේගේ සමීපයේ සිට ධර්මශ්‍රවණය කිරීමේ වාසනා ගුණය ලෙස හිමිව ඇත.

නිර්බාධකව ජීවත්විය හැකි වන්නේත් දානාදී කුසලක්‍රියා වන්හි නිරතවීමට අවස්‌ථාව ලැබෙන්නේත් භවබෝග සම්පත් තිබුණු තරමටය. සම්පත් නොඅඩුව හිමිවන්නේ සිල්වතුන්ටය. ඒ කරුණා මෛත්‍රී ගුණය නිසාය. එබඳු තැනැත්තා අප්‍රමාදී වන නිසා උනන්දුව වර්ධනය වෙයි. සියළු කටයුතු සාර්ථක කර ගැනීමේ ස්‌තානෝචිත හැකියාව ඇතිවෙයි. සිල් බලය දිව ඔසුවක්‌ වන්නේ ඒ අනුවය. අප බෞද්ධයන් වශයෙන් නමස්‌කාර පාඨයෙන් වන්දනා කර අධිෂ්ඨාන කරගන්නේ වාසනාව හිමි කරගන්නා බවයි. වාසනාව හිමිකර ගන්න නම් ඒ සඳහා සුදුසුකම් ලැබිය යුතුය. එසේනම් සමත් විය යුතු විභාගය මෙයම බව පැහැදිලි නොවන්නේද? මෙතැනදී 7, 14, 21, 108 හෝ 1080, ලක්‍ෂ වාර මන්ත්‍ර ස්‌තෝත්‍ර ගායනා කළහොත් තරග විභාගය අසමත් වීම සඳහා අති විශිෂ්ට සුදුසුකම් ලබාගත හැකි වන්නේය. මන්ද යත්? මන්ත්‍රාචාර්ය තුමන්ලා ගුරු උපදේශ සහිතව පිළිවෙත් ගරුකව ස්‌ථාන අනුව උච්ඡාරණය කරන මන්ත්‍ර ශ්ලෝක අල්පශ්‍රැත ජ්‍යෙdතිෂඥයන්ගේ බහට මුළා වී උච්ඡාරණය කිරීමේ නුසුදුසුකම නිසාය. එය සිල් බල දුර්වල කරන අකුසලයකි. ඒ අනුව මන්ත්‍ර ස්‌තෝත්‍ර ගායනය යනු විභාග අසමත් වීමට, අත්තිවාරම අසාර්ථක වීමට, සියළු කටයුතු අසාර්ථක වීමට හේතුවන බව අවබෝධ කරගත යුතුය. කටයුතු සාර්ථක වෙන්න නම් “සක්‌කෝ” ගුණය හෙවත් දක්‍ෂතාවය තිබිය යුතුය. දක්‍ෂතාවයේ සුදුසුකම ලබාගන්නට උචිත පරිසරයද තමා විසින්ම සකස්‌ කරගත යුතුය. ඒ සඳහා අලසකමින් මිදිය යුතුය. පාප මිත්‍ර සේවනයෙන් ඈත්විය යුතුය. එසේ කළහැකි වන්නේ මෝඩකමින් තොරව වැරදි අදහස්‌ ඇති අයගේ උපදෙස්‌ වලින් බැහැර වන අයට පමණි. සිල්වතුන්ට පමණි. සිල්වත් අයගේ සිල් සුවඳ සෙසු සියළු සුවඳ වර්ග අභිබවා විහිදෙමින් විශ්වයට එක්‌වෙයි. බොහෝ දෙනාගේ ප්‍රසාදය ලබන්නට, සියළු කටයුතු සාර්ථක වන්නට දෙවියන්ගේ ආශිර්වාදය ලබන්නට අපලයෙන් තොර සඵල දිවියක්‌ උරුම වන්නට සිල් බලය දිව ඔසුවක්‌ වන්නේ ඒ අනුවය. සිල්වතුන් හමුවේ සහ රාජරාජ මහාමාත්‍යාදීන් හමුවේ වුවද මනාසේ සංවරව නිර්භයව හැසිරෙන්නට කිසිවකු හමුවේ නොමුළාව කටයුතු කිරීමේ විශාරද හැකියාව ලබන්නට ඉවහල් වන දිව ඔසුව වන්නේද ශීල බලයයි. තමාගේ අත්දැකීමෙන්ම මේ සත්‍යතාවය අවබෝධ කරගත යුතුය.

