01. ජන්මියෙකු උත්පත්ති මොහොතේ ලග්නයේද, දෙවැනි භාවයේද, හතේද, දොළහේද සියලුම ග්‍රහයන් තැන්පත්ව සිටීනම් ඔහු වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම නායකයකු වේ. එම නායකත්වයෙන් තම වංශයට හානියක් නොකර නායකත්වය පවත්වා ගෙන යැමට ද හැකියාව ලැබෙන්නේය.
02. කිසියම් ජන්මියෙකු ජන්මය ලබන විට මේෂ, කටක, තුලා, මකර යන ලග්නවලින් එකක් ලග්නය වී එම රාශිවල රවි, ගුරු, ශනි, කුජ යන ග්‍රහයන් උච්චව තැන්පත් වී නම් ඔහුට හෝ ඇයට නායකත්වය ලැබීමටත් එය පවත්වාගෙන යැමටත් හැකියාව ඇත. උපදෙස් සඳහා සුදුසු පුද්ගලයන් තෝරා නොගැනීම තුළ නායකත්වයට හානි සිදුවිය හැකිය. තමා ළඟම සිටින අනුගාමිකයන්ගෙන් ප්‍රවේශම්වීමට සිදුවන්නේ අඟේ සිටන් කන, කන බැවිනි.
03. මේෂ, කටක, තුලා, මකර එකක් ලග්නය වී අනිකුත් රාශි 03 උච්චව සිටීනම් විශාල ප්‍රදේශයකට නායකත්වය ලැබිය හැකිය. එකක් ලග්නය වී දෙකක් උච්චව සිටීනම් පළාතක නායකත්වය ලැබීමට වාසනාව ඇත. එක ග්‍රහයෙක් උච්චව සහ මෙහි සඳහන් ග්‍රහයෝ එක් අයෙක් උච්ච නම් අඩු වශයෙන් ප්‍රාදේශීය සභාවක, ආයතනයක නායකත්වය දැරීමට වාසනාව ඇත.
04. සිංහ රාශියේ ගුරුද, කන්‍යා රාශියේ සෙනසුරු හා සඳුද, කුම්භ රාශියේ රාහුද උපතේ දී තැන්පත් ජන්මීන්ට නායකත්ව ගුණාංග ඇත. නායකත්වය ලබා දීමද සුදුසු වේ. එම නායකත්වය සතර අගතියෙන් තොරව අවිහිංසාවාදීව පවත්වාගෙන යැමට හැකි සෑම උත්සාහයක්‌ම ගන්නා අවංක නායකත්වයකි.
05. ධනු, මකර, කුම්භ, මීන යන රාශිවල පිළිවෙළින් ශුක්‍ර, ගුරු, රවි, කුජ යන ග්‍රහයන් උපතේ දී තැන්පත් ජන්මීන්ට ඉතා ලාබාල වියේදීම නායකත්වය ලැබීමට වාසනාව ඇත. නායකත්ව ගුණාංග සාංසාරිකව රැගෙන පැමිණ ඇති බැවින් යහපත් නායකයෙක් බවටද පත්වේ.
06. ලග්නය මීන වී එහි සඳුද ඉන්පසු මකර, කුම්භ, සිංහ යන රාශිවල පිළිවෙළින් කුජ, ශනි, රවි පිළිවෙළින් උපතේදී තැන්පත් ජන්මීන්ටද නායකත්වය ලැබීමට වාසනාව ඇත. එහෙත් තම අනුගාමිකයන් හිතෛෂීන් නොතකා හැරීම, සුදුසු අයගෙන් උපදෙස් නොගැනීමද යන හේතු මත තම වර්ගයාගේම අප්‍රසාදයට පත්වී ඉක්‌මනින් පිරිහීමට පත්විය හැකිය.
07. උත්පත්තියේ දී 05 වන භාවයේ කුජද, හය වැනි භාවයේ රාහුද, 08 වැනි භාවයේ ශුක්‍රද, 09 වැනි භාවයේ රවිද තැන්පත් ජන්මීන්ට නායකත්වයක් ලැබීමටත් එය කලක් රඳවා තබා ගැනීමටත් වාසනාව ඇත.
08. කුජ, සිංහ රාශියේ මෙන්ම රාහු මිථුන රාශියේ උපතේදී තැන්පත් ජන්මීන්ට තම පිය පස උරුමයෙන් නායකත්වයට පත්වීමට වාසනාව පෑදේ. නායකත්ව ගුණාංග ද පිහිටා ඇත.
