දුකට අධිපති සෙනසුරු ඔබේ ජීවිතයට කරන බලපෑම්

1310
සෙනසුරු
සෙනසුරු

ශනි හෙවත් සෙනසුරු අන් ග්‍රහයන් අතරින් විශාලත්වයෙන් දෙවැනි වෙයි. කුඩාවන්නේ බ්‍රහස්‌පති ග්‍රහයාට පමණි. සූර්යයාගෙන් බොහෝ ඈත අවකාශයේ පිහිටා ඇති බැවිනුත් ආලෝකය නැති කහ වර්ණයෙන් අපට දර්ශනය වෙන බැවිනුත් එය අඳුරු ග්‍රහ තාරකාවක්‌ ලෙස සැලකේ. මෙහි විශ්කම්භය සැතපුම් 71,000 ක්‌ වන අතර ශනි ග්‍රහයාගේ සිට සූර්යයාට දුර සැ. 8865 ක්‌ පමණ වේ. මොහුට හිරු වටේ යැමට අවරුදු 29 1/2 ක පමණ කාලයක්‌ ගතවේ. එහි ආකර්ෂණය නිසා සමස්‌ත ලෝක ප්‍රජාවටම විපත්ද සිදුවීමට ඉඩ ඇති බව විද්‍යාඥයෝ විශ්වාස කරති. දැන් අපි බලමු ශනි ග්‍රහයා කිසියම් අයකුගේ කේන්ද්‍රයේ ඒ ඒ භාවයන්හි පිහිටීමෙන් ජන්මියාට එය කුමන අයුරකින් බලපෑම් කරනවාද කියා.

ශනි ලග්නයෙහි සිටියදී උපන් අයට බොහෝ සිත් කරදර ඇතිකරවයි. ශනි දුකට අධිපති බැවින් ලග්නයට පැමිණි විට නිතර දුක්‌ සහිත දිවි ගෙවීමට සලස්‌වයි. තනිව වාසය කිරීමට ප්‍රිය කරයි. මුදල් කරදර වසවිෂ කැවීම්, ගින්නෙන් හා රජයෙන් හෝ උසස්‌ නිලධාරීන්ගෙන් පීඩා ඇතිකරවයි. ඈත පළාත්වල ඇවිදීමට සිදුවන බැවින් විදේශ රැකියාවලට යැමටද ශනි ලග්නයේ සිටින කාලය යහපත් වේ. නඩු හබවලින් ධන හානියටද හේතුවෙයි. මකර, කුම්භ, තුලා ධනු යන ලග්න ලග්නය වී ශනි පළමුවැන්නේ සිටියදී උපන් අය මනා දේහ සම්පත්තියෙන් යුත් රූපකායක්‌ ඇති ධනවත් වීර්යවන්ත ප්‍රසිද්ධ කෙනෙක්‌ වෙනු ඇත.

සෙනසුරු

සෙනසුරු දෙවැන්නේ

ශනි දෙවැන්නේ සිටියදී උපන් අයට ඇස්‌වල පීඩා ඇතිවේ. මුහුණ දුර්වර්ණ වෙයි. පහත් ගති ඇති අය සමඟ ඇසුරට පත්වෙයි. ගොවිතැනින් හා භූමියේ වැඩවලින් ප්‍රසිද්ධ ව්‍යාපාරවලින් ආදායම් ලැබූවත් කෙසේ හෝ දෙවැන්නෙහි ශනි සිටියේ නම් ඉතිරි කිරීමට ඉඩ නොදේ. සියලු වස්‌තුව ශනි දිශාවේදී විනාශ වේ. ස්‌ත්‍රීන්ට විපත් ඇති කරයි. සියලු දෙනා සතුරු වෙන අතර ගෘහ ජීවිතයද එපාවෙන තරමට කරුණු යෙදෙයි. ශනි බලවත්ව සිටියොත් එපමණ විපත් ඇති නොවේ.

තුන්වැන්නේ ශනි සිටියොත් සහෝදරයන්ට හෝ මෙහෙකරුවන්ට ආදරයක්‌ නැතිවේ. ඔවුන්ගෙන් අයුතු ප්‍රයෝජන ලබයි. පිට පළාත්වල සංචාරයට පමුණුවයි. විදේශ රැකියාවලටද යොමු කරවයි. රජයෙන්, නීතියෙන් හෝ උසස්‌ නිලධාරීන්ගෙන් දඬුවම් විඳීමටද සිදුවේ. එකොළහේද පාපයකු සිටීනම් භාර්යාවන්ටද අපල ගෙන දේ.

ශනි දුර්වලව සිටියොත් සහෝදරයන්ට විපත් ඇතිවේ. අනුන්ට මෙහෙකාරකම් කරන්නටද සිදුවෙයි. සහෝදරයන්ගේ පිහිටක්‌ නොලබන අතර නිතර දුක්‌ සහිත ජීවිතයක්‌ ගත කිරීමට සිදුවේ.

