නාථ දෙවිඳු නැමදීමෙන් කරදර බාධා ජයගන්න

1224
නාථ
නාථ

කෙතරම් ගුණවත් යහපත් දිවියක්‌ ගත කරන්නකුට වුවද පෙර අකුසල් නිසා ගෙවීයන කාලය අතරතුර මානසික පීඩා, ගෙදර දොර කරදර, රැකී රක්‍ෂා ස්‌ථානවල අවහිර බාධා, යුග දිවියේ ගැටලු, නින්දා අපහාස හා රෝගාබාධවලට ලක්‌වීම වැනි දුක්‌ඛ දොමනස්‌සයන්ට මුහුණදීමට සිදුවීම සාමාන්‍ය සිද්ධියකි. එවැනි ගැටලුකාරී පීඩාකාරී තත්ත්වයන්ට මුහුණ දෙමින් කණස්‌සල්ලෙන් පසුවන ජන්මීන්ට මෛත්‍රී බුදුන්ගේ නාමයෙන් මතු බුදු බව පතා පෙරුම් පුරන නාථ දෙවියන් උදෙසා පහත සඳහන් පූජාව සිදු කර උන්වහන්සේගේ ආශිර්වාදය ලැබීම තුළ සහනයෙන් දිවි ගෙවීමේ වාසනාව උදා වන්නේය.

මෙම නාථ දේව පූජාව සිදු කළ යුත්තේ බ්‍රහස්‌පතින්දා දිනවලදීය. එයට හේතුව නම් බ්‍රහස්‌පති ග්‍රහයා කහ සිවුරට අධිපතිත්වය දරන හෙයින් එම දිනවල ගුරු හෝරාව එනම් උදේ 6.00 – 7.00 අතර කාලයේදීය. මෙදින මෙම වේලාවට (උදේ 6.00 ට) පෙර නිවසේ සියලු දෙනා එක්‌ව නිවසේ බුදුන් වඳින ස්‌ථානයේදී මල්, පහන්. සුවඳ දුම් හා කිරි ආහාර පූජා කර තෙරුවන් වඳින්න. අනතුරුව තුන් සූත්‍රය සඡ්ජායනය කොට අවම වශයෙන් විනාඩි 15 ක්‌ පමණවත් මෛත්‍රි භාවනාව වඩා දෙවියන්ට පිං දී එම කටයුතු අවසන් කරන්න.

නාථ

ආරාධනා ගාථාව

දෙවනුව නාථදේව පූජාව සඳහා ඊසාන දිශාවට මුහුණලා වෙනම ආසනයක්‌ සකස්‌ කොට ඒ මත කහ පැහැති කපු රෙද්දක්‌ එලා නාථ දෙවියන්ගේ රූපයක්‌ හෝ පිළිමයක්‌ තැන්පත් කර කහ පැහැති සුවඳ මල් (කහ අරලිය හෝ රුක්‌අත්තන) කුඩා වට්‌ටි 9 ක්‌ ද ඒ අසලින්ම පිරිසිදු තැඹිලි තෙල් පහන් 9 ක්‌ ද පොල් ගෙඩියක්‌ ද තබා පිනිදිය ඉස නිවසේ සාමාජිකයන් සියලු දෙනාම එක්‌ව පහන් දල්වා සුවඳදුම් මල් පූජා කර නාථ දෙවියන් සඳහා සුවිශේෂී වූ මෙම ආරාධනා ගාථාව එක හඬින් තුන්වරක්‌ ගයා දෙවියන්ට ආරාධනා කරන්න.

“නාථ ශ්‍රී සර්ව මංගල්‍යම්
යථා දේවේන සංයුතං
සුගන්ධ දීප ධූතේන
නාථස්‌වාමි නමෝ වරං”

ආරාධනා කිරීමෙන් පසු හැකිතාක්‌ වාර ගණනක්‌ නාථ දෙවියන්ගේ ගුණ කියෑවෙන මෙම ගාථා ගායනා කරන්න.

