මල්වර චාරිත්‍ර හා බැඳුණු භාවිත ද්‍රව්‍යයන්හී ඖෂධීය හා ගුණාත්මක අගය හඳුනා ගනිමු

5187
මල්වර
මල්වර

ලොව්තුරා බුද්ධත්වයට පමණක්‌ දෙවැනි වෙතැයි සැලකෙන මාතෘත්වය කාන්තාවකට හිමිවීමේ මුල් දොරටුව ලෙස ගැනෙන්නේ මල්වර මංගල්‍යයයි. ගැහැනු දරුවකුගේ සුවිශේෂම අවස්‌ථාව ලෙස සැලකෙන මෙම අවස්‌ථාව කායික වශයෙන්ද, මනෝ විද්‍යාත්මක වශයෙන්ද වැදගත් බව අමුතුවෙන් කිව යුතු නොවේ. පෙර යොවුන් වියේ දිවි ගෙවූ කුමරියක යොවුන් වියට එළැඹීමත් සමගම සමාජයේ පවතින සිරිත් විරිත් වගකීම් පිළිබඳව වඩාත් දැනුවත් විය යුතු බව හෙළි කෙරෙන පෙරනිමිත්තක්‌ ලෙසද, මෙය සැලකිය හැකි වෙයි. එසේම මල්වර වීම යනු යෞවනියකගේ සෞභාග්‍යමත් කාලයට එළඹීම ලෙසින්ද හඳුන්වාලිය හැක්‌කේය.

පෙර සිරිත් අනුව මෙම ආරංචිය යෞවනිය විසින් මවට දැන්වූ පසු වහාම ඇය කරනුයේ ලෝහමය ආයුධයක්‌ අතට දී ඒ කුමරිය සමග කිරි වෘක්‌ෂයක්‌ කරා එළඹීමයි. ජන සමාජය කිරි වෘක්‍ෂය සලකනුqයේ සෞභාග්‍යයේ සංකේතයක්‌ වශයෙනි. අලුත් අවුරුදු වැඩ ඇල්ලීමේදී ද නැකතින් කිරි වෘක්‌ෂයක්‌ කැපීම කරනු ලබනුයේ මෙම සංකල්පය නිසාය. යෞවනියගේ ජීවිතයට සෞභාග්‍යය ළඟා කර ගැනීමේ අදිටනින් ඒ වෙත තම දියණිය කැටුව යන මව ඇයගේ අතට ලෝහමය ආයුධයක්‌ දෙනු ලබනුයේ අදෘශ්‍යමාන බලවේගයන් ගෙන් ඇය ආරක්‌ෂා කර ගැනීම පිණිසයි. කෙම් ක්‍රමයක්‌ වන මෙය එක්‌තරා අයුරක සංස්‌කෘතිකමය ස්‌වභාවයක්‌ දක්‌නට ඇත. අද සිට ආරක්‌ෂාව සලසාගත යුතු බව ලෝහමය ආයුධයෙන් සංකේතවත් වන අතර කිරි වෘක්‌ෂයක්‌ ලෙසින් සෞභාග්‍යමත් අනාගතයක්‌ ගොඩනඟා ගැනීමට ක්‍රියා කළ යුතු බවට ඇයට මානසික හැඟුමක්‌ ලබාදීම කිරි වෘක්‌ෂයෙන් සංකේතවත් වේ.

මල්වරය හා සම්බන්ධ සිරිත් විරිත් අතර ශබ්ද නඟා කතා නොකිරීම, දින තුනක්‌ ගතවන තුරු කිසිවෙකුට මුහුණ නොපෙන්වීම, තාරකාවන් දෙස නොබැලීම, සුවඳ විලවුන් පාවිච්චි නොකිරීම, ස්‌නානයෙන් වැළකීම, ආභරණ නොපැළඳීම, නියපොතු, හිසකේ නොකැපීම, හිසකේ පීරීමෙන් වැලකීම යන අංග ඇතුළත් වේ. තවද නැවුම් මැටි බඳුනක ආහාර ගැනීම, දෝතින් ගෙන ජලය පානය කිරීම, කලස්‌ තැබීම, වැඩිවියට පත්වන අවධියේ ඇඳ පැළඳගෙන සිටි කණකර ආභරණ, ඇඳුම්, කොට්‌ට, පැදුරු සියල්ලම රෙදි නැන්දාට භාරදීම මෙය කොටහළු ගොඩ භාරදීම නම් වේ.

