ලග්නය වෘශ්චික නම් මෙය කියවන්න

2475
වෘශ්චික
වෘශ්චික

රාශි චක්‍රයේ අටවැන්න වෘශ්චික රාශියයි. තාරකා එකොළහකින් යුතුව නිර්මාණය වී ඇති වෘශ්චික රාශිය ගෝනුස්‌සෙකුගේ රුව සංකේතවත් කරයි. වෘශ්චිකය ජල රාශියක්‌ වන අතර මේෂ, වෘශ්චික රාශි දෙකටම අධිපති භාවය දරන්නේ අඟහරුය. ඒ අනුව වෘශ්චික රාශියෙන් උපන් අයගේ පාලන ග්‍රහයා වනුයේ කුජ හෙවත් අඟහරු වේ. අඟහරු ග්‍රහලොව සෙන්පතියා ලෙස හඳුන්වයි. සටන්කාමී ග්‍රහයාට, කුජ ග්‍රහයාට හිමි ලක්‌ෂණ වෘශ්චික ලග්නයෙන් උපන් අයට පිහිටයි.

වෘශ්චික ලග්නයෙන් උපන් අය මනා රූප සපුවකින් යුක්‌ත වන අතර ඔවුන්ගේ අත් පා දික්‌ව ශක්‌තිමත්ව පිහිටයි. හැඩිදැඩි ශරීරයකට හිමිකම් කියයි. කඩිසර බවකින් යුක්‌තය. ඔවුන්ගේ හිසකෙස්‌ ඝනය. රැළි සහිතය. පැතලිය. නෙත් යුවළ වටකුරුය. දීප්තිමත්ය. තියුණු ඇස්‌ බියගෙන දෙන සුළුය. වෘශ්චික ලග්නයෙන් උපන් පුරුෂයන්ගේ පපුව පුරා ඝන රෝම දක්‌නට ඇත. ඔවුන් තුළ දැඩි ආත්ම ශක්‌තියක්‌ උරුමය. බාධා අවහිරයක්‌ ගැන කිසිදු තැකීමක්‌ නොමැතිව තමන් පටන්ගත් කුමන හෝ කාර්යයක්‌ නොනවත්වාම ඉදිරියට ගෙන යැම ඔවුන්ගේ සිරිතය. තමාට හිතවත්ව කටයුතු කරන ඕනෑම අයෙකුට ඉතාමත් පක්‌ෂපාතී ලෙස කටයුතු කරයි. තම අදහස්‌වලට අවනත නොවන අයට පිළි නොගන්නා අයට අමනාප සහගතව කටයුතු කරයි. කිසිම අයෙකුට යටත්වීමට අකමැති වෘශ්චික ලග්න හිමියන් උසස්‌ අයෙකු ලෙස සමාජයේ කැපී පෙනී සිටීමට උත්සාහ කරයි. බිය සැක කුමක්‌ද කියා වෘශ්චික ලග්න හිමියන් නොහඳුනයි. කෝපයට පත්වූ විට ඔවුන් ඉතාමත් දරුණු බවක්‌ පෙන්වයි. සමහරුන්ට අනුකම්පාව කියා දෙයක්‌ පහළ වන්නේම නැත. පොත්පත් කියවීමට හා සාහිත්‍ය කලාවට ඉතාමත් ලැදිය. තමන්ට අයත් කාර්ය කල් නොදමා කෙසේ හෝ නියමිත වේලාව ඉක්‌ම යන්නට පළමු නිමකිරීම ඔවුන්ගේ සිරිතය. වෘශ්චික ලග්නයෙන් උපන් කාන්තාවන් ඉතාමත් කරුණාවන්ත සහ අනුකම්පා සහගත අයයි. පාලන කටයුතුවලටද ඔවුන් ඉතා දක්‌ෂය. අන්‍යයන් වසඟ කර ගැනීමට තම කතාව, රූ සපුව, දේහ විලාසය ප්‍රයෝජනයට ගනී. පොදුවේ සලකන විට වෘශ්චික ලග්න හිමි අය ආගම දහමට ඉතාමත් ලැදි බවක්‌ දක්‌වයි. දුර්වලකමක්‌ ලෙස පෙන්වනුයේ හදිසි කෝපය, ලෝභකම හා සකසුරුවම්කමය. තම අදහස්‌ අන්‍යයන්ට දැන ගැනීමට ඉඩ සලසයි. මෙයද දුර්වලකමක්‌ ලෙස සැලකීමට හැකිය. වෘශ්චික ලග්නයෙන් උපන් අයගේ එකේ හෙවත් ලග්නයේ කුජ පිහිටීම ඉතා බලවත් වේ. ලග්නාධිපති ලග්නයේ සිටීම වෘශ්චික ලග්න හිමියන්ට වාසනාව ගෙන දෙන්නකි. හදිසි කෝප ඇති කරගැනීම හා ආඩම්බර ස්‌වභාවයෙන් කටයුතු කරයි. උද්යෝගීවන්තයි. ක්‍රියාශීලියි. නමුත් ඔවුන් අන් අයගේ දැනමුතුකම්, උපදෙස්‌ ආදිය පිළි නොගනී. කුජ දෙවැන්නේ සිටීමෙන් කටහඬ තියුණු වේ. අන් අයගේ වැරැදි දකී. ධනය ලැබීමට වාසනාව ඇත. කුජ තුන්වැන්නේ සිටීමත් ඉතාම වාසනාවන්තයි. මකරයට කුජ උච්ඡවීම නිසා කරදර බාධක මැද්දේ සතුරන් ජයගෙන තම බලය රැකගනී. හතරවැන්නේ කුජ එතරම් යහපත් නොවන්නේ තම උපත නිසා මවට අපල ගෙන දෙන නිසාය. එසේම නෑදෑයන් හා විරුද්ධ වේ. ආඩම්බරයෙන් කටයුතු කරයි. කුජ පස්‌වැන්නේ සිටින අය නිරෝගී සම්පන්න වේ. එහෙත් ඉගෙනීමට අවහිරකම් ඇති වේ. කුජ පස්‌වැන්නේ සිකුරු සමග සිටීමෙන් විවාහ දිවියේ කරදර ඇති කරයි. කුජට හයවැන්න යහපත් ස්‌ථානයක්‌ වෙයි. නිරෝගී සම්පන්න වේ. මැණික්‌ ගැරීම් හා පතල් කර්මාන්තයෙන් වැඩි වාසි අත්වේ. කුජ හත්වැන්නේ සිටින අය තද මුරණ්‌ඩු ස්‌වභාවයෙන් කටයුතු කරයි. කුජට අටවැන්න යහපත් ස්‌ථානයක්‌ නොවන අතර ස්‌ත්‍රියකගේ නම් දරු උපත්වලටද බාධක යෙදේ. පස්‌වැන්නේ හෝ නමවැන්නේ ගුරු සිටීම බලාපොරොත්තු රැකියා හා සම්පත් ලබාදෙන පිහිටීමකි. වෘශ්චික ලග්න හිමියන්ගේ කේන්ද්‍රවල 1, 6, 12 ස්‌ථානවල සෙනසුරු සිටීම යහපත් නොවේ. හත්වැන්නේ රාහු, කුජ යෝගයද වෘශ්චික ලග්න හිමියන්ට යහපත් නොවේ.

