ගිනි දෙවියන් පිදීම හෙවත් “අග්නි පූජා”

0
715
ගිනි දෙවියන්
ගිනි දෙවියන්

ඊශ්වර දෙවියන්ට විහිළුවක්‌ කිරීම නිසා මල්සරා දෙස රවා බැලීමෙන් ඔහු එතනම දැවී අළුවී ගිය බවත්. පසුව මල්සරා එම විහිළුව කළේ තමාට සුන්දර බිරිඳක ලබාදීමට බව වටහා ගැනීමෙන් පසු ඔහුට නැවත ප්‍රාණය ලබාදුන් නමුත් මල්සරා හෙවත් මලවියාට මුල් ස්‌වරූපය නොලැබී “අනංගයා” වු බවත් හින්දු ජනකථාවල මෙන්ම හින්දු සාහිත්‍යයේද පැවැසේ. ඒ නිසා ගින්දර සමග සෙල්ලම භයානක බව අප වටහා ගත යුතුය. ඉන්දියාවේ “සතිපූජා” මගින් ස්‌වාමියා මිය ගිය පසු තමාගේ පතිවත පෙන්වීමට භාර්යාව ගිනි ගොඩකට පැන චරිත සහතිකයක්‌ දීම මෑතක්‌ වන තුරුම නීතියෙන් තහනම් කරන තුරු ඉන්දියාවේ පැවැතියේය. එසේම බුද්ධ සමාජයේ “ගිනිදෙවියන්” පිදීම ජනප්‍රියව පැවැති බවද පෙනේ. මේ ලෙස ගිනි දෙවියන් පිදීම ඉන්දියාවේ පමණක්‌ නොව ලෝකයේ බොහෝ රටවල පැවැතුනි. එහි ක්‍රමය වෙනස්‌කම් මිස පරමාර්ථයේ වෙනසක්‌ නොවීය. ශ්‍රී ලංකාවේද ගිනි දෙවියන් පිදීම පැවැති අතර අද ද එය පවත්නා බවත් එය “ගිනි දෙවියන්” පිදීම වශයෙන් නොවුවද වෙනත් නාමයන්ගෙන් “අග්නි” හෙවත් ගින්දරට පූජා පැවැත්වීම සඳහන් වේ. අප සිතාමතා හෝ දැන හෝ නොදැන කරන මේ “ගිනි” පූජාව පිළිබඳව විමසා බලමු.

“ගෙදර ගින්දර පිට දෙන්නත් එපා පිට ගින්දර ගෙට ගන්නත් “එපා,” මහ පොළොව ගිනි අරං “මගේ ඔලුවත් ගිනි අරං”, හරිම ගිනි කිරිල්ලියක්‌ “රටම ගිනි තියලා “,සේරම උහුලන්න පුලුවන් බඩේ ගින්දර තමා ඉවසන්න බැරි., මිනිස්‌සු “ගිනි” පොලියට ණය අරගෙන ගෙවා ගන්න බැරි උනාම නඩු වැටිලා නීතිඥ මහත්වරුනට “ගිනි” ගෙවනවා. සමහර රටවල නියඟ වැඩිවෙලා “ලැව්ගිනි” වලින් කැලෑ අක්‌කර සියගණන් විනාශ වෙනවා. මේ සේරම හරි කොල්ලන්ට වඩා වයසක උන්ට හැදෙන කාමගින්නට අහිංසක දැරියන් බිළිවෙනවා. ඒ නිසාම කොල්ලෝ කෙල්ලන්ට ආදරය කරන්නත් බයයි. උන්ගේ හිත්වල “ආදර ගින්න” හිත් පොඡ්ජට මැලවිලා යනවා. යාන්තම් අපේ රටේ “යුදගිනි” ඉවර වුණා විතරයි. අධිකරණයයි ව්‍යවස්‌ථාදායකයයි ගිනි තියා ගත්තා. මේ වගේ “ගිනි” කථා ඕනෑතරම් කියන්නට පුළුවන් වුවත් “අග්නි” හෙවත් “ගිනි දෙවියන්” පිදීම මේවාට අදාළ නොවන නිසා අපි අග්නි පූජා දෙසට හැරෙමු.

