කන්‍යා ලග්නය හැරුණු විට මිනිස් රූප මගින් සංකේතවත් වන එකම රාශිය වන මිථුනය සංකේතවත් කරන්නේ පෙම් යුවළකි. නර රාශියක් වූ මිථුන ලග්නයෙන් උපන් අය මනුෂ්‍ය ජීවිතය සම්බන්ධව මනා අවබෝධයක් ඇත්තන් වේ. බුධ ග්‍රහයාට අයත්ව බුද්ධිමත් ජන්ම ලාභයක් ලබන මිථුන ලග්න හිමියෝ උඩඟු ගතියෙන් යුතුවූවන් වන අතර නිතර නිතර අදහස් වෙනස්‌කරන අයවලුන් වෙති.
ඉතා සියුම් හැඟීම් ඇති මානුෂිකත්වය අගයන මොවුන් අනුකම්පා සහිත හදවතින්යුතු බුද්ධියත් හදවතත් අතර සිදුවන තර්ක කිරීම්වලදී ඉතා නිවැරදිම තීරණය හදවතට එකඟව ගැනීමට නැඹුරුවේ. එක දෙයක් එක දිගට කරගෙන යැමට මැලිකමක් දක්‌වන අතර පටන් ගන්නා කටයුත්ත අතරමග නතර කර දමා වෙනත් කටයුත්තකට අතගැසීමේ දුර්වලතාවය නිසා බොහෝ අවස්‌ථාවල පාඩු සිදුකර ගනී.
ඒ ඒ වෙලාවට අවශ්‍ය පරිදි කටයුතු කිරීමේ දක්‍ෂ නුවණක් තිබුණද අරඹන දෙයක් සිතූ පරිදි අවසන් නොකරයි. සෑම දෙයක්‌ම දන්නා කෙනෙකු මෙන් පෙන්වමින් කතා කිරීමට දක්‍ෂය. කතාබහ හරබර නොවුවද ළගන්නා වූ කතා විලාසය නිසා අන්‍යයන් මොවුන්ගේ කතාව ප්‍රියකරනු ඇත. බොහෝ වචන කටට ආ පලියට කතා කරන අතර එකී කතාබහ ඊළඟ මොහොත සඳහා අදාළ නොවේ. කිසිවෙකුගේ සිත නොරිදෙන ආකාරයේ කතාබහ නිසා අන්‍යයන් සමග ගැටුම් ඇතිවීමට ඇති ඉඩකඩ ඉතා අඩුය.
ජීවිතය පිළිබඳ මනාලෙස තේරුම් ගෙන ජීවත්වීමේ පුළුල් දැනුමක් ඇති පුද්ගලයෝ මිථුන ලග්නයෙන් ජන්ම ලාභය ලබන අතර ඔවුන් හැමවිටම අනුන්ගේ දුකේදී හිත උණුවන අනුකම්පා සහගත පුද්ගලයෝ වෙති. ඕනෑම කෙනෙකුට කීමට ඇති දේ හිතේ නොසඟවා කෙළින්ම කීමේ ශක්‌තිය ඇතත් පසුව ඒ පිළිබඳ සිතමින් පසුතැවිලි වේ. විවෘත හදවත් ඇත්තෝ බැවින් මිථුන ලග්න හිමියෝ කල්‍යාණ මිත්‍රයකු ලෙස බියකින් සැකයකින් තොරව ඇසුරු කිරීමට හැකි ගුණයහපත් අයවලුන් වේ. ඉතා ඉක්‌මණින් මිතු දම් ඇතිකර ගන්නවාසේම එකී මිතු දම් මනා ලෙස ආරක්‍ෂා කරගනිsමින් පවත්වාගෙන යැමේ සුවිශේෂී වූ ගුණාංගය නිසාම මිථුන ලග්න හිමියන්ට මිතුරු මිතුරියන් බොහෝ සිටිති.
නෑදැ මිතමිත්‍රාදීන් කෙරේ දැඩි බැඳීම් ඇතිකර ගැනීම මොවුනගේ විශේෂත්වයක් වන අතර ඒ සැමගේ ප්‍රශ්න තම ප්‍රශ්න සේ සලකා තමන්ට හැකි ප්‍රමාණයට වඩා උදව් උපකාර කිරීමට පෙළඹීම නිසා තම බොහෝ වැඩකටයුතු අවුල්කර ගත්තද අන් අය වෙනුවෙන් කැපවී වැඩකටයුතු කිරීම පිළිබඳ තෘප්තිමත් වේ. තමන් විසින් සිදුකළ යුතු සෑම කටයුත්තක්‌ම වෙනත් කිසිවෙකු මත නොපවරා තමා විසින්ම සිදු කරන අතර ඒ තුළ අවැඩ හෝ වැරදි ක්‍රියා කිසිවිටෙක නොකරයි. කොපමණ හොඳ කළත් කිසිවෙකුගෙන් කිසිවිටෙක හොඳක් නම් නොඅසයි.
කිසිදු අවස්‌ථාවක ස්‌ථිර තීරණයකට එළඹෙන්නේ නැත. එන විදියකට මුහුණ දෙනවා යන්න මෙබඳු අයගේ න්‍යාය වන බැවින් බොහෝ විට කරන ලද බොහෝ දේ පරස්‌පර විරෝධී විය හැකිය. තර්කානුකූල ලෙස සිතීමෙහි දක්‍ෂයකු නොව හදවතට එකඟව සිතීමේ දක්‍ෂයෙක් වන බැවින් මිථුන ලග්න හිමියන් විසින් ගනු ලබන තීරණ සියයට සියක්‌ම මානුෂික තීරණ මිස තාර්කික තීරණ නොවේ.