09. ජන්මියෙකුගේ ලග්නයේත් 07 වැනි භාවයේත් 09 වැනි භාවයේත් සියලු ග්‍රහයන් උපතේදී තැන්පත් විණි නම් හෙතෙම තම වංශයට නායකයෙකු වී දක්‍ෂ පාලකයෙකු බවට ද පත්වේ.
10. තුලා ලග්නයෙන් උපත ලබා ලග්නයේ බුධද, ධනු රාශියේ කුජ සහ ශුක්‍රද මීන රාශියේ ගුරුද උපතේදී තැන්පත් විණි නම් ඔහු ආඥදායක ගතිගුණ ඇති නායකයෙකු බවට පත්වේ. සේනාධි නායකයෙකු වේ. නායකත්වය පවත්වාගෙන ගියත් නිතර සතර අගතීන්වල නියෑළෙන බැවින් අප්‍රසාදයට පත්වෙනවා සේම ඊළඟ භවය අන්ත දුක්ත තත්ත්වයට පත්වේ.
11. උත්පත්ති කේන්ද්‍ර සටහනෙහි ගුරු 05 වැනි භාවයේත්, සඳු 07 වැනි භාවයේත්, ශුක්‍ර 10 වැනි භාවයේත් තැන්පත් ජන්මීන්ට නායකත්වය ලැබීමේ වාසනාව ඇත. එහෙත් තමාට පෝෂණය වීමට සිදුවන්නේ අනුන්ගෙන් ලැබෙන දෙයකිනි. මේ නිසාම දසරාජ ධර්මයන් අනුගමනය කළ යුතුවේ. එමෙන්ම සතර අගතිවලින්ද ඈත් විය යුතුය. පන්සිල් පද 05 රැකිය යුතුය. එසේ නොවු හොත් මෙම භවයේදීම පරිහානියට පත්වෙනවා සේම ඊළඟ භවයද අන්ත දුකට පත්විය හැකිය.
12. කිසියම් ජන්මියෙකුගේ උත්පත්ති කේන්ද්‍රයේ 10 වැනි භාවයේ රවි සහ බුධද, 06 වැනි භාවයේ කුජ හා රාහුද සිටීනම් හෙතෙම සංසාරය පුරාවට නායකත්ව ගුණාංග එකතු කරමින් පැමිණෙන නායකත්ව ගුණාංගවලින් පිරිපුන් නායකයකු වන්නේය.
13. ලග්නය මීන වී එහි ගුරු ශුක්‍ර දෙදෙනාද 02 වන භාවය වූ මේෂ රාශියේ රවිද 11 වන භාවයේ කුජද සිටියදී ජන්මය ලැබූවන්ට නායකත්වය නිතැතින්ම හිමිවේ. එහෙත් එය දිගු කලක් පවත්වාගෙන යැමට හැකියාවක් නොමැත. නමුත් කිසියම් කුටුම්භයක නායකත්වය ලබා එහිද දියුණුවක් නොමැතිව පවත්වාගෙන යැමට වාසනාව ඇත. එහෙත් නායකත්ව ගුණාංග වර්ධනය කරගත යුතුවේ. එමෙන්ම පන්සිල් පද 05 වත් රැකීමට උත්සාහ ගත යුතුය.
14. ලග්නාධිපති උච්චච කුජගේ දෘෂ්ටියද සහිතව උපතේදී තැන්පත්ව නව වැන්නාධිපති තුන් වැන්නේද තැන්පත් විණි නම් එම ජන්මියා කිසියම් සේනාවකට නායකයෙක් වන්නේය. එනම් සේනාධි නායකයෙකු වන්නේය. මැති ඇමැති තනතුරු ලබා කිසියම් ප්‍රදේශයකට නායකයෙක් විය හැකිය. එහෙත් නායකත්වයට සුදුසු නොවන සප්ත අපරිහානි ධර්මයන්ගෙන් ඈත්වීමක් පෙන්නුම් කරයි. එය නායකත්වය රැක ගැනීමට මෙන්ම ඊළඟ භවයේ යහපත් ජන්මයක් ලැබීමටද බාධාවක් විය හැකිය.
15. ලග්නාධිපති බලවත්ව සිටියදී ජන්මය ලබා 09 වැනි භාවය අධිපති ග්‍රහයා කේන්ද්‍රස්‌ථානයක හෝ ත්‍රිකෝණස්‌ථානයක උච්චව හෝ ස්‌වක්‌ක්‍ෂේත්‍රව තැන්පත් ජන්මින්ද සංසාර ගමන නමැති සාගර තරණයේදී නායකත්ව ගුණාංග නමැති රළ පහර සැඩ පරුෂ භාවයෙන් තොරව ගලා ඒමට පුරුදු පුහුණුවී ඇත. එබැවින් මෙම භවයේ දී මෘදු ගති ගුණ ප්‍රදර්ශනය කරනු ලබන බෝධිසත්ව නායකයෙක් බවට පත්වීමට වාසනාව ඇත.
