[ratings]
සියලු විපත් ආපදා දුරුකර ධන ධාන්‍ය මිල මුදල් ගරු නම්බු නිලතල ලබාදී ඓශ්වර්ය සැප සම්පත් ළඟා කර දීමට හැකියාව ඇති ගුප්ත බලයක් සහිත මංගල වස්‌තූන් කිහිපයක් පිළිබඳව පොදු ජනතාව තුළ විශ්වාසයක් පවතී. ඒ නිසා මෙකී මංගල වස්‌තූන් ලබා ගැනීමට හා තමන්ගේ නිවෙස් තුළ ඒවා තබා ගැනීමට බොහෝ දෙනා උනන්දුව දක්‌වති. මේවායින් සමහරක් දුරාතීතයේ සිට ජනතා විශ්වාසය දිනාගත් ඒවා වන අතර මෑත අතීතයේ එම ගණයට ඇතුළත් වූ ඒවාද පවතී.
දුරාතීතයේ සිටම වාලම්පුරිය, ගජමුතු, බෙලිපිලික, ගොයම් පිලික, නාග මානික්‍යය, හීරළු මැණික, ඇත්දත්, මුතුකුඩය, දලපුඩු සේසත, රත්හඳුන් ගැටය, නවරත්න, නරිෂං ආදිය මෙන්ම කලුනික, ඇත්හවරිය, මදාරා, වනරාජ ආදී ඖෂධීය ශාකයන්ද මෙවැනි ගුප්ත ආනුභාවයක් සහිත බවට විශ්වාසයක් පවතී. මේ හැර මහානුභාසම්පන්න යන්ත්‍ර මන්ත්‍ර රාශියක්‌ද ඇත. දේව බලමහිමය ලබාගත හැකි ගුප්ත විද්‍යාත්මක ක්‍රම රැසක්‌ද තිබේ. සර්වඥ ධාතූන් වහන්සේලා හා මහරහතුන් වහන්සේලාගේ ධාතුන්ද සීවලී ප්‍රතිමාවහන්සේද මෙවැනි මහා ආනුභාවයක් සහිතය. එහෙත් මෙම ලිපියෙන් ඒ පිළිබඳ කරුණු ඉදිරිපත් කිරීමක් සිදු නොවේ.
වාලම්පුරියක් නිවසේ තැන්පත්කරගත් විට රැකියා ව්‍යාපාර දියුණුවී සියලු අපල උපද්‍රව දුරුවී ඉහළ තනතුරු ලැබී ධන සම්පත් උතුරා ගොස් මහා බලවතකු විය හැකි බවට බොහෝ දෙනා විශ්වාස කරති. එහෙත් වර්තමානයේ මෙවැනි වාලම්පුරිවල බලයෙන් මහා බලවතුන් ධනවතුන් බවට පත් වූ අය ගැන සාක්‍ෂි සාධක ඉදිරිපත් වන බවක් නොපෙනේ. ඒ නිසා මෙයද මිථ්‍යාවක් විය හැකි බවටද මත පළවේ. එහෙත් ගුප්ත විද්‍යාත්මක බලයක් සහිත සැබෑ වාලම්පුරියක් සොයාගත් අයකුද නැති නිසා වාලම්පුරියක බලය අභියෝගයට ලක් කළ නොහැක. දුරාතීතයේ සිට අද දක්‌වාම මෙම විශ්වාසය පැවතීමට යම් හේතුවක්‌ද තිබිය යුතුය. ගුප්ත විද්‍යාවට අනුව ප්‍රථම වාලම්පුරිය ලොවට පහළ වූයේ ශ්‍රී විෂ්ණු දිව්‍යරාජයා කිරි සයුර කැළඹූ අවස්‌ථාවේදීය. සුරාසුර යුද්ධයෙන් දෙවියන් මියෙන විට අමෘතය සොයා විෂ්ණු දෙවිඳු කිරි සයුර කළඹන ලදහ. එහිදී අමෘතයද සමග මංගල වස්‌තූන් අටක් ලොවට පහළ විය. වාලම්පුරිය කෞස්‌තුභය හා ලක්‍ෂමිය එයින් සමහරකි. මේ සියල්ලේම