නිතර තම තීරණ වෙනස් කිරීමට පෙළඹෙන අතරම එකම රැකියාවක නොසිට විවිධ ක්‍රියාකාරකම් තුළින් ජීවිතය හැඩගස්‌වා ගැනීමට දක්‍ෂය. කිසිවක් බැරෑරුම් ලෙස හිතට නොගනී. තමන්ට ලැබෙන කුමන ආකාරයේ රැකියාවක් වුවද සිත් ගන්නා සුළු ආකාරයෙන් ඉටු කිරීමට මනා හැකියාවක් තිබුණද ස්‌ථීරභාවයෙන් තම දක්‍ෂතා පෙන්වීමට සිදුවන්නේ ඉතා කලාතුරකිනි.
ආගමික කටයුතු කෙරේ දැඩි විශ්වාසයක් තැබීම මිථුන ලග්න හිමියාගේ සිරිතක් වුවත් එය ඕනෑවට වඩා පිළිගන්නා බවක් හා එහි නියෑළීමක් නැත. එහෙත් ඕනෑම දෙයකට සුදුසු ආකාරයෙන් කටයුතු කිරීමට දක්‍ෂවේ. එබැවින් සමාජයේ කුමන කණ්‌ඩායමක් සමග වුවද කිසිදු වාද භේදයක් නොමැතිව සතුටින් සමාදානයෙන් කටයුතු කිරීමෙන් අන්‍යයන්ගේ සිත් දිනාගැනීමේ ගුණාංගය මොවුන් තුළ පිහිටන්නේය.
මිථුන ලග්න හිමියෝ පවුලක හොඳම සාමාජිකයා වුවද කිසිවෙකුගෙන් හොඳක් නොඅසනවා මෙන්ම මිතුරන් අතර ජනප්‍රිය වුවද කිසිදු අයෙක් සමග ඕනෑ වට වඩා හිතවත්කම් නොපවත්වන්නෝය.
අවස්‌ථානුකුලව ක්‍රියා කිරීමේ සහජ දක්‍ෂතාවත් බුද්ධියත් උපතින්ම උරුමකරගන්නා මොවුන්ට සමාජයේ කුමන කණ්‌ඩායමක් සමග වුවද පංගුපේරු වාද භේද නොමැතිව සැමගේ සිත් දිනාගනිමින් කටයුතු කිරීමේ හැකියාව ඇත්තන් වේ.
විරුද්ධ පාර්ශ්වය වෙනුවෙන් නොපැකිලව කාලය, ශ්‍රමය, ධනය වැය කිරීමට ගොස් ඒ හරහා ජීවිත කාලය තුළ විවිධ පාඩු සිදු කර ගත්තද ඒ ගැන නොසිතා යළිත් එලෙසින්ම කටයුතු කිරීමට පෙළඹීම මිථුන ලග්න හිමියාගේ දුර්වලතාවයකි. ආගමික කටයුතු කෙරෙහි විශ්වාස තැබීමද අන් අයව එවැනි දේට තමන් ට හැකි පරිදි උදව් කිරීමද විශේෂ ගුණාංගයකි.
බොහෝ විට තමන් විසින්ම තම සිත රවටමින් ස්‌ථිර පදනමක පිහිටා වැඩකටයුතු කිරීමට අපොහොසත් වීමත් කරන්නට පටන් ගන්නා වැඩ කටයුතු නිසි පරිදි අවසානය කරා ගෙන නොයන මිථුන ලග්නකරුවෝ අනුන්ගේ ප්‍රශ්න නැතහොත් අහක යන ප්‍රශ්න තමන්වෙත පවරා ගෙන අනවශ්‍ය පීඩාවන්ට ගොදුරුවන්නෝ වෙති.
බුද්ධිය මෙහෙයවා කරන්නාවූ පොත පතට සම්බන්ධ
රැකියාවන්ට උරුමකම් ඇති අතර බොහෝ විට වෘත්තීන් දෙකක නියෑළීමට ඉඩකඩ සැලසෙන්නේය.
විවාහ ජීවිතය ඉතා ප්‍රීතිමත් අයුරින් ගත කිරීමට දැඩි ලෙස උනන්දු වුවද ඇතැම් විට අනියම් සබඳතා ගොඩනගා ගැනීමට පෙළඹේ. කාමයට ඇති දැඩි ගිජු බව නිසා එවන් සබඳතා ගොඩනගා ගැනීමට ඉතා පහසුවේ. එහෙත් කිසිදු සබඳතාව කෙරෙහි එක් අරමුණක රැඳී සිටීමේ හැකියාවක් මිථුන ලග්න හිමියන් තුළ නොපිහිටන බැවින් මොහොතින් මොහොත වෙනස් වන්නා වු චංචල සිතින් යුතුව කල්ගතකරයි.
මිථුන යනු වායෝ ධාතුවට අයත් රාශියක් බැවින් සෙම් ආශ්‍රිත රෝග වන නිව්මෝනියාව බ්‍රොන්කයිටීස් ආදී පපු ප්‍රදේශයේ හට ගන්නා රෝගවලින් හා වාත රෝගවලින් පීඩාවට පත්වේ.
පටන් ගන්නා වැඩ අවසන් නොකර අතරමග නවතා දැමීම එක අරමුණක නොරැඳී වංචල සිතින් යුතුව ක්‍රියා කිරීම මිථුන ලග්න කරුවන්ගේ දුර්වලතා හැටියට පෙන්වා දිය හැකි අතර සතියේ සෙනසුරාදා දිනය ඔවුනට අසුබදායක වේ. කහ කොළ මොවුනට ශුභ වර්ණයන් ලෙස දැක්‌විය හැකිය.
We found this article from Divaina on 2013/07/07.
Also Sinhala to English Google word to word translation can be found here