තවද සමහර ප්‍රදේශවල පස්‌ මොරු කුල්ල දීම නමින් චාරිත්‍රයක්‌ද කරනු ලැබේ. මෙහි හාල්, පොල්, තුනපහ, පළතුරු, කැවිලි, බුලත්, පුවක්‌ ආදිය ද, දියලබු, වට්‌ටක්‌කා වැනි එළවළුÊවර්ග කීපයක්‌ද දමා පහනක්‌ දල්වා තිබිය යුතුය. සමහර දිස්‌ත්‍රික්‌කවල දැරිය නැකතට ස්‌නානයෙන් පසු නිවසට ඇතුළුවීමේදී මෝල් ගස උඩින් පැනීමේ චාරිත්‍රයක්‌ද පවතී. දැරිය එන විට දොරකඩ හරහට පැදුරක්‌ එළා එහි වී, උඳු, මුං, තල, මෑ දමා ඒ මත තොලබෝ අත්තක්‌ සහ මෝල් ගසක්‌ හරහට දමා ඒ උඩින් දැරිය පනින විට රෙදි නැන්දා පොල් ගෙඩිය බිඳිනු ලබයි. ඉන්පසු දැරිය යන්නේ ගේ මැද අලුත් පැදුරක සුදු රෙද්ද මත තැන්පත් කර ඇති රන්, රිදී, මුතු, මැණික්‌ ආදියෙන්ද කැවිලි, එළවළු, හාල්, පොල් හා ඇඳුම් ආදියෙන් ද පිරුණු ස්‌ථානයටයි.

වැඩිවියට පත් දැරිවිය නහවන චාරිත්‍රයට මල්වර චාරිත්‍රයේ දී ප්‍රධාන තැනක්‌ හිමි වේ. මෙහිදී පුරාණ චාරිත්‍ර වාරිත්‍ර හා ජ්‍යෙdතිෂ්‍ය විද්‍යා නියමයන් අනුව සුදුසු දිනයක සුදුසු තිථියක්‌ද, සුදුසු නැකතක්‌ද යොදා ගනිමින් ශුභ හෝරාවක්‌, ශුභ මුහුර්ථයක්‌ තෝරාගෙන මෙම ශුභ කටයුත්ත ඉටු කිරීමෙන් කුමරියගේ ඉදිරි අනාගතය සෞභාග්‍යමත් වන බව කිව යුතුය. වැඩිවියට පත් යුවතිය නහවන ඔසුපැන් කලයට දමන ඖෂධ හා ඒවායේ ඖෂධීය ගුණාංගයන් හා විද්‍යාත්මක පදනමක්‌ පිළිබඳ කෙටියෙන් විමසා බලමු.

තොලබෝ –

තොලබෝ ශාකයෙහි අල, කඳ, කොළ, මුල්, මල් ඇතුළු සෑම කොටසක්‌ම ඖෂධීය ගුණයෙන් යුක්‌ත වේ. වමනය, මුත්‍රා මාර්ගයේ රෝග, ළදරු රෝග, උදරාවාත, චර්ම රෝග, රුධිරවාහිනි පද්ධතියේ ක්‍රියාකාරිත්වය සඳහා ද භාවිතා කෙරේ.

කහ –

විෂබීජ නාශකයකි. වාජීකරන ඖෂධයකි. සම මත ඉදිමුම්වලට ශ්වසන අවහිරතාවලදී ඇස්‌ රතුවීම, කැසීම, ලේවල පවත්නා කොලොස්‌ටරෝල් පාලනයට ද භාවිතා කෙරේ.

සුදු හඳුන් –

සිසිලස පවිත්‍රත්වය සඳහා භාවිතා කෙරේ. පිපාසය, ආහාර දිරවීමේ දුර්වලතා, අතීසාර රෝග, හදවත් දුර්වලතා, රක්‌ත ශෝධනය ආදිය ද, චර්ම රෝග සඳහා ද ප්‍රශස්‌ථ වේ.

දෙහි –

පාරිශුද්ධත්වය කෙරෙහි බෙහෙවින් යොදා ගන්නා දෙහිවල ඖෂධ වටිනාකමද ඉහළය. ත්‍රිදෝෂ සමනය, ආහාර ජීර්ණය පහසු කරවීම, පිපාසය හා විඩාව දුරු කිරීම, ආහාර අරුචිය හා වමනය සමනය කිරීම, සෙම් රෝග, හෘද රෝග, වාතරක්‌ත, මුත්‍රා රෝග, සමේ රෝග. විෂ නැසීමේදී ද දෙහි ප්‍රබල ඖෂධයකි.

බුලත් –

බුලත්වල ඖෂධීය ගුණය විමසා බැලීමේදී වාතය සමනය කිරීම රුධිර පීඩනය අඩු කිරීම, මුඛ රෝග සමනය, අධික ශීත ගතිය දුරුවීම යනාදී අවස්‌ථාවන්හිදී භාවිතා කෙරේ.

පොල් –

මිහිපිට කප්රුක නමින් හඳුන්වන පොල් ගසේ විවිධාංග ඖෂධ සඳහා උපයෝගී කරගන්නා අවස්‌ථා රාශියකි. වා පිත් සමනය, මුත්‍රා ආසාදන, ගැබිනි සමයේ අපහසුතා මඟහැරවීම, අම්ල පිත්ත රෝගයේදී රක්‌ත හීනතාව, ස්‌නායු ආබාධ වැනි අවස්‌ථාවලදී භාවිතා කෙරේ.