16. කිසියම් ජන්මියෙකු උපත ලබන විට නව වැන්නාධිපති 03 වැනි භාවය හෙවත් වික්‍රමස්‌ථානයේ උපතේ දී තැන්පත්ව ගුරු ග්‍රහයාද ශුභ දෘෂ්ටියට ලක්‌වේ නම් කුඩා ප්‍රදේශවල මෙන්ම ආයතනවල මෙන්ම සමිති සමාගම්හි නායකත්වය ලැබීමට වාසනාව ඇත. නායකත්ව ගුණාංග වර්ධනය කර ගැනීම මගින් ඊළඟ භවයේදී මීට වඩා වාසනාවන්ත නායකයකු විය හැකිය.
17. උත්පත්තියේ දී රවි ග්‍රහයා 10 වැන්නේ තැන්පත් වී ඇති අතර දස වැන්න අධිපති ග්‍රහයා සෙනසුරු සමඟ 03 වැනි භාවයේ තැන්පත් වූවෝ සැබවින්ම ලොක්‌කෙකු නොව වාසනාවන්ත නායකයෙකු වන්නේය.
18. චර ලග්න රාශියක් හෝ තිර ලග්න රාශියක් සහිතව උත්පත්තිය ලබා කුජ ග්‍රහයා උච්ච හෝ ස්‌වක්‌ක්‍ෂේත්‍ර බලයෙන් යුක්‌තව සිටින ජන්මීහු කිසියම් සේනාවකට නායකත්වය සපයයි. එහෙත් ආඥදායක ස්‌වරූපයක් ගන්නා එම නායකයා නායකයෙකුට වඩා ලොක්‌කෙකුගේ ස්‌වරූපයක් ගන්නා බැවින් සාර්ථක නායකයෙකු බවට පත් නොවේ. ගසක් ඵල දරන්න දරන්න පහළට නැමීමේ ගතිය වැඩිය. ගොයම් ගස හොඳට කිරි වැදුන පසු පහළට බරවේ. එම ගසෙන් උපරිම ඵල සමාජයට දෙන බවේ ලක්‍ෂණයක් වන්නේද එයයි. ආඥදායක නායකයෙකු මෙසේ නොවේ. එවැනි නායෙකයෙකුගෙන් වන සේවාවට වඩා හානිය වැඩිය. බොල් ගොයම් ගස කෙසේවත් නොතැවී සිටින්නාසේ එවැනි නායකත්වය මිනිසාගේ යහපැවත්මට හේතු නොවේ.
19. කිසියම් ජන්මියෙකු උපත ලබන විට තමාට උච්ච හෝ ස්‌වක්‌ක්‍ෂේත්‍ර රාශියක සෙනසුරු තැන්පත්වීම කිසියම් පළාතක හෝ ප්‍රදේශයක හෝ ආයතනයක නායකත්වය ඇත්තෙකු බිහිකරන වාසනාවන්ත ස්‌වභාවයකි. එහෙත් දුෂ්ඨ කමින් යුක්‌තය. පළිගැනීම් ෙච්තනාව අධිකව ඇත. කාමාශාවද බලවත්ය. සතර අගති කිරීමට නිතර පෙළඹේ. අනුන් සතුදේ සුළු වුවත් එයට ඊර්ෂ්‍යා කරයි. නිතර ඒවා තමාට ලබා ගැනීමට සිතයි. යහපත් නායකයකු නොවන අතර ලොක්‌කෙක් බව නිතර මෙනෙහි කරයි. පන්සිල් පද 05 වත් රැක ගැනීමට අපහසුය. ලැබුණ අවස්‌ථාවේත් ප්‍රයෝජන ගෙන යහපත් කටයුතුවල නියෑලුනේ නැතිනම් ඊළඟ භවය අන්ත දුක්ත භාවයට පත්විය හැකිය.
20. 1, 4, 7, 10 යන කේන්ද්‍රස්‌ථාන වල රාහුකේතු හැර වෙනත් එක් ග්‍රහයෙකු බැගින් හෝ තැන්පත්ව සිටීම නියම නායකත්ව ගුණාංගවලින් යුතු නායකයෙකු බවට පත්වී සමාජයේ බොහෝ දෙනකුගේ පැසසුමට ලක්‌වන කීර්තිමත් නායකත්වයක් හිමි කරගන්නා වාසනාවන්ත තත්ත්වයකි.
