වහළ නරක නම් ගේ හොඳ වෙයිද අනේ…?

2075
වහළ
වහළ

තවමත් බොහෝ දෙනකු නිවාස ගොඩනැඟීමේදී ජ්‍යෙdතිෂ ශාස්‌ත්‍රයට හා වාස්‌තු විද්‍යාවට ගරු කරන්නේ චාරිත්‍රයක්‌ වශයෙන් පමණකි.

වසර තිහකට වැඩි කාලයක්‌ පුරා ලද අත්දැකීමෙන් අප දුටුවේ බොහෝ විට තවමත් සමහර නිවාස ගොඩනැඟීමේදී මූලික වනුයේ මේසන් බාස්‌ගේ උපදෙස්‌ බවය. කෙසේ නමුත් නිවසේ වහළ ගැසීමේ කොන්ත්‍රාත්තුව පවා ලබා ගන්නේ මේසන් බාස්‌මය. වාස්‌තු ශාස්‌ත්‍රයට අනුව නොව සමහර අවස්‌ථාවල නිවසේ අංගෝපාංග පවා වෙනස්‌ කෙරෙන්නේ මේසන් බාස්‌ගේ උපදෙස්‌ මතය. නමුත් වර්තමානයේ සිටින මේසන් බාස්‌ලා මෙන්ම වඩු බාස්‌ලාගේ වාස්‌තු විද්‍යා දැනුම අල්පය.

ඒ හේතුවෙන් නිවාසවල බොහෝ වාස්‌තු දෝෂ ඇති වේ. මෙයින් අවසානයේ පීඩාවට පත්වන්නේ ගෙහිමියාය. ඉසිවරයන් විසින් ලෝකයාගේ හිතසුව පිණිස ප්‍රකාශිත ගෙබිම් ශාස්‌ත්‍රය හෙවත් වාස්‌තු විද්‍යාවට අනුකූලව ගොඩනඟනු ලබන නිවස ගෙහිමියාට සැපදෙන බව ඉසිවර මතයයි. අද මේ ලිපියට පාදක වන්නේ නිවසේ වහළ පිළිබඳ කරුණු කිහිපයකි.

නිවසේ වහල

නිවසේ වහල එහි සුවිශේෂී අංගයක්‌ වශයෙන් සලකනු ලබයි. එසේ සලකා ඉසිවරු විසින් වහලට වෙනම න්‍යාය පද්ධතියක්‌ ප්‍රකාශ කර ඇත. එම න්‍යායන් අනුව නිවසක වහල ගැසීම සිදු කළහොත් ගෘහ හිමියාට, නිවසට පමණක්‌ නොව වඩු කාර්මිකයාටද සෙත සැලසේ.

ශුභ මුහුර්ථ

වහල ගැසීමේදී වහලේ වැඩ සඳහා පුරපස ශුභ දවසක රෙහෙන, මුවසිරස, පුෂ, හත, අනුර, මුල, තුනතුරු, රේවතී යන නැකතත් ගෘහ හිමියාට සීහුම් බලා යොදා ගැනීම ශුභය. ඒ සඳහා මධ්‍යම නැකත් වශයෙන් සැලකෙන්නේ අස්‌විද, පුනාවස, මා, සිත, සා, දෙනට, සියාවස යන නැකත්ය. තත්කාල ලග්නය වෘෂභ, තුලා වීම ශුභයි. තුලාව චර රාශියක්‌ වුවද ඉහත සඳහන් නැකත් සමග යෙදෙන විට ශුභපල දෙයි. වහළේ වැඩට තිර රාශි ඉතා ශුභය. උභය රාශි මධ්‍යමය. චර රාශි අශුභය.

ගෝධූ ලී මුහුර්ථය

දහවල් දොළහට පෙර වහලේ කටයුතු ආරම්භ කිරීම සම්ප්‍රදායික සිරිතය.

එහෙත් බොහෝ ශුභ කටයුතුවලට ප්‍රශස්‌ත යයි ජ්‍යෙdතිෂ්‍ය ග්‍රන්ථවල වර්ණනා කර ඇති සවස සන්ධ්‍යා ලග්නයත් සමග උදාවන “ගෝධූලි මුහුර්ථය” යෙන් යටලී තබා කළ පර්යේෂණද සාර්ථක වී ඇත.

ශුභ හෝරාව

1. රවි හෝරාව යටලී තැබීමටද,

2. බුධ හෝරාව පරාල ගැසීමටද,

3. කිවි හෝරාව වහල සෙවිලි කිරීමටද ශුභ බව පොතපතේ සඳහන් වේ.

බාල්ක යෙදීම

වහලක්‌ රඳවන්නේ බාල්ක මතය. මේ බාල්ක නිවසේ හරස්‌ අතට මිස දිග අතට නොදැමිය යුතුය. එසේම නිවසේ දිග පළල අනුව විසිරි පවතින ශුභ පාදයක්‌ මත බාල්කය තැබිය යුතුය. නිවසේ හරි මැද පිහිටන බ්‍රහ්ම පාදයට උඩින් බාල්කය නොතැබිය යුතුය. “බ්‍රහ්ම පාදය” යනු නිවසේ ප්‍රධාන මර්මස්‌ථානය වෙයි.