පුවක්‌ –

ශාන්තිකර්මවලදී, පූජාවන්හිදී හා සැරසිලිකරණයේ දී පුවක්‌ ශාකයට ඉතා වැදගත් තැනක්‌ හිමි වේ. පුවක්‌ මගින් සෙම් පිත් පහකර මුව විරස බව පහකරවයි. හෘදය සම්බන්ධ ස්‌නායු උත්තේජනය කරවයි. රක්‌තසාරය පහත හෙළා රත්පිත් සමනය කෙරේ. අක්‍ෂි ශෝධවනය කරවයි. මධුමේහය, සන්ධි උලුක්‌කු හා විරේඛනය සඳහා ද භාවිතා කෙරේ.

සස්‌ සඳවැල් –

සර්ප විෂ හරණයේ දී මෙන්ම සන්ධිවාත, ආමවාත, රක්‌ත ශෝධනය, හෘද උත්තේජනයක්‌ ලෙසින්ද භාවිතා කෙරේ. ප්‍රසවයෙන් පසු අපහසුතා මඟහරවා ගැනීම සඳහාත්, චර්ම රෝග සඳහාත් ළදරුවන්ගේ මලබද්ධයටද යොදා ගනී.

වෙනිවැල් –

පිටගැස්‌මට ඉතා ප්‍රත්‍යක්‍ෂ ඖෂධයක්‌ ලෙස සැලකෙන වෙනිවැල් ඇඟපත වේදනාව, උණ, ශබ්ද දුර්වලතාවලදී ශක්‌ති ජනක පානයක්‌ ලෙසද චර්මාදී රෝග උදෙසා ද රක්‌ත ශෝධකයක්‌ ලෙසද යොදා ගනී.

රත් සඳුන් –

රත් සඳුන් සිසිල් ගුණයෙන් යුක්‌තය. ලේ දොස්‌, වාතය, පිත, සෙම, පණු රෝග, වමනය හා පිපාසය නැති කරයි. ස්‌නානය කිරීමේදී භාවිතා කරනු ලබන ඉහතින් විස්‌තර කළ ඖෂධවලට අමතරව ඒ ඒ ප්‍රදේශවල විවිධ ඖෂධ වර්ග භාවිතයට යොදා ගනී. ඒවා අතර ආඩතෝඩ, උඳුපියළි, සුවඳ කොට්‌ටන්, එළඔළිඳ, ඊතන, සපුමල්, ගොඩ මානෙල්, කොහොඹ කොළ, සැවන්දරා මුල්, බැබිල, එඬරු කොළ, කීකිරිඳිය, විෂ්ණුක්‍රාන්ති, සාදික්‌කා, අරළු, වදකහ, කලාඳුරු ආදිය ඒ අතර වේ. මේ ඖෂධ ද්‍රව්‍යයන්හිද ගුණාත්මක බව ඉහතින් විස්‌තර කළ ඒවා හා බොහෝ දුරට සැසඳේ. එබැවින් ප්‍රදේශයන් අනුව ස්‌නානය සඳහා යොදා ගැනීමේදී පහසු ඖෂධ හැකි පමණ යොදා ගැනීම යෝග්‍ය වේ.

නමුත් වර්තමානයේ භෞතිකවාදී චින්තනය තුළ පුරාණ සිරිත් විරිත්වල ගම්‍ය දේ නොසලකා හරින්නට අනුබලය ලැබේ. මේවායෙන් ප්‍රයෝජනය අත්පත් කරගන්නන් හා අගය වටහා ගන්නන් අද සමාජයේ බොහෝ විරල වෙති. සැබැවින්ම එදා සමාජයේ කාන්තාව ගුණගරුක, යුක්‌තිගරුක, දිදුලන මහඟු පහන් ටැඹක්‌ වූයේ එම සිරිත් විරිත්වලට ගරු කළ නිසාවෙනි. අද සමාජයේ විෂමතාවන්ට හේතුවී ඇත්තේද, අප විසින් රැකිය යුතු අනුගමනය කළ යුතු සිරිත් විරිත් නොතකා හැර නව යටත්විජිතවාදී චින්තනය තුළ සදාචාරාත්මක නොවන සිතුම් පැතුම් සහ චර්යා රටාවනිaට හුරුවීම නිසා බවද කිව යුතුය. මෙවන් යුගයක හෙළ කුල සිරිත් විරිත් පිළිබඳ දැනුවත් වෙමින් ඒවාට ගරු කිරීමෙන්, විනය ගරුක, ගුණගරුක සමාජයට යහපත් අතලොස්‌සක්‌ හෝ බිහිවනු දැකීම වර්තමාන අපගේ බලාපොරොත්තුව වේ.

We found this article from Divaina on 2012/08/17.
Also Sinhala to English Google word to word translation can be found here