ගෙදර සිටින සුනඛයා නිසාත් වාස්‌තු දෝෂ හටගන්නවා…

1972
සුනඛයා
සුනඛයා

සුරතල් සතුන් ඇති කිරීමට කවුරුත් කැමැතියි. ඔබටත් සුරතලුන් ඇති. මෙම සතුන් අතරින් ඉතාමත් බහුලව දැකිය හැක්‌කේ සුනඛකන් සහ බලල් පවුලේ සතුන් වේ. ඔබ කුඩා කාලයේ සුරතලයට කොතෙක්‌ සතුන් ඇති කරන්නට ඇද්ද? කුඩා ළමුන් පමණක්‌ නොවෙයි වැඩිහිටියන්ද වයස්‌ භේදයකින් තොරව සතුන් ඇති කිරීමට ඇල්මක්‌ දක්‌වන බව අපි දනිමු. සුරතලයට ඉතා ආදරයෙන් ඇති දැඩි කරන එම සතුන් අකාලයේ මියගියහොත් හෝ අසනීප වුවහොත් අපට ලොකු වේදනාවක්‌ දැනෙනවා. පුංචි අය විතරක්‌ නොවෙයි වැඩිහිටියන් පවා තමන්ගේ සුරතලා නිසා අඬන අවස්‌ථා ඔබ දැක ඇතිවාට සැකයක්‌ නැහැ.

ඔබේ සුරතලාව ආරක්‌ෂා කරගන්නත් ඔබට ආරක්‌ෂා වෙන්නත් වාස්‌තු සිද්ධාන්තවල බලපෑමක්‌ ඇති බව ඔබ මඳකටවත් සිතුවාද? ඔබගේ ගෘහයේ දිශා කෝනයන්ගේ ඇතිවන බලපෑම තුළ මෙන්ම එම ශක්‌ති විශේෂයන්ගේ තිබෙන තීව්‍රතාවයන් තුළ ගෘහයක සතුන් ඇති දැඩි කළ හැකි සීමාවන් පෙන්වා දී තිබෙනවා. මෙම ලිපියේ ඔබට පෙන්වා දීමට අදහස්‌ කරන්නේ, ඔබ විසින් සුරතලට ඇති කරනු ලබන සුරතල් සතුන් ස්‌වභාව ධර්මයේ නීති හා රීතින්ට අනුව ඇති දැඩි කළ යුතු පිළිවෙළ පිළිබඳවයි.

ඇත්තටම නූතන සමාජය තුළ මෙන්ම මානව ඉතිහාසයේ අනාදිමත් කාලයක සිට මිනිසා සමග එකට ජීවත් වූ විශේෂිත සත්වයෙක්‌ සිටිනවා. එනම් සුනඛයායි. නිවාසවල සුනඛයන්ට විශේෂිත තැනක්‌ හිමිවෙනවා. බොහෝ නිවාසවල සුරතලා මෙන්ම ආරක්‌ෂකයාද වන්නේ සුනඛයායි. එසේම බිලාල පවුලේ සාමාජිකයන් හා විවිධ ක්‌ෂීරපායී සතුන් ලෙස සැලකිය හැකි හාවුන් වැනි සුරතල් සතුන්ද දැකිය හැකි අතර පක්‍ෂීන්ද දැකිය හැකියි. මෙහිදී විශේෂයෙන් ඔබගේ අවධානය යොමු කරනු ලබන්නේ ගෘහ සුනඛයා පිළිබඳවයි.

සුනඛයා

සුනඛයා යනු විශේෂිත සත්ත්වයෙක්‌ ලෙස ගුප්ත විද්‍යාවන් තුළ හඳුන්වාදී තිබෙනවා. එබැවින් සුනඛයාට ගුප්ත විද්‍යාව තුළ විශේෂිත තැනක්‌ හිමි වෙනවා. වාස්‌තු විද්‍යාව තුළ මෙන්ම විවිධ ආගමික දර්ශනයන් තුළද සුනඛයා පිළිබඳව යම් විශේෂිත තත්ත්වයකින් අදහස්‌ පළ වී තිබෙනවා. එබැවින් ගෘහයක වෙසෙන සුනඛයා එම ගෙදර වාසය කරන්නන් හට විශාල බලපෑමක්‌ සිදු කරන බව ඉපැරැණි වාස්‌තු ශිල්පීය පුස්‌කොළ පොත්වල පවා සඳහන් වී පවතිනවා.

