මිනිසකුගේ ජීවිතය – චරිතය – ශාරීරික තත්ත්වය වර්ණය – ගතිගුණ – හිස – ආයුෂ- කැමති දේවල් – ජයග්‍රහණ වයස – ප්‍රසිද්ධිය – ගෞරවය – ලාභ – අලාභ – යසස – අයස දුක – සැප නින්දා – ප්‍රශංසා – දැනුම – උත්සාහය – සිහින දේශපාලනය – කේස් වාසනාව – දක්‌ෂකම් – ශාරීරික ශක්‌තිය දීර්ග ගමන් – සහකරු හෝ සහකාරිය – අවශ්‍යතාවයන් මුහුණේ ඉහළ කොටස – උපන් ස්‌ථානය ලග්න භාවයෙන් විමසා ගන්නේ ය. මූර්ති – උදය – ශිරය – කල්ප – තනුය – ව්‍ය අංග – හෝරාය – ආද්‍ය දෙහ ලග්න භාවයට පෙරැදුරන් විසින් කියන ලද නාමයෝය. ලග්න භාවයට කාරක වන්නේ රවි ග්‍රහයාය. කාල පුරුෂයාගේ ආත්මය නියෝජනය කරන්නේද ලග්න භාවයෙනි.
දෛවඥ මහතා කේන්ද්‍රයක් අතට ගෙන පලාපල කීමට පෙර කේන්ද්‍රය පරීක්‍ෂා කර බලයි. එහිදී ප්‍රමුඛස්‌ථානය හිමිවන්නේ ද ලග්නස්‌ථානයටයි.
ලග්නාධිපතියා ලග්නයෙහි සිටීද, ලග්නාධිපති විසින් ලග්නය දකීද, ලග්නය ශුභ ග්‍රහයන් විසින් දකීද ශුභ ග්‍රහයන් එහි තැන්පත් ද ලග්නය දෙපස ශුභ ග්‍රහයන් පතිත වී ඇත්ද, ලග්නාධිපති ශුභ තැනක, ශුභ සංයෝගම හෝ ශුභ දෘෂ්ටි ලැබ සිටීද, ශුභ නැකතක තැන්පත් වී ද ලග්නාධිපති ග්‍රහයා ශුභ කර්තරී ද යන ශුභ කාරණා විමසා බලයි. එසේ නම් ශුභ ඵල දීමට සමත් වෙයි. එවිට ජන්මියා, බලවතෙකි. මෙහි අනෙක් පැත්ත වෙතොත් ජන්මියා, දුබලය. අශුභ ඵල ගෙනෙයි. පෞරුෂය හීනය. අනෙක් පැත්ත නම්, ලග්නය හා ලග්නාධිපති අශුභ ග්‍රහයින්ගෙන් පීඩිත වීමයි. අශූභ ස්‌ථානවල තැන්පත් වීමයි. ආයු බලය විමැසීමේදී ද ලග්නය ප්‍රමුඛම ස්‌ථානය ගනී.
සියලුම ග්‍රහයන් ලග්නය දක්‌නා කල උපන් ජන්මියා, ශ්‍රේෂ්ඨය. සතුරන් නසයි. දීර්ඝායුෂ විඳියි. බලයෙන් හා ධනයෙන් යුක්‌තය. ලග්නයේ සුභ ග්‍රහයෝ සිටිත් නම් ඡන්මියා කාරුණිකය. මහත් ශරීරය ඇත්තෙක් වේ. පාප ග්‍රහයින් ලග්නයෙහි වෙතොත් ජ ජන්මියා දුබලය. ශීතාධික රෝගවලින් පීඩා ලබයි. ලග්නයේ පළමු වැනි දෙර්කාණයේ එනම්, පළමු අංශක දහය ඇතුළත කුජ, ශනි හෝ රාහු යන ග්‍රහයකු වෙතොත් ජන්මියාගේ හිසට ආයුධයකින්, දණ්‌ඩකින් හෝ ගින්නෙන් විපතක් ඇතිවේ. ලග්නය ක්‍රෑර රාශියක් වී එහි ක්‍රෑර ග්‍රහයන් සිටීද, දකීද එවිට ඡන්මියාගේ හිසට ගින්නෙන් උපද්‍රව පැමිණේ. ලග්නයේ චන්ද්‍රයා සිටියේ නම්, ජලයෙන් විපත්ති ඇතිවේ.