අයිතිය ද විෂ්ණු දෙවිඳු සතුවිය. විෂ්ණු දෙවිඳු සුරත බබලන ජය ශංඛය එදා පහළ වූ වාලම්පුරියයි. එය දක්‍ෂිණාවෘත ජය සංඛයකි. විෂ්ණු දෙවිඳුගේත් එම දෙවියන්ගේ මහේෂිකාව වූ ලක්‍ෂ්මි දෙවඟනගේත් ආශිර්වාදය මෙවැනි ජය සංඛයක් දරන්නාට හිමිවන බව කියෑවේ. පෙර රජ දරුවන් සතුව මෙවැනි ජය සංඛයක් විය. දුටු ගැමුණු මහරජතුමාගේ ජය සංඛය එවැන්නකි. පුස්‌සදේව යෝධයා විජිතපුර සටනේදී එය පිඹින කල දමිල සේනා දසතට පලා ගිය බව කියා ඇත. එහි හඬ අකුණු හෙනක් වැනි වූ බව කියා තිබේ. දකුණට කැරකුණ සක් බෙල්ලන් පන්සීයක් පිරිවරාගෙන රියන් පන්සීයක් ගැඹුරු මුහුදේ වාසය කරන සුවිශේෂී සක්‌බෙල්ලකුගේ කටුව මේ නමින් හැඳින්වේ.
ගැඹුරුම මුහුදු පතුලේ තැන්පත්ව ඇති වාලම්පුරියක් සොයා ගැනීම ඉතා දුෂ්කර කටයුත්තකි. එය සාමාන්‍ය සක්‌බෙලි කටුවකින් වෙනස් වූ රාජකීය සක්‌බෙල්ලකුගේ කටුවකි. එය ඝනකමින්ද අඩු නිසා බර නැත. කිරි සුදු පැහැයෙන් බබලන අතර රක්‌තවර්ණ කේශ නාලිකා වැනි ඉරි සමූහයක් රටාවකට විහිදී තිබේ. එය කිරෙන් පිරවූ විට වාලම්පුරිය හා කිරි වෙන්කර ගත නොහැකි තරම් පැහැයෙන් එකිනෙකට බැඳේ. සිත් පැහැර ගන්නා සුන්දර හා තේජාන්විත පෙනුමක් එහි තිබේ. මෙවැනි වාලම්පුරියක් විෂ්ණු දෙවිඳුට හා ලක්‍ෂ්මිදේවියට කැපකර නිසි පරිදි දේව පූජා පවත්වා විෂ්ණු හා ලක්‍ෂ්මී ශතනාම ස්‌තෝත්‍ර වලින් ජපකර දෙවියන්ට දක්‌වන ගරු බුහුමන් පුද පූජා සහිතව මන්දිරයක තැන්පත් කරගත හොත් නියත වශයෙන් යස ඉසුරු සම්පත් ගලා එන බව ගුප්ත විද්‍යා නියමයයි. වාලම්පුරියක කිරි පුරවා විෂ්ණු ස්‌තෝත්‍ර ගායනා කරන විට කිරි උතුරා ගලායන බවත් අන්තිම බිඳුව දක්‌වාම ඒ කිරි උතුරන බවත් සඳහන්ව ඇත.
විෂ්ණු දෙවිඳුන් කිරි සයුරෙන් මතුකරගත් කෞස්‌තූභ මානික්‍යය රත්හඳුන් ගැටයකි. එයද වාලම්පුරිය හා සමානම මහත් බලයක් සහිත වූවකි. ඔප දැමූ රත්හඳුන් ගැටය රක්‌ත වර්ණයෙන් හා නීලවර්ණයෙන් මිශ්‍රව මැණිකක් මෙන් බලලයි. එය රත්හඳුන් ගසක අරටුවේ ඇතිවන ඉතා දුර්ලභ විකෘතියකි. මෙයටද විෂ්ණු දෙවිඳු ගේ හා ලක්‍ෂ්මි දේවියගේ ආශීර්වාදය ලැබී ඇත. වාලම්පූරිය පරිදිමම පුද සිරිත් සහිතව මැදුරක තබාගත හොත් යස ඉසුරු ධන සම්පත් උතුරා යැමට පටන් ගනී.