සුනඛයා රැඳවිය යුතු නියමිත දිශා

විශේෂයෙන් වාස්‌තු ශිල්පයේ සුනඛයා රැඳවිය යුතු නියමිත දිශාවන් මොනවාද යන්න පිළිබඳ උපදෙස්‌ ලබාදී තිබෙනවා. එසේම වැරැදි දිශාවන් සුනඛයා වාසය සඳහා යොදා තිබීමෙන් ඇතිවන ප්‍රතිඵල පිළිබඳවද පෙන්වා දී තිබෙනවා. විශේෂයෙන් ගව මහේෂාදීන්ගෙන් යෑපෙන පෙර කල සිටි ඉන්දීය සමාජය තුළ ගව මහේෂාදීන් රැඳවිය යුතු දිශාවන් පවා පෙන්වා දී තිබෙනවා. එසේ වුවද සුනඛයා රැඳවීම ගව මහේෂාදීන්ට වඩා වෙනස්‌ වන බවද කියාදී තිබෙනවා. භාරත සමාජය තුළ ගවයාට දේවත්වයෙන් සලකනු ලබන අතර සුනඛයා යනු හුදෙක්‌ ඉතාමත් ප්‍රවේශමෙන් නිමිති කරගත යුතු සත්වයෙක්‌ ලෙස හඳුන්වයි. ඔබ අසා තිබෙනවා නේද බල්ලෙක්‌ උඩු බුරලන විලාසය ඉතාමත් අසුබ කටයුත්තක්‌ බව. එසේම බල්ලා කන්පොට ගසන ශබ්දය අසුබ පෙර නිමිති පවසන බවයි. එසේ වුවද ගවයාගේ එවැනි අසුබ පෙර නිමිති කිසිවක්‌ හට නොගන්නා බව කිව යුතුයි. මේ තුළින් ඔබට පෙන්වා දීමට උත්සාහ ගන්නේ නූතනයේදී මෙවැනි දෑ පිළිබඳව කිසිම දැනුමක්‌ නොමැති සංකර සමාජය තුළ සුනඛයා ගෘහය තුළට වද්දාගෙන මිනිසුන්ද සුනඛ මිත්‍ර සමාගමයේ යෙදෙමින් කාලය ගත කරන බව නොරහසක්‌ නිසාවෙනි. මෙවැනි දෑ හුදෙක්‌ සත්ත්ව කරුණාවට එරෙහිව සිදු කරනු ලබන අදහස්‌ දැක්‌වීමක්‌ නොවන අතර මිනිසුන් ලෙස අප ජීවත් විය යුතු සොබාදහමේ ක්‍රියා පිළිවෙත වාස්‌තු ශිල්පයට අනුව පහදාදීමක්‌ පමණි.

වාස්‌තු ශිල්පයට අනුව සුනඛයා රැඳවිය යුතු ඉතාමත් සුදුසු දිශාව කුමක්‌ද යන්න පැහැදිලිව පෙන්වාදී තිබෙනවා. එසේම අනිකුත් දිශා තුළ රඳවා ඇති සුනඛයන්ගේ පැවැත්ම පිළිබඳව ද හඳුන්වාදී තිබෙනවා. ඒ අනුව ඔබගේ ශිෂ්ටාචාර ගත මිතුරාව නියමාකාරයෙන්a ආරක්‌ෂා කරගෙන ඔබත් ආරක්‌ෂා වීම සඳහා ලෞකික මිනිසුන්ගේ සැප විහරණය සඳහා ලබාදී ඇති වාස්‌තු උපදෙස්‌ පරිදි ඔබත් ඔබගේ සුනඛයාව ඇති දැඩි කරන්න. එවිට සුනඛයාට සහ ඔබටද යහපතක්‌ සිදුවනු ඇත. ඒ අනුව සුනඛයන් කිසිම විටක නිවස ඇතුළත තබා ගැනීම සුදුසු නොවන බව මතක තබාගත යුතුයි.

සුනඛයා

සුනඛයන් සඳහා ඉතාමත් සුදුසු දිශාව වයඹ දිශාවයි.

සුනඛයන් ඇති දැඩි කිරීම සඳහා ඉතාමත් යහපත් දිශාව වයඹ දිශාව වේ. ඔබගේ සුනඛයා වයඹ දිශාවේ තැබීම තුළ ඔබට අස්‌වැසිල්ලක්‌ වනු ඇත.

  1. සුනඛයා ඉතා කීකරු සහ ප්‍රියමනාප වෙයි. එසේම අයාලේ නොයයි.
  2. දීර්ඝායුෂ ලැබේ.
  3. නිතර නිතර රෝග පීඩා නොවැළඳෙයි.
  4. සොර සතුරු බිය දුරුවෙයි.
  5. අසල්වැසියන් පවා ආදරය දක්‌වයි.

සුනඛ කුටිය සඳහා ඉතාමත් අයහපත් දිශා වන්නේ ඊශාන හා නිරිත දිශාවයි.

සුනඛ කුටියක්‌ සඳහා ඉතාමත් අයහපත් දිශා දෙකක්‌ ඇත. එනම් ඊශාන දිශාව සහ නිරිත දිශාවයි. ඔබගේ සුනඛයා සිටින්නේ ඊසාන සහ නිරිත නම් ඔබ පහත ප්‍රතිඵල බලාපොරොත්තු විය යුතුයි.

