දෛවයේ ශුභාශුභ, බාධක හෙළිකරන දෛව රේඛාව

0
745
දෛවයේ
දෛවයේ

බොහෝවිට මැණික්‌ කටුව ආසන්නයේ සිට අත්ල හරහා මැදගිල්ල (ශනි ඇඟිල්ල) දෙසට විහිදයන රේඛාව දෛව රේඛාව වශයෙන් හඳුනාගන්න. අල්ලේ පිහිටන ප්‍රධාන රේඛා අතරින් මෙම රේඛාවටද ලැබෙන්නේ සුවිශේෂ ස්‌ථානයකි. ඇතැම් සාමුදුක ශාස්‌ත්‍රඥයන් මෙය ශනි ඇඟිල්ලෙන් අවසන් වන නිසා ශනි රේඛාව යනුවෙනුත්, වාසනාව ගැන කියෑවෙන බැවින් වාසනා රේඛාව යනුවෙනුත් දෛව රේඛාව හඳුන්වයි. මෙම රේඛාව ප්‍රමාණ කිරීමේදී ජීවන රේඛාව මෙන් උඩ සිට පහළට නොව පහළ සිට ඉහළට ගණන් ගත යුතුය. ඇතැම් අයගේ මෙම රේඛාව චන්ද්‍ර මණ්‌ඩලය, සිකුරු මණ්‌ඩලය යන ස්‌ථාන වලින්ද ආරම්භ විය හැකිය. බොහෝවිට දෛව රේඛාව සෘජුව ඉහළට විහිදී යන අතර පුද්ගලයාගේ දෛවය අනුව ලැබෙන ශුභා ශුභ, ධන සම්පත්, දියුණුව මෙන්ම බාධක ආදී බොහෝ කරුණුද මෙම රේඛාවේ පිහිටීම අනුව කිව හැකිවේ.

කැපීම්, බිඳීම්, ගෙවීම්, දූපත් ලකුණු ආදියෙන් තොර පැහැදිලි සෘජුව පිහිටි දෛව රේඛාවකින් පුද්ගලයාට බොහෝ ධන සම්පත් උරුමවන බැව් පෙන්නුම් කරයි. එමෙන්ම අන් අයගේ ගෞරවය දිනාගැනීමටත්, ධන ධාන්‍යයෙන් සශ්‍රීක වීමටත් වාසනාව හිමිවේ. දෛව රේඛාව ජීවන රේඛාවට ඇතුළතින් එනම් සිකුරු මණ්‌ඩලයෙන් (ආ) පටන් ගත්විට අත්ල හිමියා ජීවිතයේ මුල් කාලයේදී නැදැයින් ඈත් කරනු ලබයි. පසු කාලයේ මොහුගේ වෘත්තීය කටයුතු පවුලේ අය විසින් පාලනය කරනු ලබයි. (මව, පියා, ස්‌වාමියා හෝ බිරිඳ විය හැක) එම අයගේ ආධාර ලැබ භාග්‍යය උදාවනු ඇත. එමෙන්ම ඔවුන් සෘජු ප්‍රතිපත්ති ඇති, කාරුණික බවින් යුතුවෙයි. තමන්ගේ පාලනය යටතේ ගෙන යන ව්‍යාපාර විශාල වශයෙන් දියුණු වේ.

දෛවයේ

මැණික්‌ කටුව මුලින් (අ) නැගෙන දෛව රේඛාවක්‌ ඇති අය අන් අයගේ පිහිට අපේක්‍ෂා නොකරන අතර ස්‌ව උත්සාහයෙන් තව තවත් දියුණුව කරා යයි. එම රේඛාව රවි මණ්‌ඩලය කරා විහිදේ නම් නොයෙකුත් කලා ශිල්පවලින් ප්‍රසිද්ධියට පත්වේ. බොහෝවිට ගායන ශිල්පීන් රංගන ශිල්පීන් විය හැක. මෙම අය ඉක්‌මන් විවාහ වලට යොමුවුවත් බොහෝවිට අසාර්ථක තත්ත්වයක්‌ පෙන්නුම් කරයි. මෙම රේඛාව – ශනි මණ්‌ඩලය මතදී (මැදගිල්ල මුල) තරුවකින් අවසන් වීනම් එය වඩාත්ම පැහැදිලි වේ. සිකුරු මංඩලයයෙන් පටන්ගත් දෛව රේඛාවක්‌ තිබීමත් හෘදය රේඛාව බෑවුම්ව තිබීමත් විවාහකයෙකු සමඟ සම්බන්ධතා පවත්වන බැව් හෙළිකරයි. නැතහොත් විවාහවීමට නොහැකි අයෙකු හා සම්බන්ධතා පවත්වයි. යම් අයෙකුගේ දෛව රේඛාව ශනිගේ ඇඟිල්ල පසුකර ගමන් කිරීම සුබ නොවේ. එය පුද්ගලයා දිළිඳු බවට පත්වෙන සලකුණක්‌ සේ සැලකේ.