මෙම දෙවියන්ගේ ආශිර්වාදය නොමඳව ලැබූ බෙලි පිලිකයද මහානුභාසම්පන්න ගුප්ත බලයක් රැඳුන එකකි. එය වරදවාගත් සමහරු බෙලිගස්‌වල පිලිල ලක්‍ෂ්මි යෝගයෙන් ගලවා ගෙන මන්ත්‍ර ජපකර තබා ගනිති. නමුත් එහි කිසිදු බලයක් හෝ හාස්‌කමක් දක්‌නට නොලැබේ. ලක්‍ෂ්මි යෝගය, පුෂ නැකත හා ශනි දිනය යෙදුන මොහොතක බෙලි පිලිකයක් ගලවා වාලම්පුරිය ජපකරන ආකාරයටම ජපකර පූජා පවත්වමින් කරඬුවක තැන්පත්කර තබාගත හොත් යස ඉසුරු සම්පත් උතුරා යන බව ගුප්ත විද්‍යාවේ සඳහන්ය. බෙලි පිලිකයද කෞස්‌තුභය මෙන්ම වූ බෙලිගසක ඇතිවන කකුලු අඬුමෙන් දස අතට නහර විහිදෙමින් වැඩෙන අර්බුද සහිත ගැටයකි. පිලිලයක් නොවේ. මෙවැන්නක් සොයාගැනීම ඉතා අසීරු වූවකි. සොයා ගත හොත් වාලම්පුරිය හා සමානම මහත් බලයක් සහිත වූවකි.
නාග මාණික්‍යයද මෙවැනිම මහානුභාසම්පන්න වස්‌තුවකි. එයද අතිශයින් දුර්ලභය. නාගයාගේ උගුරේ තිබෙන නිසා කණ්‌ඨ මාණික්‍යය ලෙසද හැඳින්වේ. එවැනි මැණිකක් සහිත නාගයකු සොයා ගැනීම අති දුෂ්කර කටයුත්තකි. නාගයා ගොදුරු ගිලින විට රාත්‍රී කාලයේ මැණික වමාරන බව කියෑවේ. එවිට එය එලිය විහිදුවමින් බබලයි. නාග මාණික්‍ය රතු මැණිකකි. නාගයා මරා මැණික ගතහොත් නාග ශාපයට ලක්‌වී අපරාධය කළ අය පවුල පිටින් වැනසේ. ඉන්පසු මැණික තබා ගන්නා සියලු දෙනාම වැනසේ. මැණික සොයා නයින් නිවසට පැමිණේ. ඒ නිසා සිදුවන්නේ විපතකි. මැණිකෙන් කිසිදු යහපතක්‌ද ඇති නොවේ. ඒ නිසා එය ලබාගත යුත්තේ නාගයාගේ කැමැත්ත ලබාගෙනය. එය අතිශය අමාරු දෙයකි. නාගයකු සුවපත් කළ බුද්ධදාස රජතුමාට එම නාගයා සතු මැණික තිලිණකර ඇත. එය සිතූ පැතූ සම්පත් ලබාදෙන මැණිකකි. එය මිරිසවැටියේ නිධන්කර ඇතැයි පැවසේ.
ගජමුතුද මෙවැනිම සෞභාග්‍යය උදාකරදෙන ගුප්ත බලයක් ඇති වස්‌තුවක් ලෙසට සැලකේ. ඇතුන්ගේ දළය ඇතුළත ඇතිවන කිසියම් පිපිරුමක් නිසා කොටසක් වෙන්වී දළය තුළ රැඳේ. එය කාලාන්තරයක් ඒ තුළ ගැටීමෙන් ගෝලාකාර බවට පත්වේ. එය මුතු මෙන් බබළයි. මෙවැනි ගජමුතු හිමිකරුවෝ සිටිති. එහෙත් ඒවායේ එතරම් බලයක් නැත. ගජමුතු බලවත් වන්නේ එය අයත් හස්‌තියා අනුවය. මංගල, හේම උපෝසථ, ඡද්දන්ත, හා ගංෙග්‍යයH යන කුලවල හස්‌තින්ගේ ගජමුතුවල මෙම ආනුභාවය ඇත. එහෙත් හස්‌තියා මැරුවහොත් විනාශය සිදුවේ. එසේ නොමැතිව හස්‌තියා ස්‌වාභාවිකව මළ පසු ගජමුතු ලබාගත හැක. පෙර කී බුහුමන් පුද පූජා සහිතව තබා ගැනීමෙන් එම නිවසට යස ඉසුරු සැප ලැබේ.