ලග්නාධිපතියා දුෂ්ට ස්‌ථානයක පතිත වෙතොත් ඡන්මියා දුබලය. ලග්නාධිපතියා නීච වීම, පාප ග්‍රහයකු සමග යෝග වීම ජන්මියා දිළිඳු කරන පිහිටීමකි. ලග්නාධිපති ග්‍රහයා දුෂ්ට ස්‌ථානයක පාප කර්තරී වෙතොත් ඡන්මියා නිතර සතුරු භයින් පසුවෙයි. පාප කර්තරී වීම යනු පාප ග්‍රහයින් දෙදෙනෙකු හෝ ඊට වැඩි ගණනක් දෙපස රාශිවල හෝ එම රාශියේම අංශක වලින් දුරස්‌ථව යම් ග්‍රහයෙකුගේ දෙපස වීමයි.
ලග්නාධිපතියා දොළොස්‌වැන්නේ වීම විදෙස් බල සහිත යෙදුමකි. මෙහිදී ලග්නය හෝ දොළොස්‌වැන්න චර රාශියක් විය යුතුයි. මේෂ – කටක – තුළා – මකර යන රාශීන් සතර චර රාශී වලට අයත්ය. මිථුන – කන්‍යා – ධනු මීන යන උභය රාශියක වූවද මෙසේ පිහිටීමෙන් විදෙස් බල මතු වන්නට පුලුවනි. ලග්නය තිර රාශියක් වී ලග්නාධිපති ද තිර රාශියක වෙතොත් ජන්මියාගේ දියුණුව තම ගම් පෙදෙසෙහිදීය. හෝ තම රටේමය. විදෙස් ගත වීමට වුවමනා නොවේ.
ලග්නාධිපති හය – අට – දොළහ අධිපතියෙකු සමග යෝගව එම ස්‌ථානයක වෙතොත් ශරීර සනීපයට නිතර බාධා මතු කරනු ඇත. කුජගේ සම්බන්ධකමක් ද වෙතොත් ශල්‍යකර්මයකට වූවද ඉඩ තිබේ. හය – අට – දොළහට අයත් ශරීරස්‌ථානයක හෝ එම භාවයන්ට වැටෙන රාශිවලට හිමි ශරීරස්‌ථානයක හෝ ආබාධය මතු කරනු ඇත. යෝගය පිහිටි රාශිය, භාවය පිරික්‌සීමෙන් එය නීර්ණය කරගත හැකිය.
ගෝචර ගමනේදී ලග්නය හරහා පාප ග්‍රහයක් ගමන් කිරීම අපල දායකය. චන්ද්‍රයා උත්පත්ති කේන්ද්‍රයේ ලග්නයේ නම් ශනි ග්‍රහයා ඒ මතින් ගමන් ගන්නා කාලය වඩාත් අපලකාරීය. කරදර ඇතිවේ. දශා කාලයද අශුභ වී නම් උමතු කල්පනා වේ. අපකීර්තිය ලබයි. සමහර විට බන්ධනාගාර ගතවේ. මෙය ශනි දොළොස්‌වැන්නේ ගමන් ගන්නා කාලය තුළදී ඉස්‌මතු වීමට බොහෝ දුරට ඉඩ තිබේ. එනම් ලග්නය දොරකොඩදීය.
උත්පත්තියේදී රවි ග්‍රහයා ලග්නයේ සිටියේ නම්, ඡන්මියා උද්යෝගිමත්ය. අහංකාරය. සතුරන් මැඩ පැවැත්වීමේ ධෛර්යයෙන් යුක්‌ත වේ. උනන්දුවෙන් කටයුතු කරයි. නොසඟවා සෘජුව කතා කරයි. උසස් අයගෙන් උපකාර ලබයි. උසස් තනතුරුවලට පත්වේ. අනුන්ට වඩා උසස් වීමට හැමවිටම සිතයි. ඉක්‌මනින් කෝප වෙයි. නිදහස් ජීවිතයක් ගත කරයි.
සඳු ග්‍රහයා ලග්නයේ සිටියේ නම්, ජන්මියාට තද ගති ගුණ නැත. ප්‍රසිද්ධ ජීවිතයක් ගත කරයි. ප්‍රියංකර රූ පසුව, සෞඛ්‍ය ගති පැවතුම් වේ. වහා වැටහෙන සුලුය. කල්පනාකාරීව ක්‍රියා කරයි. රසවත් පලතුරුවලට දැඩි ලෙස ගිජු කමක් දක්‌වයි. අනුන්ගේ සිත් නොරිදවයි. ප්‍රීතිමත් ජීවිතයකි. කුජ ග්‍රහයා ලග්නයේ සිටියේ නම් ඡන්මියා, නිර්භීතය. ධෛර්ය සම්පන්නය. අනුන්ට යටත් නොවේ. මුරණ්‌ඩුය. තද ලෙස කේන්ති යයි. පසුබට නොවේ. ක්‍රියාශීලී ලෙස වැඩ කටයුතුවල නිරත වෙයි. දියුණුව පිණිස ආශාවෙන් වැඩ කටයුතු කරයි.