වෘශ්චික ලග්නයෙන් උපන් බොහෝ දෙනෙක්‌ වෛද්‍යවරුන් වශයෙන් කටයුතු කරයි. පොලිස්‌, යුද හමුදා ආදී වෘත්තීන්වලද වැඩි පිරිසක්‌ වෘශ්චික ලග්නයෙන් උපන් අය සේවයේ යෙදී සිටිති. සරසවි කථිකාචාර්යවරුන්, දක්‌ෂ ගුරුවරුන්, ව්‍යාපාරිකයන්ද මෙම ලග්නයෙන් උපත ලබා ඇත. තවද අවි ආයුධ ආශ්‍රිත කටයුතු කරන ආරක්‌ෂක අංශයේ අය වෘශ්චික ලග්නයෙන් උපත ලැබූ අයයි. වෘශ්චික ලග්නයෙන් උපන් අයගේ ගෘහ ජීවිතය බොහෝ විට සාමකාමී බවින් තොර වන්නේ තම මතයට අනුව කටයුතු කිරීමත්, තම මතයම ඉස්‌මතු කිරීමත් නිසාය. ඉතා සුළු දෙයකදී වුවත් කෝප සහගතවීම ගෙදරදොර වාද විවාද ඇතිවීමට හේතුවක්‌ වේ. වෘශ්චික ලග්නයෙන් උපන් අයට මීන, කටක ලග්න හිමියන් විවාහයට වඩාත්ම යෝග්‍ය වේ. කන්‍යා, මකර ලග්න හිමියන්ද දළ වශයෙන් ගැලපේ. වෘශ්චික ලග්න හිමියන්ට ගුරු, ශුක්‍ර, බුධ යෝගය ඉතා සුබපල උදා කරයි.

වෘශ්චික ලග්න හිමියන්ගේ දරුණුම මාරක ග්‍රහයා වනුයේ බුධය. බුධගේ මහ දශා අන්තර් දශා කාලවලදී වෘශ්චික ලග්න හිමියන් ප්‍රවේශ වීම වැදගත්ය. මෙම කාලය තුළදී ගංගා, වැව්, මුහුදු වැනිස්‌ථානවලදී නෑමෙන් ප්‍රවේශම් විය යුතුය. වෘශ්චික ලග්න හිමියන් අතර ඇදුම රෝග සෑදීමේ ප්‍රවණතාවය වැඩිය. වායු, සෙම, පිත යන කොටස්‌ තුනෙන් ඔවුනට පීඩා ගෙනදේ. සමහරු මත්පැන් පානයට දැඩි රුචියක්‌ දක්‌වති. මෙය ඔවුන්ගේ අක්‌මාව, වකුගඩු ආදී ස්‌ථානවල රෝග හට ගැනීමට හේතු වේ. අපල සඳහා රතුපාට මැණික්‌ ගලක්‌ මුදුවකට සම්බන්ධ කර පැළඳීම යහපත් වේ. වෘශ්චික ලග්න හිමියන්ට ඉරිදා, සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්‌පතින්දා සුබ පල උදාකරන දිනයන් වේ.

We found this article from Divaina on 2013/01/25.
Also Sinhala to English Google word to word translation can be found here