හිකනැල් මැණිකද නාග මානික්‍යය මෙන්ම බලගතුය. එය හිකනැලාගේ උගුරේ රඳවා ගෙන ඇති කුඩා ප්‍රමාණයේ නිල් මැණිකකි. යස ඉසුරු ලබාදෙන හිකනැල් මැණිකද දුලබ වස්‌තුවකි. නරියා වලද මෙවැනි බලයක් ඇති බවට විශ්වාසයක් පවතී. අං සහිත නරියකු ඉත දුර්ලභ සත්වයකු ලෙස සැලකේ. නරි අං සතුව භද්‍රකාලි දේවියගේ ගුප්ත බලයක් තිබෙන බවට මලයාලි මන්ත්‍රකරුවෝ විශ්වාස කරති. ඒ නිසා ඔවුන් නරිහිස ශුද්ධ වස්‌තුවක් ලෙසද සලකති. අං සහිත නරියකුට අඟ මහත් පීඩාවක් නිසා පොහෝ දිනවල වෙනත් නරින් සමග පිදුරුගොඩවල ඇනගන්නා බවත් මෙහිදී අං ගැලවී පිදුරු ගොඩට වැටෙන බවටත් විශ්වාස කෙරේ. ඒවා අහුලා ගන්නා අහිකුන්ඨ§ක ජාතිකයන් ඒවා අලෙවි කර මුදල් ගනිති. එහෙත් ඒවා නරි අං නොව අලු මිශ්‍රකර වේලාගත් හාවුන්ගේ කන් බවට හෙලිවී ඇත. ඒවා රැවටීම් පමණකි.
මෙවැනි ගුප්ත ආනුභාවයක් සහිත ඇත් දළද තිබේ. මෙහි සඳහන් කළ පංචකුලයට අයත් හස්‌තියකු ස්‌වාභාවිකව මිය ගිය පසු ලබාගන්නා ඇත් දළ යුවලක වාලම්පුරියක් සතු බලය පවතී. එසේම අෂ්ටවර්ගයේ මුතු අමුනන ලද මුතුකුඩය දළපුඩු සේසත සෞභාග්‍යය ඓශ්වර්යය ළඟාකර දෙයි. මංගල ලක්‍ෂණ පිරිපුන් හස්‌තිරාජයා හා අශ්ව රාජයාද සුදු ගෝනා සුදු මුවා වැනි දුර්ලභ සත්ත්වයන්ද ධනය බලය යස ඉසුරු ලබාදීමේ ශක්‌තියක් දරති. ඒ නිසා පෙර විසූ මහරජවරු මෙම මංගල වස්‌තූන් ස්‌වකීය භාරයේ තබාගෙන ආරක්‍ෂා කර ගත්හ.
මෙවැනි බලයක් සහිත ශාක විශේෂයක්‌ද පවතී. ඇත්හවරිය එවැනි ශාකයකි. ඝන වනාන්තරවල ඇති රූස්‌ස ගස්‌වල දිරාගිය තැන්වල හවරියක් සේ වැඩෙන මෙම පැළෑටියේ ඉරටු තරම් මහත දඬු පහළට එල්ලා වැටේ. අලි ඇතුන් මෙයට ගරු බුqහුමන් දක්‌වා නමස්‌කාර කරති. නව වැඳුම් වැඳ ශුභ නැකතින් බුහුමන් සහිතව නෙලා ගත් ඇත්හවරිය ශාඛයක් කලින් දැක්‌වූ වතාවත් ඉටුකර තෙයියෝරු බන්ධනයෙන් ජපකර නිවසේ තබා පුද පූජා කිරීමෙන් සෞභාග්‍යය උදාවේ.
