රෝගාබාධ හෙළිකරන සුඛ රේඛාව

0
281
රෝගාබාධ
රෝගාබාධ

හස්‌ත රේඛා විද්‍යාව යටතේ අද ඔබට විස්‌තර කරන්නේ අත්ලක පිහිටි ප්‍රධාන රේඛාවන් හය අතුරින් හයවැනි වරට ගැනෙන සුඛ රේඛාව පිළිබඳවයි. චන්ද්‍ර මණ්‌ඩලයෙන් හෝ අත්ලේ වෙනත් ස්‌ථානයකින් පටන්ගෙන බුධ මණ්‌ඩලය කරා (සුළඟිල්ල මුල) විහිද යන රේඛාව බුධ රේඛාව හෙවත් සුඛ රේඛාව ලෙස හඳුන්වනු ලබයි. ඇතැම් විටක මෙය සෞඛ්‍ය රේඛාව ලෙස ද හැඳින්වෙයි. කෙනකුගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව දැන ගැනීමට ඉවහල් වන බැවින් ඒ නම වඩාත් සුදුසු වෙයි.

සුඛ රේඛාව සෑම අයකුගේම අත්වල දක්‌නට නොලැබෙයි. මෙම රේඛාව මගින් විශේෂයෙන් නිරීක්‍ෂණය කෙරෙන්නේ කෙනකුගේ සෞඛ්‍ය තත්ත්වයයි. සුඛ රේඛාවක්‌ නොපිහිටියත් ප්‍රශ්නයක්‌ හෝ අශූභ තත්ත්වයක්‌ නොවේ. සාමාන්‍යයෙන් මෙම රේඛාව අතක පිහිටා නැත්නම් වඩාත් සුභ ඵල අත්වේ. සුඛ රේඛාවක්‌ අතක පිහිටන්නේ නම් එය ඉතා පැහැදිලිව වර්ණවත්ව තිබිය යුතුයි. රූප සටහනේ (AA) ලකුණින් සටහන් කර ඇති අයුරින් චන්ද්‍ර මණ්‌ඩලයෙන් ආරම්භ වූ සුඛ රේඛාව බාධකවලින් තොරව බුධ මණ්‌ඩලය කරා විහිද ගියේ නම් එය ඉතා හොඳ සෞඛ්‍ය තත්ත්වයක්‌ බව සාමුද්‍රික ශාස්‌ත්‍රයේ සඳහන් වෙයි. මෙම රේඛාව දැනට පවතින රෝග ගැන පමණක්‌ නොව අනාගතයේදී වැළඳීමට තිබෙන රෝග ගැන ද අනාවැකි කියයි. එමනිසා දැනට රෝග ලක්‌ෂණ නැතිවුවත් පුද්ගලයා සිය රෝග තත්ත්වය ගැන දිගටම නොසලකා හැරියොත් වසර කීපයක්‌ ඉදිරියට ඇතිවිය හැකි රෝගයන් ගැන සුඛ රේඛාව අනතුරු හඟවයි. එමෙන්ම සෞඛ්‍ය රේඛාව, ජිවන රේඛාව කපාගෙන බුධ ඇඟිල්ල කරා විහිදුනහොත් එම රේඛාව කැපුන ස්‌ථානයට අදාළ වයස්‌ සීමාවේදී නොවරදවාම අසනීප වන බව පෙන්වයි. එම රේඛාව ජිවන රේඛාවට වඩා ඝන නම් එම කාලසීමාව මරණය සිදුවන කාලසීමාව විය හැකිය. කෙනෙක්‌ අසනීපයක්‌ සඳහා ගන්නා සැලකිල්ල හා ප්‍රවේශම අනුව සුළු අසනීපයක්‌ පමණක්‌ සෑදී මරණයෙන් ගැලවිය හැක. මෙම රේඛාවේ පැහැය හා පිහිටා තිබෙන ආකාරය අනුව යම්කිසි ලෙඩ රෝග වැළඳීමට හේතුවේ. මෙම රේඛාව කසාවන් පැහැයෙන් (කහ) යුක්‌තව පිහිටියේ නම් අක්‌මාවේ රෝග ඇති බව පෙන්වයි. මෙම රේඛාව මත කළු තිත් දර්ශනය වීම උණ රෝගයේ ලක්‍ෂණ වෙයි.