බුධ ග්‍රහයා ලග්නයේ සිටියේ නම්, ජන්මියා බුද්ධිමත්ය. විවිධ භාෂා ශාස්‌ත්‍ර දනී. ප්‍රියංකර රූ සපුව වේ. වාග් ශක්‌තිය ඇති කරයි. වහා වැටහෙන නුවණක් වේ. ඉක්‌මනින් ඉගෙන ගනී. දූරදර්ශීව වැඩ කටයුතු කරයි. ඉවසිලිවන්තය. පොත්පත් කියවීමටද ආශා කරයි. සියලු දෙනාටම ප්‍රිය කෙනෙකි.
ගුරු ග්‍රහයා ලග්නයේ සිටියේ නම්, කීර්තිය, ගෞරවය ගෙනදේ. කටයුතු සඵල වේ. ශරීර සෞඛ්‍යය යහපත්ය. සිහිකල්පනාවෙන් වැඩ කටයුතු සිදු කරයි. යුතුකම් ඉටු කරන්නෙකි. අන්‍යයන්ට උදව්, උපකාර කරයි. පසුබට නොවේ. නිකරුනේ මුදල් වියදම් කරන්නේ නැත. ආගම ධර්මයට ඉතා ලැදි ත්‍යාගවන්ත කෙනෙකි. දීර්ඝා යුෂ ද විඳියි.
සිකුරු ග්‍රහයා ලග්නයේ සිටියේ නම්, රූප සභාව සතුට, ප්‍රීතිය ගෙනදේ. දැකීමට ප්‍රියවේ. කල්පනාකර බලා කටයුතු කරයි. අනුන්ගේ දුක හඳුනයි. ශරීර සෞඛ්‍යය යහපත් වේ. සෘජු ගති ගුණය. සැපවත්, උසස්, ප්‍රසිද්ධ ජීවිතයක් ගත කරන්නට ලැබේ. ආයුෂ දීර්ඝය.
ශනි ග්‍රහයා ලග්නයේ සිටියේ නම්, රෝග පීඩා ඇති කරයි. නමුදු ජන්මියා උත්සාහවන්තය. වස්‌තුව සපයා ගනී. ක්‍රමානුකූලව වැඩ කටයුතු= කරගෙන යයි. මිල මුදල් හේතුකොට ගෙන කරදර පැන නගී. හුදකලාව ප්‍රිය කරයි.
රාහු ග්‍රහයා ලග්නයේ සිටියේ නම්, ජන්මියා කඩිසරය. ස්‌ථිර දියුණුවක් ලබාගත නොහැකි වේ. ගමින් පිටදී දියුණුව වේ. කේතු ග්‍රහයා ලග්නයේ සිටියේ නම්, ඔත්පල වේ. ඉගෙනීමට හැකියි. ආදර සම්බන්ධතා නිසා පසුතැවිලි වෙයි. සෞඛ්‍ය ගැටලු ඇතිවේ. මෙකී කරුණු කාරණා ග්‍රහයින්ගේ බල දුබලතා අනුව වෙනස් වන බව මතක තබා ගත යුතුමය.
මෙතැනදීම ග්‍රහ ගෝචර ඵල ද විමසා බලමු. ලග්න භාවය තුළින් ඒ ඒ ග්‍රහයා ගමන් කරන විට ලැබෙන ඵල විපාක මෙහි සඳහන් වේ.
රවි ග්‍රහයා ලග්නය හරහා ගෝචරයෙන් ගමන් කරන විට සිත් තැවුල්, කනගාටු ඇති කරයි. භයක් ද ඇතිවිය හැක. සතුරු කරදර පැන නගී. ඇස්‌වල ආබාධ, හිස කැක්‌කුම් ඇතිවේ. පියාට ද අගුණ කාලයකි.