රත්හඳුන් ගසද ආනුභාසම්පන්න ශාකයකි. මෙය මදාරා පවුලට අයත් ගසක් වන අතර රත්කිරිහිය වෙනත් ගසකි. මදාරා මෙන්ම දේව බැල්ම සහිත රත්හඳුන් ගස ගරු බුහුමන් සහිතව ගෙඋයන වගාකර ගැනීමෙන් ඉසුරු සම්පත් හා දේව බැල්ම ලැබිය හැක. එලවරා මදාරා සහ දුටුසතුටු ගසක් ගෙඋයන වගාකර ගැනීමෙන්ද සිරිසැප උදාවන බවට විශ්වාස කරති. නමුත් මෙහිදී නිවරදිව ශාකය හඳුනාගත යුතු අතර අවශ්‍ය පූජා විධි නිසි ලෙස පැවැත්විය යුතුය.
වනරාජ නමින් හඳුන්වන ආනුභාසම්පන්න ශාකයක් තිබේ. එය රාජ පහට අයත් ඔසු පැළයකි. කොලවල උඩපැත්ත ලා රත් පැහැයෙන් යුතු විල්ලුද රෙදි කඩක් මෙන් බබලයි. ඒ මත රන්වන් ඉරි රටාවකට විහිදී ඇත. කඳ වදකහ කඳට මඳක් සමානය. මේ ගුප්ත බලැති ශාකය හුදකලාව වැවෙන අතර පවතින්නේ කොළ පහක් පමණකි. එක් දලුවක් මෝරා එන විට එක් කොලයක් ගැලවී වැටේ. මේ පැළය දෙසට වනයේ ඇති සියලු වනස්‌ත්‍රීහු නැමී නමස්‌කාරයෙන් සිටී. ඒ නිසා මෙයට වනරාජ නම යෙදී ඇත. හැම අතින්ම මෙයට සමාන පහතරට තෙත් වනාන්තරවල වැවෙන වෙනත් ශාකයක්‌ද ඇත. එය සාමුහිකව වැවෙන කොල විවිධ සංඛ්‍යාවෙන් යුතු විසිතුරු පැළෑටියකි. එහෙත් ඒ වනරාජ නොවේ. වනරාජ පැළයක් නිවස තුළ තබා ගැනීමෙන්ද සෞභාග්‍යය හා ඉසුරු සම්පත් උදාකර ගත හැක.
කළුනික ද මේ ගණයට අයත් වූවකි. එහෙත් කළුනික ගසේ තොරතුරු කිසිදු ගුප්ත විද්‍යා ග්‍රන්ථයක සඳහන් නොවේ. ඒ නිසා එය හඳුනාගැනීම අපහසුය. එහෙත් ඒ සඳහා උපායක් තිබේ. ඇටි කුකුලු කූඩුවක සිටින පැටවකුගේ දෙපා රන්කෙන්දකින් විලංගු ලූ විට මව කළුනික අතු කැබැල්ලක් කූඩුවට ගෙනැවිත් දමයි. එවිට විලංගු පුපුරා පැටියා නිදහස් වන්නේ එහි ඇති බලවත්කම නිසාය. එම අතු කැබැල්ල ලබාගත් විට සියලු යස ඉසුරු ලැබේ. එහෙත් මේවා කළුනික සොයනවා වැනි අමාරු වැඩය. බොහෝ විට මෙවැනි බලවත් මැණික් හා දියමන්ති වර්ගද ඇත. මේ සියල්ල පැවතුනේත් පවතින්නේත් රජවරුන් සිටුවරුන් වැනි මහා ප්‍රභූවරුන් සතුව මිස සාමාන්‍ය මිනිසුන් ළඟ නොවේ. එයින් සනාථ වන්නේ මෙවැනි ගුප්ත වස්‌තූන් තිබෙන තැනට ධනය හා බලය ලංවන බවයි.
යමකුට මේ සියල්ල මිථ්‍යාවක් ලෙස සලකා ඉවත දැමිය හැක. එහි කිසිදු ගැටලුවක් නැත. එහෙත් මෙවැනි වස්‌තූන් පෙර සිටි රජදරුවන් භාවිත කර තිබේ. වර්තමානයේද මහ බලවත් ප්‍රභූන් සතුව මෙවැනි දැ පවතී. එය එසේ වන්නේ ඒවායේ ප්‍රබල ගුප්ත ශක්‌තියක් ක්‍රියාත්මක වන බැවිනි..
We found this article from Divaina on 2011/09/30.
Also Sinhala to English Google word to word translation can be found here