ශනි හතරවැන්නේ සිටියදී උපන් අය බොහෝවිට අසරණ, අනාථ අයට පිහිට වෙයි. තම ධනයෙන් වෙහෙර විහාර පන්සල් ආදිය ද කරවයි. තම දේපළද සඟ සතු කිරීමට තරම් පරිත්‍යාගශීලී වේ. ශනි හතරේ චර රාශියක්‌ව සිටියොත් ස්‌ථිර වාසස්‌ථාන නැති කරයි. තැනින් තැන කලින් කල දිවි ගෙවීමට සිදුවිය හැක. නෑදෑයින් නිසා වස්‌තුව වියදම් කිරීමට දිළිඳු බවට පත්වේ. හතර වැන්නේ ශනි බලවත්ව සිටියොත් දෙපක්‍ෂයේම නෑදැයින්ට වඩා බලවත් අයෙක්‌ වෙයි. දුක සැප එක ලෙස විඳින්නට හැකිවේ.

පසු කාලයේදී ගේ දොර ඉඩකඩම් ඇති අයකුද වෙයි. ශනි පස්‌වැන්නට එතරම් අශුභ නොවේ. කොන්ත්‍රාත් ආදී ව්‍යාපාරවලින් ලාභ ලබයි. දරුවන් අඩුවෙයි. නැතිනම් ඔවුන් රෝගී කරයි. නිතර දුක්‌ කරදරවලට මුහුණපෑමට සිදුවේ. උච්චව ස්‌වක්‍ෂේත්‍රව සිsටියොත් අගුණ පක්‍ෂය අඩුවී ගුණ පක්‍ෂය වැඩිවෙයි. ආගමික සිතිවිලි අධිකව පිහිටන බැවින් තම දූ දරුවන්ද පැවිදි බිමට ඇතුළත් කරවයි. පස්‌වැන්නේ ශනි දුර්වලව සිටියොත් පළමු දරුවාට මරණය හිමිවෙයි. දූ පුතුන්ගෙන් ශෝකවීම් ඇතිවෙයි. ධනු ලග්නයට පහේ ශනි නීච වුවත් ඉතා යහපත්ය. ධනය ලබාදෙයි. කෙසේ හෝ පස්‌වැන්න ශනිට යහපත් වේ.

ශනිට දික්‌බල ස්‌ථානය

හත්වැන්න ශනිට දික්‌බල ස්‌ථානය වෙයි. පොත්වල සඳහන් කර ඇති පරිදි විවාහය ප්‍රමාදය. රෝගී වූ ශරීර ඉන්ද්‍රියන්, විවාහක පුරුෂයාට හෝ භාර්යාවට හානි. ඔවුන් අතර ආරවුල් ආදිය පෙන්නුම් කරයි. හතේ ශනි බලවත් වූ විට අන් හැම ස්‌ථානයකටම වඩා සුබඵල දෙයි. නියම වයසේදී විවාහයද සිදුවෙන අතර වස්‌තු සම්පත්, නිරෝගී බව හා ප්‍රීතිමත් යුග දිවියකට හේතු වෙයි.

ශනි හයවැන්නේ සිටියදී උපන් අය රන්රුවන්, ලෝහ වර්ග මෙන්ම ධනයද ලබයි. භූමි ලාභ ඇති අය වේ. උසස්‌ අයගෙන් උදව් ලැබෙයි. මත්පැන්, සූදුව, මැස්‌ මැරීම ආදිය මෙන්ම දරුණු ක්‍රියාවලින්ද ධනය උපයයි. ශනි දුර්වලව සිටියොත් වාත රෝගද, උලුක්‌කු, හිරිවාත, කැඩුම්, බිඳුම් ආදිය ඇතිවේ. යකඩ, පොලු, මුගුරු ආදියෙන් තුවාල ඇතිවෙයි. තිස්‌වැනි වියේදී දීර්ඝ කාලයක්‌ දුක්‌ විඳින රෝගයකට හේතු වෙයි.

ශනි අටවැන්නේ සිටියේ නම් දීර්ඝායුෂ ඇතිකරයි. මෙහෙකරුවන් තලා පෙලා ධනය රැස්‌ කරයි. ශනිට අට ඉතාම අශුභ ස්‌ථානයක්‌ වෙයි. දරුණු රෝග පීඩා ඇතිකරයි. නොයෙක්‌ විපත්තිවලට මුහුණ පෑමට සිදුවේ. නින්දා අපහාස ලැබීමට හේතුවෙයි. අටවැන්න මාරක ස්‌ථානය බැවින් එම ස්‌ථානයට ශනි පැමිණ සිටියදී ඔහුගේ මහ දශා, අතුරුදශා ලබා තිබුණොත් ඒරාෂ්ඨක අපලය ඇතිවේ. උපතේදී සඳු ලග්නය, හත, අට නමය ස්‌ථානයක සිටියොත් ජන්ම ඒරාෂ්ඨකයද යෙදෙයි. එසේ වූ විට තදබල අශුභඵල දෙයි. වැටීම්, සීරීම්, තුවාල අතපය කොරවීම්, වාහන අනතුරු මෙන්ම අංගවිකලවීම්ද ඇති කරයි.