චන්ද්‍රයා ලග්නය හරහා ගමන් කරන විට සිත් සතුටට කරුණු සැලසේ. මුහුණේ අලංකාරය ප්‍රීතිමත් ගතිය ඇතිවේ. හොඳ ආහාර පාන වර්ණ ද අලංකාරයට සැප පහසුවට අවශ්‍ය දේවල් ද ලැබෙයි. කුජ ග්‍රහයා ලග්නයේ ගමන් කරන විට සතුරු කරදර ඇතිවිය හැක. ශරීර සනීපයට බාධා මතු කරයි. විශේෂයෙන් හිසේ කැක්‌කුම් ඇති කරයි. කරගෙන ආ කටයුතුවල වෙනසක් ද ඇති කළ හැක. බලාපොරොත්තු කඩවේ. තද ලෙස කේන්ති යන කාලයකි. හදිසි අනතුරුවලින් ද ගින්දරෙන් ද ප්‍රවේශම් විය යුතුය.
බුධ ග්‍රහයා ලග්නයේ ගමන් කරන කාලය තුළ රැවටීමකට හසුවිය හැකියි. දුක් කනගාටු සිත් කරදර ඇතිවේ. ඉගෙනීමට කම්මැලි වේ. ඥාති හිතමිත්‍රාදීන් නිසා ධන හානි ඇති කරයි. ප්‍රීතිමත් ගමන් බිමන් වලටද රැකීරක්‍ෂා කටයුතු දියුණුවට ද හේතුයි.
ගුරු ග්‍රහයා ලග්නයේ ගමන් කරන කාලය ධන හානි ඇති කරයි. ජන්මියා දීර්ඝ ගමනක් යයි. ස්‌ථාන ද වෙනස් විය හැකි කාල වකවානුවකි. නඩුහබවලට හෝ සතුරු වියවුල්වලට පැටලෙන්නට ඉඩ තිබේ. ගෙදර අවාසනාවන්තකම් මතුවිය හැකිය. රැකීරක්‍ෂා තනතුරු පහළ වැටෙයි. ගුරු ග්‍රහයා දෙවැන්නට පැමිණි පසු මෙකී අශුභ ඵල විපාක මර්දනය කර දමනු ඇත.
සිකුරු ග්‍රහයා ලග්නයේ ගමන් කරන කාලය සිතේ සතුට, ගෙදර සැනසීම ඇති කරයි. මිල මුදල් ලාභ ලැබේ. ආලය බැඳීම් සඵල වේ. ශරීර සනීපයට ද හේතුයි. ප්‍රීති උත්සව බලන්නට ලැබේ. නිතර ප්‍රීතිමත් ගමන් ඇතිවේ. මිත්‍රයන්ගේ ආශ්‍රය ද උපකාර ද ලැබේ. සතුරන් නැතිවේ.
ශනි ලග්නයේ ගමන් කරන කාලය අපල දායකයි. ශරීර සෞඛ්‍යයට යහපත් නොවේ. ස්‌ථාන හෝ පදිංචිය වෙනස් විය හැකිය. දියුණුවට බාධා ඇතිවේ. අධික වියදම් වේ. නිෂ්ඵල ගමන් බිමන් නිතර ඇතිවේ. ශෝක ජනක සිදුවීම්, ආරංචි අසන්නට ලැබේ. අවනම්බුවක් හෝ ලඡ්ජාවක් ඇතිවේ. පවුලේ අය සමග අවුල් මතුවේ. සතුරන් සමග ආරවුල් ද මතුවිය හැක. නඩුහබ ද පැටලෙන්නට පුලුවන. දෝෂාරෝපණයකට හසුවේ. නරක නාම ද ලැබෙන්නට හේතුයි.
රාහු ලග්නයෙහි ගමන් කරන කාලයේදී ගමන් අධික වේ. සිතේ තිබූ බලාපොරොත්තුවක් ඉෂ්ඨ වේ. රැකී රක්‍ෂාවලට නැවත කැඳවුම් ලැබෙන්නට ද පුලුවන. කටයුතුවල ලොකු වෙනස්‌කමක් ද ඇති කරයි. සිතට භයක් ඇතිවේ. ඊර්ෂ්‍යාකාරයන් ද ඇතිවේ.
කේතු ලග්නයෙහි ගමන් කරන කාලය තුළ ශරීර සනීපයට බාධා මතු කරයි. කෙට්‌ටු වෙයි. ගෙදරට අමනුෂ්‍ය බැල්ම, පෙරේත දෝෂ ද ඇති කළ හැකියි. සතුරන්, ඊර්ෂ්‍යාකාරයන් මතුවේ. ශෝක වීමට කරුණු යෙදෙයි. ගෝචර පලාඵල ප්‍රකාශ කිරීමේදී ගෝචර ග්‍රහයාගේ බල දුබලතාවයන් ගැන සිතා බලා පලාඵල කිව යුතුය.
We found this article from Divaina on 2013/02/08.
Also Sinhala to English Google word to word translation can be found here