දෛව රේඛාව ත්‍රිශූල හැඩයකින් කෙළවර වූයේ නම් එය මෙම රේඛාවේ හොඳම ශුභදායක පිහිටීම ලෙස සැලකිය හැක. ධනය, කීර්තිය, ගෞරවය, ප්‍රසිද්ධිය ආදී හැම දෙයක්‌ම හිමිවෙයි. දෛව රේඛාවේ මුල් කොටස හෙවත් මැණික්‌කටුව ආසන්නයේම ඇති කොටස දූපත් ලකුණු සහිත හෝ කැඩුම් බිඳුම් සහිත වී ඇත්නම් ජීවිතයේ මුල් අවධියේ ඇතිවූ අසනීප හෝ වෙනයම් බාධක පෙන්නුම් කරයි. ශීර්ෂ රේඛාවට පහළින් දෛව රේඛාව බිඳී ගියහොත් ජීවිතයේ මැදභාගයේදී (35-40 අතර) විශාල පසුබෑමකට හෝ කරදරයකට ලක්‌විය හැකි. දෛව රේඛාවෙන් ඉහළට විහිදෙන රේඛා සියල්ල වාසනා රේඛා වේ. එමගින් ජීවිතයේ ඉදිරි දියුණුව පෙන්නුම් කරයි. පහළට විහිදී යන රේඛා අශුභ තත්ත්වයක්‌ ප්‍රකට කෙරේ.