යහපත් නවවැන්න

නවවැන්නේ ශනි පිහිටිවිට ශනිට පමණක්‌ නොව කිසිම ග්‍රහයකුට නමවැන්න අශුභ නොවේ. නවය සෙනසුරු ට යහපත්ය. ඔවුන් අන් අයගෙන් වැඳුම් පිදුම් ලබන්නෝ ද වෙති. විශේෂයෙන් භික්‌ෂූන් වහන්සේලාට මෙම පිහිටීම ඉතා සුබයි. පස්‌කම් සැපතට වඩා තපස්‌ ජීවිතයට ප්‍රිය කරයි. ආගම ධර්මය කෙරෙහි ඇති දැඩි ඇල්ම නිසා පවට බිය වෙයි. ශනි දුර්වලව සිටියොත් කකුල්වල ආබාධ නිසැකවම ඇතිවේ. පූජක වෙස්‌ වෙන මිනිසුන් රවටා තම ජීවිකාව කරගනී. හොර සම්මාදම්කාරයෝ සහ පහත් පෙළේ රැකියා කරන අයද වේ. විශේෂයෙන් සෑමවිටම තම වාසිය උදෙසා ඕනෑම දෙයක්‌ කිරීමට මැලි නොවේ.

ශනි දසවැන්නේ සිටියදී උපන් අයට තමා කරන කිසිම ක්‍රියාවකින් ප්‍රතිඵල නොලැබී යයි. ගේ දොර ඉඩම් පිළිබඳව ආරවුල් ඇතිවෙයි. රැකියා ස්‌ථානයේද ප්‍රශ්න පැන නගී. පහත්වූ හෝ දරුණු හෝ ක්‍රියාවන්ට පොලඹවයි. වෘෂභ ලග්න හිමි අයට දහයේ ශනි සියලු උසස්‌ ශුභපල ලබාදෙයි. තුලා ලග්න හිමි අයටද එතරම් අසුබ නැත. එසේ වුවත් පාසල් යන දරුවෙකුට ශනි දහයට පැමිණියහොත් ඉගෙනීමේ දියුණුව ඇතිවී විශිෂ්ට ප්‍රතිඵල ලබා ප්‍රසිද්ධිය ඇතිවේ.

සෙනසුරු එකළොස්‌ වැන්නේ නම් ශුභ දෘෂ්ටි ලැබ සිටියේ නම් බොහෝ ශුභ පල හිමිවෙයි. ජන්මියාට නොයෙකුත් මාර්ගවලින් ධනය ලැබ ලෞකික ජීවිතයේ දියුණුව ඇතිකරවයි. රජයෙන්ද මිතුරන්ගෙන්ද උසස්‌ ලෙස උපකාර ලබති. තමාට සතුරුකම් කළ අයද මිතුරුවී උදව් කිරීමට ඉදිරිපත් වේ. සිත දරදඬු වීමෙන් කෲර ගති ඉස්‌මත =වේ. ශනි දෙවැන්න, එකොළොස්‌වැන්න යන ස්‌ථානයකට අධිපති වූ එකොළහේ සිටියොත් නොසිතූ පරිදි ධනය ලැබී දියුණුව ඇතිවෙයි. විශේෂයෙන් ලොතරැයි දිනුම් ලැබීමටද හැකිය. ශනි එකොළහේ සිටීම මිත්‍රයන් හමුවීමට ද හේතු වෙයි. එමනේම ඔවුන්ගෙන් පාඩු විඳින්නට සිදුවේ. වැඩිමහල් සහෝදරයන්ට අපල ගෙන දෙයි. ශනි දොළොස්‌ වැන්නට සුබ නොවේ. නිතර රෝග ඇතිකරයි. අමාරුවෙන් දුකසේ, දිවි ගෙවීමට සිදුවෙයි. නෑදෑයන් වෛරවීමට හේතුවන අතර ඔවුන්ගෙන් වෙන්ව සිටීමට සිදුවෙනු ඇත. දූ දරුවන්ට සහ භාර්යාවටද රෝග පීඩා ඇතිවීමෙන් ධන හානිය ඇතිකරවයි. ශනි බලවත්ව සිටියොත් රෝගීන්ට, අසරණයන්ට පිහිටුවීමට සිත් යොමුකරවයි. ශනි දොළහේ සිටියදී එම අයගේ මහදශා, අතුරු දශා ලැබ තිබුණොත් සෙනසුරු ඒරාෂ්ඨක අපල යෙදීමෙන් තමාගේ ජීවිතයද සැක සහිත වේ. ශනි දශාවේදී නඩු හබ ආදියද පටලවයි.

We found this article from Divaina on 2014/02/09.