21. සියලුම ග්‍රහයෝ 2, 4. 8, 12 යන ස්‌ථානවල උපතේදී තැන්පත් ජන් මීන්ද නායකත්ව ගුණාංග සංසාරයෙන්ම රැගෙන එන ලද නායකයන් වන්නේය. ඔහු සැබෑ නායකයකු මිස ලොක්‌කෙකු නොවේ.
22. කිසියම් පිරිමියකු දහවල් කාලයේ පුරුෂ නැකතකින් උපත ලබා ලග්නයත්, රවිත්, සඳුත් විෂම රාශිගතව තැන්පත්ව සිටින විට මෙන්ම ස්‌ත්‍රියක් රාත්‍රි කාලයේ ස්‌ත්‍රි නැකතකින් ජන්මය ලබා ලග්නයත්, සඳුත්, රවිත් සම රාශිගතව තැන්පත්ව සිටින විට ජන්මය ලබන ජන්මින් ඉතා වාසනාවන්තය. නායකත්ව ගුණාංග සංසාරය පුරාවට වර්ධනය කරගෙන ඇත. තම වර්ගයාගේ නායකයෙකු බවට පත්වන්නේ හැල හැප්පිලි, බාදක, කම්කටොළු ආදියට මුහුණ දෙමින්ය. බල සම්පන්න නායකයෙකු බවට පත්වේ. අසත්පුරුෂ ඇසුර පිරිහීමට හේතුවිය හැකිය. තොරතුරු ලබා ගැනීමට ඇති නියම අවස්‌ථා මගහැර චරපුරුෂ සේවා යොදවා තොරතුරු ගැනීම දුර්වල කමක්‌ය. එය නායකත්වයට හානියකි. එහෙත් මෙවැනි නායකයන් රටකට, සමාජයකට අත්‍යවශ්‍ය නායකයන් බවට පත්වේ. බුදුන් වහන්සේගේ නායකත්ව මග පෙන්වීම් අනුව කටයුතු කළහොත් මෙම භවයේ දිගු කලක් යසස වැඩෙන නායකයකු බවට පත්විය හැකි අතර ඊ ළඟ භවයේ දී මීටත් වඩා යස ඉසුරෙන් සපිරි නායකයකු බවට පත්විය හැකිය.
23. නවවැන්නාධිපති ග්‍රහයා 11 වැන්නේද 2 වැන්නාධිපති ග්‍රහයා 09 වැන්නේද උපතේදී තැන්පත්ව 11 වැන්නාධිපති උපතේ දී උච්චව තැන්පත් වීම පාරම්පරිකව නායකත්ව උරුමය ලැබෙන තත්ත්වයකි. තව දුරටත් ඉගෙනීමෙහි යෙදෙමින් තම තත්ත්වය දියුණු කරගෙන නායකත්වය ලබාගෙන එම නායකත්වය රැක ගැනීමට වාසනාව ඇත්තෙකි. එමෙන්ම ලොක්‌කෙකු නොව තමා නායකයෙකු බව නිතර සිහිපත් කරන ගුණාංගය ද සපුරා වර්ධනය කරගෙන ඇත.
නායකත්වය රැක ගැනීම සඳහා බොහෝ දෙනා බොහෝ දේ කරති. චුල්ල පදුම ජාතකයේ දරුවන් සත්දෙනාම තම පියා පිටුවහල් කරන ලද්දේ නායකත්වය රැක ගැනීමට ඇති ආශාව නිසාය. නායකත්වය රැක ගැනීමට වංචා කරති. රවටති. හොරකම් කරති. මිනීමරති. මිනී මරුවන් රැක ගනිති. මොවුන් බොහෝ විට නායකයෝ නොවෙති. ලොක්‌කෝය. දන්දෙති. සිල් රකිති. භාවනාද කරති. ඒ සියල්ලල යහපත් සිතින් කළහොත් යහපත් නායකයකු විය හැකිය. සදා කාලික නමක් පවත්වාගෙන යැමට හැකිය. යහපත් සිතින් මෙම දානය, ශීලය, භාවනාව නොමැති පුද්ගලයාටද ලොක්‌කෙක් විය හැකි අතර පෙර පින් අවසන් වන විටම අනුගාමික හදවත් තුළින් ඉවත්වීමට සිදුවන්නේ කිසිවෙකුගේ සුබ සිද්ධියට හේතුවන වැඩ නොකර සතර අගතිවලින් යුක්‌ත් වී සිටි බැවිනි.
We found this article from Divaina on 2013/06/14.
Also Sinhala to English Google word to word translation can be found here