නාථ දෙවි සුරින්දා – බුදු බව පතා එන්දා
ඔබගෙ ගූණ කන්දා – මෙන්න මම ඔබෙ දෙපා වැන්දා
නාථ දෙවියනි පෙර – භූත යක්‌සෙන් දුරු කර
පාත කැලණියෙ සරණා – නාථ දෙවියනි දෙන්න අවසර
සලා සළු යහනේ – හෙළා පියවි යහනේ
වලා ගැබ මැදිනේ – බලාගෙන මල්යහන වඩිමිනේ
කුංග මිණි ඔටුණු -ලංක දිව එසිරි විඳිනු
භංග කර හරිනු සඟ මඬලට දිස්‌ටි ලා එනු
ගී තෙද පුවතට – පාන කැලණියෙ වැඩ සිට
දොත මුදුනත් කොට – නාථ සුරපති වඳිමි මුල්කොට
ගන්ට මට අවසර – එන්ට යක්‌සෙන් දුරුකොට
එන්ට දිව පුරයට – දෙන්ට දළු මුර නාථ සුරිඳුට
තුසිත පුර භවනෙලා – වැඩලා දෙවිඳු සැණෙකින්
දුන්නු පුද පිළිගනිමින් – දෙනු මැනවි සෙත නාථ සුරිඳුන්

නාථ

මෙම ගාථාව කියා දෙවියන්ට පිං අනුමෝදන් කරන්න

පාත තොටගමුව වෙහෙරේ වැඩ ඉන්න
දොත නගාලා දෙවිඳුට පිං දෙන්න
මෑත කපට මතු බුදුබව ලැබ ගන්න
නාථ සුරිඳු පිං අනුමෝදන් වෙන්න

පූජාව සිදු කළ දිනට සවස්‌ කාලයේ විහාරස්‌ථානයට ගොස්‌ බෝධි පූජා පවත්වා පවුලේ සියලුදෙනා වෙත පැමිණ ඇති දුක්‌ කරදර පීඩා දුරුකර දෙනමෙන් ඉල්ලා පහත දැක්‌වෙන කන්නලව්ව දෙවියන් වෙත ඉදිරිපත් කර පොල්ගෙඩිය බිඳ සෙත ප්‍රාර්ථනා කරගන්න. හැකි සෑම බ්‍රහස්‌පතින්දා දිනකම මෙම නාථ දේව පූජාව සිදු කිරීමෙන් ඔබ සැමට නිශ්චිත සුබදායී ප්‍රතිඵල ලබාගත හැකි වනු ඇත.

කන්නලව්ව

කකුසඳ, කෝණාගම, කාශ්‍යප, ගෞතම සතර බුදුවරුන්ගේ ආඥවට ආනුභාවයට මතු මෛත්‍රී බුදු පදවියට පෙරුම් පුරාගෙන දස බෝධි සම්භාරයකින් පළමුවැන්නා වූ දස පාරමිතා ධර්මය පුරන්නා වූ උතුම් වූ බුද්ධාලම්පුර නාථ දිව්‍ය රාජෝත්තමයාණන් වහන්ස ශාසනශ්‍රීයෙන් දස දිග ඒකාලෝක කරමින් ත්‍රිලෝක තලය සත්ත්වයන්ගේ දුක්‌ඛ කම්කටොලු දිව්‍යමය නෙතින් බලා ගනිමින් මෛත්‍රී කරුණාවෙන් විසන්දනය කරවා අනේදවිධ විලාසයෙන් තුසිත පුර ඒකාලෝක කරමින් වැඩ සිටින නාථ දිව්‍ය රාජෝත්තමයාණන් වහන්ස ඔබ වහන්සේට පළමුව අප අමා මෑණි බුදු පියාණන් නමැද ඒ පින්පෙත් ඔබ වහන්සේට මෛත්‍රි බුද්ධත්වය ප්‍රාර්ථනා කොට පින් අනුමෝදන් කරමින් ඔබ දිව්‍ය රාජෝත්තමයාණන් වහන්සේට මේ පහන්, මල්, කපුරු, සුවඳ දුම් ආදී සමස්‌ත පූජාවන් ඔප්පු කොට ඉල්ලා සිටින ඔබ දෙවියන් වහන්සේගේ ඇල්මෙන් බැල්මෙන් මට, අපට පැමිණ තිබෙන්නා වූ කරදර (කරදරය නාමිකව සඳහන් කරන්න) අනවින බාධා දුරු කොට අප සැමදෙනාට සැපවත් ජීවිතයක්‌ ගත කිරීමට සුදුසු යහපත් වාතාවරණය උදාකරන දෙන සේක්‌වා.”

We found this article from Divaina on 2014/02/23.