අපේ ආදී වාසීන් ඔවුන්ගේ ආගමික උත්සව අවස්‌ථාවලදී ” ගිනි මැලයක්‌” ගසා ඒ වටා නටමින් ගිනි දෙවියන්ට කරන පූජා විශේෂයක්‌ පිළිබඳ මීට ඉහත මා ලියා ඇත්තෙමි. ලෝකයේ මුල්ම ශක්‌ති ප්‍රභවය වන්නේ ගින්දර සහ ජලයයි. ඒ නිසා අතීතයේ ලොව සෑම රටකම මිනිසුන් ගින්දරට සහ ජලයට පුද පූජා පැවැත්වූහ. සූර්ය වන්දනාව මෙන්ම ” අග්නි පූජාවද” ඉතාම පැරණිය. ඉබේම හටගත් ගින්නක්‌ නිසා කැලෑ විනාශ වූ අවස්‌ථාවක මියගිය සතුන්ගේ පිළිස්‌සුණු ශරීර කොටස්‌ ආහාරයට ගැනීමෙන් පසු මිනිසා ආහාර පුළුස්‌සා කෑමට පුරුදු වූහ. එසේම ගින්නට බයේ වනසතුන් නොපැමිණෙන නිසා ගින්දර ආරක්‍ෂකයෙකුද විය. ගින්න මගින් ලබාදෙන්නේ ආලෝකය පමණක්‌ නොව තාපය හා ශක්‌තියද ලැබේ. ගින්දර නිසා ධාවනය වන රිය දුම්රිය වූයේ ඒ නිසාය. තාපවිදුලි බලාගාර මේ ගින්දරට පිං සිදුවන්නට ඇති වූ ඒවාය. පසුකාලීනව සොයා ගත් පරමාණු. විදුලි ආදී වෙනත් ශක්‌තීන්ට වඩා ස්‌වාභාවිකව මිනිසාට ඉතාම ලංවන ශක්‌තිය ගින්දරය. ඒ නිසා අග්නි හෙවත් ගින්දර දෙවියෙකු සේ සැලකීම පුදුමයක්‌ නොවේ. අතීතයේ “ගිනි දෙවියන්” පිදුවත් වර්තමානයේ එය හාස්‍යයක්‌ හෝ මිථ්‍යා. විශ්වාසයක්‌ යෑයි බැහැර කර ඇතත් පැරණි නිවෙස්‌වල කිසිවිටෙක ලිප නිවෙන්නට දුන්නේ නැත. අද මෙන් කඩයට ගොස්‌ ගින්දර (ගිනිපෙට්‌ටියක්‌) ගෙන එන්නට නොහැකි වූ සමාජයේ ලිපේ ගින්දර ආරක්‍ෂා කර ගැනීම වැඳගත්විය. නිවසක ගින්දර නිවා දැමීම “මූසල” කමක්‌ හෙවත් “අසුභ” දෙයක්‌ සේ සැලකූහ. නව යුවලක්‌ අලුතින් නිවසක පදිංචියට යන මොහොතේ ගෘහණියට ලැබුණු ලොකුම දායාදය වූයේ “ගිනි අඟුරු” ස්‌වල්පයකි. ඒ ගිනිඅඟුරු ප්‍රයෝජනයට ගෙන අලුත් නිවස ආලෝකමත් කරන්නට ඇයට හැකියාව තිබිය යුතුය. කිසිඳු විටෙක පිට නිවසකින් ගින්දර ඉල්ලීම නොකළ යුතු බව “අමල් බිසෝ” ” කථාව අපට උගන්වයි. විදුලි කෙටීමද මේ ගින්දරට සම්බන්ධ නිසා අකුණු ගැසීම ඉතාම බියකරු අත්දැකීමක්‌ විය. මහනුවර පෙරහැරේ අලි ඇතුන් සහ ගිනිපන්දම් අග්නි සහ මේඝ ලෙස සැලකීය.

මෙවැනි දිගු ඉතිහාසයක්‌ ඇති “ගින්දරට වර්තමානයේ අපද පුද පූජා පවත්වන බව කියුවොත් ඔබ සිනාසෙනු ඇත. එහි වරදක්‌ නොපෙනේ. එහෙත් සත්‍යය අවබෝධ කරගත් පසු ඔබ සිනාසුනේ වැරදීමකින් යෑයි සිතා “සොරි” කියා නොකියන්න. ඔබ බෞද්ධයෙකු නම් පිරිත් මණ්‌ඩපය වටා පහන් සතරක්‌ හෝ වැඩිගණනක්‌ දල්වන්නේ ඇයි. විදුලි බුබුළුවලින් මුළු පිරිත් මණ්‌ඩපයම සරසා තිබියදී ඒ අසල පොල්තෙල් පහන් සතරක්‌ දල්වන්නේ “ගිනි” දෙවියන් සිහියට නගා ගැනීමටය. එසේම ඕනෑම සුභ හෝ මංගල උත්සව අවස්‌ථාවක මුළු ශාලාවම හෝ ප්‍රදේශයම විදුලි බුබුලුවලින් සරසා තිබුණත් උත්සවය ආරම්භයේදී පොල්තෙල් පහනක්‌ දල්වා උත්සව සභාව ආරම්භ කරණුයේ ගිනි දෙවියාට කරන ගෞරවයක්‌ වශයෙනි.