රෝගාබාධ

මෙම රේඛාව බාධා රහිතව බුධ මණ්‌ඩලය මතට විහිදුණේ නම් එය ආර්ථික දියුණුව සැලසීමටද හේතුවක්‌ වේ. දම්වැලක ආකාරයෙන් මෙම රේඛාව දික්‌වීමෙන් අක්‌මාව සහ උදරයේ රෝග ද ඇති කෙරේ. බිඳුන රේඛා ලක්‍ෂණවලින් යුත් සුඛ රේඛාව දුර්වල ජිර්ණ පද්ධතියක්‌ පෙන්වයි. මෙය තේරුම් නොගෙන අධික ලෙස වැරැදි ආහාර ගැනීම, අධික මත්පැන් පානය, නහර පීඩනය (ප්‍රෙෂර්) යනාදිය ගැන සැලකිලිමත් නොවුණහොත් සෞඛ්‍ය රේඛාව ජිවන රේඛාව කපාගෙන ගොස්‌ අසනීප තත්ත්වය උග්‍රවන බව පෙන්නුම් කරයි. සුඛ රේඛාවෙන් ශාඛාවක්‌ ගුරු, ශනි, රවි මණ්‌ඩල කරා විහිද ගියේ නම් මහා ධනවතෙක්‌ වෙයි. එමෙන්ම ශරීර සෞඛ්‍යයද වර්ධනය වන බවට සලකුණකි. අශුභ ඵලදෙන දැල්, දම්වැල්, කුරුස, කතිර යනාදී සලකුණු නොමැතිවීමද, ශුභඵල දෙන ත්‍රිකෝණ, චතුරශ්‍ර, ත්‍රිශූල යනාදි සුබ ලක්‌ෂණ සහිත වීමද, සුඛ රේඛා වෙතින් ධනය, බලය මෙන්ම යහපත් සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ ශුභඵල ප්‍රකට කරයි. සම ආකාරයකට නොමැතිව (BB) නැවි නැවී යන අකාරයේ සෞඛ්‍ය රේඛාව පිහිටියේ නම් අක්‌මාවේ හෝ වකුගඩුවල ආබාධයන් ඇති බව පෙන්නුම් කරයි. මේ දෙකින් කුමන ආබාධයක්‌ද යන්න දැන ගැනීමට නම් මුහුණ පරීක්‌ෂා කර මුහුණේ පහත කොටසේ ඉදිමුමක්‌ ඇත්තේ නම් වකුගඩුවල ආබාධයක්‌ පෙන්වයි. අත්වල කහ පැහැය ඇත්තේ නම් අක්‌මාවේ අසනීපයක්‌ වෙයි. මෙම රේඛාවේ පිහිටන දූපත් සලකුණු ඉතා අශුභයි. මෙවැනි දූපත් රාශියක්‌ පිහිටයි නම් හා නියපොතු ඇතුළට නැමී සදොස්‌ ලෙස පිහිටා ඇත්තේ නම් පෙනහලු ආබාධ ඇතිවීමේ ප්‍රවනතාවක්‌ ඇත. එක දූපතක්‌ පිහිටා දෛව, රවි යන රේඛාවල ඡේදනයක්‌ හෝ කැපී යැමක්‌ දක්‌නට තිබීම ආර්ථිකයට විශාල වශයෙන් බලපානු ඇත. සුඛ රේඛාවට තුනීවට ඇදට පිහිටීමද නිතර අසනීපවීමට හේතුවකි. අජිර්ණ රෝග, හෘදය රෝග, වාත රෝග ආදියයි. සුඛ රේඛාවේ කෙළවර දූපත් ලකුණු වැටීම අංශභාග රෝගය වැළඳීමේ ලක්‌ෂණයකි. සුඛ රේඛාව මත තාරුකා ලකුණු වැටීම හේතුවෙන් දරුවන් ලැබීමට සිටින අවස්‌ථාවේදී මව්වරුන්ට දැඩි අපහසුතාවකට මුහුණදීමට සිදු වේ. සුඛ රේඛාව නැවී දුර්වර්ණව පිහිටීම හා මැකීයැම නිතර ආමාශගත රෝගවල ගැස්‌ට්‍රයිටිස්‌ අම්ල රෝග හා අජිර්ණ රෝගවලට ලක්‌වීමට හේතුවේ. මෙම රේඛාව ජිවන රේඛාව එකතුවී දූපත් ලකුණුවලින් යුතුව දුර්වලව පිහිටා ඇති අයට අපස්‌මාරය වැනි මානසික රෝග ඇතිවීමට හැකිය.

බුධ රේඛාව, ශීර්ෂ රේඛාව, ජිවන රේඛාව යන රේඛා එකතුවෙන් අත්ලේ මැද ඇතිවෙන ත්‍රිකෝණයක සලකුණ කෙනකුගේ තික්‌ෂණ බුද්ධිය හා ගුප්ත විද්‍යාව කෙරෙහි ඇති දක්‌ෂතාව ප්‍රකට කරයි. ශීර්ෂ රේඛාව හා හෘදය රේඛාවෙන් හැදෙන චතුරස්‍රය පටුවීමත් සුඛ රේඛාව දුර්වලවීමත් ඇදුම රෝග ඇතිවීමට හේතුවක්‌ වේ. හොඳ දෛව රේඛාවක්‌ හා හොඳ සුඛ රේඛාවක්‌ ඇතිවීම ද ව්‍යාපාර අංශයෙන් දියුණුව පෙන්නුම් කරයි.

බුධ රේඛාව මැණික්‌ කටුව ආශ්‍රයෙන් පටන්ගෙන ශීර්ෂ රේඛාව ළඟින් රවි මණ්‌ඩලයට හැරීම අධික වියදම් හා මුදල් ලැබීම් පෙන්වයි. බුධ රේඛාව හෘදය රේඛාව සමීපයෙන් අවසන් විම හෘදය රෝග ඇතිවීමට හේතුවක්‌ වෙයි. එම අවස්‌ථාවේ හෘදය රේඛාවද කැපී තිබුණහොත් හෘදය රෝගයකින් මිය යා හැක. මෙය ශීර්ෂ රේඛාවට සම්බන්ධ වී ජිවන රේඛාව කුඩා රේඛාවලින් කැපී තිබේ නම් මොළයට සම්බන්ධ අසනීප හා අක්‌මාවේ රෝග ආදිය ද ඇති වේ. බුධ රේඛාව දම්වැල් ආකාරවද තිබිය හැක. එයද අයහපත්ය. ව්‍යාපාරවල අසාර්ථක තත්ත්වය, පිත්තාශයේ රෝග, මානසික අඩුපාඩු, තැති ගැන්මෙන් යුතුව සිටීම ආදී දුර්වලකම් පෙන්නුම් කරයි.

We found this article from Divaina on 2013/05/03.
Also Sinhala to English Google word to word translation can be found here