ධර්මාණුකූලව මෙන්ම සාමාන්‍ය ව්‍යවහාරය අනුවද නොකළ යුතු දේ බැහැර කරන කළයුතු දේ පිළිගන්නා අය ප්‍රඥවන්තයන් ලෙස උපදින බව සනාථ වෙයි. ඒ අනුව ඇතැමුන්ගේ අඥණ උපදෙස්‌ පරිදි සියළු දෙනාම මන්ත්‍ර කියවීමට පෙළඹීම නොකළයුතු දේ පිළිගැනීමක්‌ සේම අකුසලයක්‌ වන බවද පැහැදිලි වෙයි. එබඳු අයගේ ආර්ථික, සාමාජික තත්ත්වය පිරිහී යනවා සේම සිහි කල්පනාවද දුර්වල වෙයි. දූ දරුවන්ගේ ඉගෙනීම කඩාකප්පල් වීම, නිරත වන කටයුතු ප්‍රමාදය සිදුවනු ඇත. සුවකළ නොහැකි රෝග වලට ගොදුරු වී මුළු ජීවිත කාලයම දුක්‌ විඳින්නට සිදුවනු ඇත. අනපේක්‍ෂිත ශල්‍යකර්ම වලට පවා මුහුණ දෙන්නට සිදුවෙයි. එපමණක්‌ නොව සියළු දෙනාගේ ශර්බාවටද ලක්‌වන්නේය. අප දන්නා පරිදි නම් මේ තත්ත්වය උදාවීමට ධර්ම විනය පිරිහීමක්‌ සිල්ගුණ පිරිහීමත් හේතු වන්නේය.

ලෝකය බබලන්නේ ධර්මවිනය පවතින තෙක්‌ පමණි. ධර්ම විනය පිරිහෙන විට ලෝකයද පිරිහී අපල වැඩිවෙයි. ගුරු උපදේශ රහිතව සහ නොගැලපෙන පිළිවෙත් ක්‍රම අනුගමනයද අපල වැඩිවීමට හේතුවකි. අනවශ්‍ය ලෙස වැරදි ගායනා ක්‍රම උච්ඡාරණය කිරීම නැති අවුල් පටලවා ගැනීමක්‌ වනවා සේම තමන්ට අයත් නොවන ඵල බලෙන් පරිහරණය කිරීමක්‌ද වන්නේය. එමගින් ඊර්ෂ්‍යාකාරයන් වෛරක්‌කාරයන් ඇති වෙයි. ආරවුල් ඇතිවෙයි. හිමි තනතුරු අහිමි වෙයි. චෝදනා අපවාද වලට ලක්‌වෙයි. ඉන් ඇතිවන මානසික පීඩනයත් ගුණ දහම් අමතක වීමත් නිසා දෙවියන්ගේ රැකවරණයද අහිමි වෙයි. බෞද්ධයන් වන අප අසා ඇති පරිදි හෝරම්‍ය රජතුමාගේ සමයේ විශාල නුගගසක්‌ අතු පහකින් යුක්‌ත විය. එය බොහෝ දෙනාගේ සුව සෙවණක්‌ වූවා සේම ගෙඩි රසවත් විය. මී පැණි හා සමාන රසැති අත්තේ ගෙඩි රජ පවුල්වල අයටද දෙවැනි අත්තේ ගෙඩි බල සේනාවන්ට ද තුන්වැනි අත්තේ ගෙඩි ගම්වැසියන්ටද හතරවැනි අත්තේ ගෙඩි ශ්‍රමණ බ්‍රාහ්මණාදීන්ටද පස්‌වැනි අත්තේ ගෙඩි වන සිවුපාවුන් හා කුරුල්ලන්ටද වෙන්ව තිබුණි. මේ කෙඩි එකිනෙකා පැහැර නොගත් නිසා සහජීවනය රැඳුණු දෙවියන්ගේ රැකවරණය ලැබෙන ප්‍රදේශයක්‌ විය. මේ තොරතුරු නොදන්නා ආගන්තුකයෙක්‌ ගෙඩියක්‌ රසවිඳ අත්තක්‌ද කඩාදමා පිටව යැම නිසා වෘක්‍ෂයට අධිගෘහිත දේවතාවා කෝපයට පත්විය. zගසේ ගෙඩි නොහැදේවාZ යි ඒ දේවතාවා කළ ප්‍රාර්ථනය නිසා ඵල රහිත විය. කොරවා රජතුමා ගසේ ගෙඩි නොහැදෙන බව දන්වා සිටියා. සක්‌ දෙවියන් වැසි සහිත සුළඟක්‌ මවා ගස බිම දැම්මා. අධිගෘහිත දේවතාවා වාසය අහිමි වූ බව ඒ දෙවියන් විසින් සක්‌ දෙවියන්ට දන්වා සිටි අවස්‌ථාවේ සක්‌ දෙවියන් ප්‍රකාශ කළේ ඒ ඒක කොටස්‌ කැමැත්තෝ ඒ ඒ කොටස්‌ රැගෙන යති. ඒ ගැන කෝප නොවී ඉවසා සිටීම වෘක්‍ෂ ධර්මය වෙයි. එය අවබෝධ කරගන්නේ නම් නැවත වාස භවනය හිමිවෙයි. මෙය පිළිගත් නිසා “පුෂ්ප තිට්‌ඨිත” නම් වූ මෙම ගස ප්‍රතිෂ්ඨාපනය කිරීමට සක්‌ දෙවියන් කටයුතු කළහ. මේ කථා ප්‍රවෘත්තියෙන් පැහැදිලි වන්නේ තමන්ට අයත් නොවන දේ බලෙන් පරිහරණය කිරීමත් පිළිවෙත් ගරුක නොවීමත් නිසා මුහුණ දුන් අහිතකර තත්ත්වයයි.

We found this article from Divaina on 2012/05/18.
Also Sinhala to English Google word to word translation can be found here