කතරගම උත්සව සමය අවසානයේ “ගිනි දෙවියන්” පිදීම සිදු කෙරෙන බව පැහැදිලිය. එය “ගිනි පෑගීම” ලෙස නම් කෙරේ. ඒ අනුව හින්දුන් පමණක්‌ නොව බෞද්ධ බැතිමතුන්ද කතරගම දෙවියන්ට භක්‌තිය පෙන්වන්ට ගිනි පෑගීම සිදු කරයි. ඒ ගිනි පෑගීම මගින් කෙරෙන්නේ “අග්නි” පූජාවයි. සූර්යා “ගිනි බෝලයකි” එය කිසිදා නොනිවෙන ගිනි දැල්වලින් යුත් වස්‌තුවකි. මේ ගිනි බෝලය යම් දිනෙක නිවී ගියොත් ලෝක විනාශය” පමණක්‌ නොව මුළු සෞරග්‍රහ මණ්‌ඩලයම මොහොතින් විනාශවනු ඇත. ඒ නිසා ගින්නට ඇති ශක්‌තිය මෙන්ම බලයද තේරුම් ගත හැක. සිංහල සහ හින්දු අවුරුදු උත්සවයේ විශේෂම අවස්‌ථාව “ලිපගිනි” මෙලවීමයි. තාක්‍ෂණික මෙවලම් කොතෙක්‌ තිබුණද ශ්‍රී ලංකාව පුරා එදිනට තාවකාලිකව හෝ ලිපක්‌ තනා කිරි ඉතිරවීම හෝ කිරිබතක්‌ ඉවීම සිදු කෙරේ. එතනදී ලිපට වැඳ නමස්‌කාර කිරීම ගෘහණියගේ පුරුද්දකි. මේ “ලිප” ගින්දරය. ලිප සෑදූ ලිප් ගලට නොව ” ගින්දරට” නමස්‌කාර කිරීම ඇය සිදු කරන්නීය.

බොහෝ පැරණි පූජනීය ස්‌ථානවල ” දොළොස්‌ මහේ පහණ” දල්වා එය නිවෙන්නට නොදී රැකගනී. මේ දොළොස්‌ මගේ පහණින් සිදු කරනුයේ ආලෝකය ශක්‌තිය බලය ලබාදෙන ගින්දර මගින් එම පූජනීය භූමියට පුද පූජා පැවැත්වීමයි. “ගිනි” මගින් නොමැතිව විදුලි බුබුළු මගින් එම පූජාව කළහැකි වූවත් එයට වඩා “ගින්දර” මිනිසාට සමීප මිතුරෙක්‌, ආරක්‍ෂකයෙකු මෙන්ම ශක්‌තිය ලබා දෙන සේවකයකු සේ සැලකීම ඊට හේතුවයි. එසේම ගුප්ත විද්‍යාත්මකව සලකා බලන විට ගින්දර ප්‍රයෝජනයට ගන්නා අවස්‌ථා රාශියක්‌ ඇත. බලි තොවිල්වලදී ගිනි විලක්‌කු දැල්වීම. ඒවා සොලවමින් ආවේශ වී නැටීම ආදියද වේ. ඇතැම් අය ගිනි පන්දම මුඛය තුළට දමා ගැනීමද සිදු කෙරේ. “ගිනි සිසිල” යන මන්ත්‍රය ඉතාම බලගතු මන්ත්‍රයකි.

මේ ලෙසින්ම විවාහ වීම ප්‍රමාද වන කාන්තාවන් සඳහා කරන “අග්නි පූජාවක්‌ද පැවැත්වේ. මෙසේ විවාහ වීම ප්‍රමාද වන කාන්තාව නිවසේ පැඟිරි දරවලින් ගැසූ ගිනි මැලයක්‌ අසල තබාගෙන සඳුන් තෙල් හෝ සඳුන් කුඩු ඒ ගිනි මැලයට විසිකරමින් කරන යාගයක්‌ මගින් ඇයගේ ග්‍රහදෝෂ දුරුවී විවාහය ඉක්‌මන් කෙරේ. මෙය ඉතාම විරල ප්‍රතිඵල ලබාදෙන යාග ක්‍රමයකි. අග්නි බන්ධන නමින් හැඳින්වෙන මෙම පූජාවට ස්‌ත්‍රියගේ හිස කෙස්‌ ස්‌වල්පයක්‌ සහ නිතර අඳින වස්‌ත්‍රයක නූල් කිහිපයක්‌ දමා පිළිස්‌සීම සිදු කෙරේ. එසේම ඇස්‌වහ. කටවහ දෝෂ නැති කිරීමටද ගිනි කබලකට ලුණුකැට, අබ, මිරිස්‌ කරල් මෙන්ම හිස කෙස්‌ සහ අදාල පුද්ගලයාගේ වස්‌ත්‍රයක කොටසක්‌ දමා කරන පූජාවකි. මේ දෙකම අග්නි පූජාය. ඒ නිසා අප ” ගිනිදෙවියන්ට” පුදන්නේ නැතැයි කීම නොදන්නා කමකි. අපේ ආරක්‍ෂාව ගින්දර ලබා දේ නම් ආලෝකය තාපය ලබාදේනම් දෝෂ භංග කොට විවාහය ලබාදේ නම් රෝග නිවාරණය කරන්නේ නම් ගින්දර පූජා පැවැත්වීම අසාධාරණ නොවේ.

We found this article from Divaina on 2013/02/15.
Also Sinhala to English Google word to word translation can be found here