දෛව රේඛාව චන්ද්‍ර මණ්‌ඩලයෙන් (ඉ) ආරම්භවී බාධකවලින් තොරව ශනි මණ්‌ඩලය කරා විහිද යැමද සැප සම්පත් උරුම කරදෙන පිහිටීමක්‌ වෙයි. විරුද්ධ පාර්ශ්වයේ එනම් ස්‌ත්‍රියකට නම් පුරුෂයෙකු ගෙන්ද, පුරුෂයෙකුට නම් ස්‌ත්‍රියකගෙන්ද ආධාර නොඅඩුව ලබාදෙන විවාහ දිවිය සැපවත්ව ගත කළ හැකි පිහිටීමක්‌ වෙයි. දෛව රේඛාව බාධකවලින් තොරව රවි මණ්‌ඩලය දෙසට විහිද ගියහොත් ලේඛන වෘත්තිය, කලා ක්‍ෂේත්‍රය වැනි අංශවලින් දියුණුවක්‌, ප්‍රසිද්ධියක්‌ හෙළිකරන අතර බුධ මණ්‌ඩලය දෙසට හැරුනොත් ව්‍යාපාරික ක්‍ෂේත්‍රයේ ඉහළ දියුණුවක්‌ද පෙන්නුම් කෙරෙයි. දෛව රේඛාව හෘදය රේඛාවෙන් අවසන් වීම හෘදයාබාධයක්‌ ඇතිවීමට හේතුවක්‌ විය හැකිය. ආදර සම්බන්ධතා බිඳ වැටෙන බවද කියෑවේ. ඉතා හොඳ දෛව රේඛාවක්‌ දුර්වල හරස්‌ රේඛාවකින් කැපී ඇත්නම් ප්‍රතිඵලය අයහපත්ය. මැණික්‌ කටුව ආශ්‍රයෙන් ආරම්භ වූ දෛව රේඛාව අල්ල මැද එනම් කුජ තලාව මධ්‍යයේදී මැකී ගියහොත් එම වයස්‌ සීමාවේදී විශාල බාධකයකට මුහුණ දීමට සිදුවන බැව් පැහැදිලිය. දෛව රේඛාවට සමාන්තරව තවත් රේඛාවක්‌ පැහැදිලි ලෙස ඉහළට ගියහොත් මාර්ග දෙකකින් එම අයට ආදායම් ලැබෙන බව පෙන්නුම් කෙරේ. විවාහය පෙන්නුම් කරන විවාහ රේඛාව දෛව රේඛාවෙන් ඉහළට නැගෙන ප්‍රගතිරේඛා වලින් කෙනෙකුගේ වේගවත් දියුණුව, ජයග්‍රහණය හා ජනප්‍රියත්වය ප්‍රකට වෙයි. නොයෙකුත් බලාපොරොත්තු ඉෂ්ටවීම එම රේඛා බෙදී යන ස්‌ථානයට අදාළ කාලාසීමාවේදී සිදුවෙයි. තමා ආදරය කරන පෙම්වතා සමඟ විවාහයට ඉඩ සැලසීම, රැකියාවකට ඉඩ සැලසීම, ව්‍යාපාරයේ දියුණුව සැලසීම ආදී විශේෂ සිද්ධි මෙයින් පෙන්නුම් කෙරේ. අතුරේඛා රාශියක්‌ තිබීම අවට සිටින්නන් අතර ජනප්‍රිය වීමට ප්‍රාණවත් භාවය, ආකර්ෂණීය චරිතය නිසා හැම අයෙකුගේම ආදරය දිනාගැනීමටත් හේතු වේ. දෛව රේඛාවේ අග කතිරය හදිසි විපතක්‌ පෙන්නුම් කෙරෙයි. දෛව රේඛාවේ අග දෙබලක්‌ පිහිටීමද ශුභ ලකුණකි. රේඛාවේ එම සලකුන ඇති ස්‌ථානයට අනුව එම කාල සීමාවේදී වාසනාව මතුවෙයි. එය ශීර්ෂ රේඛාවට සම්බන්ධවන ස්‌ථානය වයස අවුරුදු 35 ලෙසට සැලකිය හැක. දෛව රේකාව නොපැහැදිලිව කැඩී හිඩැස්‌ තිබේනම් එම කාල සීමාවේ දිළිඳුකම හා විරැකියාව පෙන්වයි. තමාගේ මනස ශක්‌තිමත් වූ විට මේවා මඟ හැරී රේඛා යථා තත්ත්වයකට පත්වෙනු ඔබටද දැකිය හැකිය.

කාන්තාවකගේ අතක චන්ද්‍ර මණ්‌ඩලයෙන් පටන්ගත් දෛව රේඛාවක්‌ ඇතිවිට ඉක්‌මන් විවාහය පෙන්නුම් කරයි. මෙම රේඛාව චන්ද්‍ර මණ්‌ඩලය තුළ ගැඹුරුව තිබේනම් සමාජයේ ප්‍රසිද්ධියට පත්වේ. කෙනෙකුගේ අතක දෛවය රේඛාවක්‌ පිහිටා නැත්තේ නම් හේ කිසිම අරමුණක්‌ නොමැතිව ජීවත් වෙන කෙනෙකු විය හැක. දෙකට බෙදී ආරම්භ වන දෛව රේඛාවක්‌ ඇති අය අනුන්ගේ ආධාරමත හෝ මග පෙන්වීම මත උසස්‌ දියුණුවක්‌ ලබන අතර දෛව රේඛාවේ අග තරු ලකුණක්‌ ඇත්නම් දියුණුවීමට ඇති බලවත් ආශාව පෙන්වයි. ඇතැම්විට හොඳ දෛව රේඛාවක්‌ ඇතිවිටත් පුද්ගලයෝ අවාසනාවන්ත වන අවස්‌ථාද ඇත. එයට හේතුව වනුයේ සමතුලිත නොවූ අතක්‌ තිබීමය. ඒ සඳහා මණ්‌ඩලවල හොඳ පිහිටීමක්‌ද තිබිය යුතුය. මණ්‌ඩලවල පිහිටීම පිළිබඳ විස්‌තර පසු ලිපි වලින් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙමි.

We found this article from Divaina on 2013/04/19.
Also Sinhala to English Google word to word translation can be found here