  1. සුනඛයා ඉතා අකීකරු අයාලයේ යන ප්‍රියමනාප නොවන සතෙක්‌ වෙයි.
  2. ආයුෂ ඉතා කෙටි වන අතර අකාලයේ මියයයි.
  3. නිතර නිතර රෝග පීඩා වැළඳෙයි. නිවැසියන්ටද එය සෘජුව බලපානු ලැබේ.
  4. සොර සතුරු බිය වැඩි වේ.
  5. අසල්වැසියන් පවා විරසක වේ.
  6. නිවසේ සාමය බිඳ වැටෙයි.

සුනඛ කුටිය ඊශාන දිශාවේ යනු විශ්ව ශක්‌තිය නිවසට කාන්දු වන දිශාව දැඩි ලෙස දුර්වල වීමයි. එසේම දෙවිවරුන් වඩින ඊශාන දිශාවේ සුනඛයන් රැඳවීම නිසා භූමිගත වෘක්‍ෂ සහ සම්‍යදෘෂ්ටික දෙවිවරු නිවසට බැල්ම නොහෙළයි. එබැවින් සියලු අයහපත් දෑ සිදුවන අතර ගෘහයට පාළු මූසල පෙනුමක්‌ ඇති කරන අතර අමනුෂ්‍ය බිය ගෘහයට එල්ල වීමේ අවදානමද වැඩි වේ.

එසේම නිරිත දිශාවේ සුනඛයන් රැඳවීම තුළ සිදු වන්නේ ගෘහ හිමියාගේ දිශාව වන නිරිත දිශාව දුර්වල වීමයි. මේ නිසා නිවසේ අඹු සැමියන් අතර නිතර සාමය බිඳවැටීම හා පවුලේ අවුල් වන තත්ත්වයන් පවා සිදුවිය හැකිය. නිවසේ විවාහ වන වයසේ සිටින දරුවන්ගේ විවාහය කල්යැම සහ පරම්පරාව යාවත්කාලීන නොවීම වැනි සියලු අයහපත් දෑ සිදුවීම නිතැතින් සිදුවනු ඇත.

එබැවින් විශ්ව ශක්‌තියේ ගමන් මාර්ගය වන ඊශාන නිරිත දිශාවේ සුනඛයන් රැඳවීම නොකළ යුතුම බව පෙන්වා දෙමි.

මිශ්‍රඵල ‌දෙන දිශාවන්

බටහිර – දකුණ යන දිශාවන් සුනඛ කුටිය සඳහා මිශ්‍රඵල ඇති කරන අතර උතුරු සහ නැගෙනහිර දිශාවන්ද එතරම් යහපත් නොවන බව මතක තබාගත යුතුයි. එසේම ගිනිකොණ දිශාවේ සුනඛ කුටිය යෙදීම අයහපත් නොවන අතර මේ නිසා සුනඛයා ඉතා දරුණු වීම මෙන්ම තම ස්‌වාමියාට පවා මෙල්ල නොවන තත්ත්වයේ විය හැකියි. එසේ වුවද ගිනිකොණ දිශාව සුනඛ කුටිය සඳහා අයහපත් නොවන බවද පෙන්වා දෙමි.

මිනිසාගේ යුග ගණනාවක සිට පසුපස එන හොඳම මිතුරා වන සුනඛයා පිළිබඳව ඇති වාස්‌තු ශිල්පීය මතය ඔබ වෙත පැහැදිලි කරදීමට මා ගත් උත්සාහය සාර්ථක වූ බව මාගේ හැඟීමයි. ඔබ විසින් මතක තබාගත යුතු විශේෂ කරුණු කිහිපයක්‌ පවතින බව කිව යුතුයි. ඔබගේ නිවසේ සිටින සුරතලා මෙන්ම ආරක්‌ෂකයා ඔබ වෙත සිදුකරන ලබන බලපෑම සුළු පටු නොවන බවත් ඔබගේ ආරක්‌ෂාව සහ තනියට මෙන්ම සහායට සිටින මෙම සුනඛයා පිළිබඳව වාස්‌තු ශිල්පීය දෘෂ්ටියෙන් සහ ගුප්ත විද්‍යාත්මක දෘෂ්ටියෙන්ද බැලීමෙන් ඔබගේ සුනඛයාගෙන් යහපත් සේවයක්‌ ලබා ගැනීමේ හැකියාව ඔබට ලැබෙනු ඇත. නිසි තැන නිසි ලෙස ඇති දැඩි කරනු ලබන සුනඛයා ඔබට සම්පතක්‌ වන බවත් සුනඛයාට නොසුදුසු තැනක නොසුදුසු ලෙස මෙන්ම සුනඛ භූමිකාව ගත කිරීමට ඉඩ නොදෙන විට එය ඔබටම පාරාවළල්ලක්‌ විය හැකි බැවින් ඔබ ලබාගත් වාස්‌තු ශිල්පීය දැනුම නිසි ලෙස ප්‍රයෝජනයට ගැනීමට අවැසි ශක්‌තිය ලැබේවා

We found this article from Divaina on 2013/11/24.