උළුවහු ජනෙල් මත බාල්කය නොතැබිය යුතුය. එසේ බාල්කය දමන උළුවස්‌ස මත යටලී පිරිද්දුමක්‌ද වුවහොත් ගෘහ හිමියාට මාරකය යෙදෙයි. එම උළුවස්‌ස මංගල උළුවස්‌ස වුවහොත් මාරක අපල ගෙන දෙයි. ජනෙල් මත මෙන්ම ජනෙල් කණු මතද බාල්කය නොපිහිටිය යුතු අතර යටලී පිරිද්දුම් හසුකර බාල්කය නොතැබිය යුතුය. ප්‍රධාන උළුවස්‌සට හෝ උළුවස්‌සකට එල්ල කර බාල්ක නොතැබිය යුතුය. බාල්කය තනි ලීයක්‌ වීම ශුභදායකය.

මුදුන් යටලීය

නිවසක මුදුන් යටලීය දැමීමද ශුභ කටයුත්තක්‌ සේ සලකා ක්‍රියාකළ යුතුයි. මුදුන් යටලීයට මූට්‌ටු 03 ක්‌ සම්බන්ධ වීම අශුභය. එමෙන්ම මුදුන් යටලීය මුදුන් බිත්ති 03 ක්‌ මත තැබීම අශුභ දායකයි.

මුදුන් යටලීයට කුරුපා 03 ක්‌ සම්බන්ධ කිරීම අශුභය. එසේ සම්බන්ධ කළහොත් ගෘහ මූලිකයාට අංශභාග වැනි රෝග හටගන්නා බව කියෑවේ. මුදුන් බිත්ති 02 ක්‌ මත තබා ඇති මුදුන් යටලීයට බිත්ති දෙක මැදිවන සේ එක කුරුපාවක්‌ තැබීම ඉතා අශුභය. මුදුන් යටලීයේ පිරිද්දුම් එවැනි තවත් පිsරිද්දුම් වෙත එල්ල නොවිය යුතුය. එසේම එම පිරිද්දුම් දොර ජනෙල් වෙත එල්ලවීමද අශුභය.

මුදුන් යටලීයට යොදන පිරිද්දුම් නිවසේ දිග, පළල අනුව යෙදෙන ශුභ පාදයක්‌ මත පිහිටවිය යුතුය. නිවසක මුදුන් යටලීයක්‌ සමග යොදන යටලී ප්‍රමාණය ඔත්තේ ගණනක්‌ වීම ශුභය. මුදුන් යටලීය මිනිසකුගේ උසට වඩා දිගින් වැඩිවිය යුතුය. එයින් කියෑවෙන්නේ මුදුන් යටලීය අඩි 06 කට වඩා දික්‌විය යුතු බවයි. මුදුන් යටලීයේ හරි මැදට පරාල නොගැසිය යුතුය. එසේ කළහොත් සිදු වන්නේ බ්‍රහ්ම පාදයට වේද දෝෂයක්‌ එල්ල වීමයි. එක නිවසක මුදුන් යටලීයක්‌ තවත් නිවසක මුදුන් යටලීයට හරි කෙළින් නොතිබීමද, මුදුන් යටලීයේ පිරිද්දුම් මත හෝ යටලීවල ඇති පිරිද්දුම් මත හෝ පරාල නොගැසීමද යහපත්ය. එමෙන්ම මුදුන් යටලීය මත එලන පරාල ඉරට්‌ටේ ගණනක්‌ විය යුතු අතර මුදුන් යටලීය හරි කෙළින් බටහිරට දිසාගත නොවිය යුතුය.

මුදුන් බිත්තියක මුදුනේ තිබෙන මුදුන් යටලීයට සමාන්තරව පහළින් දොරක්‌ ජනේලයක්‌ තැබීම මහා දෝෂයකි. එම දෝෂය ගෘහ හිමියාට මාරක පවා ඇතිකළ හැකිය.

සටහන බලන්න

අශුභ මූට්‌ටු

කාමර පිටට පැන්න වූ නිවෙස්‌වල එසේ පිටට පැන්න වූ මුදුන් යටලීයේ අග දෙපසට මූල පරාල දෙකක්‌ වදින නිසා එයට පරාල දෙකක්‌ද ගැසූ විට එය පස්‌ මූට්‌ටුවක්‌ බවට පත්වේ. එය මහා විපත් ඇති කරයි.

අශුභ කාමර

එසේම කාමර පිටට පැන්න වූ විට නිවසේ වර්ගඵලයට හානි පමුණුවමින් පොරොව හැඩද මතු කරන නිසා එබඳු නිවාස දුක්‌ කරදර, මානසික අසහන, රෝග හා ධන හානි ඇති කරයි.

පල දෙක

මුදුන් යටලීය මත වදින දෙපස වහළවල් දෙකේම දිග පළල එක සමාන නොවීමද දෝෂයකි.

සතරැස්‌ වහල

හරි හතරැස්‌ නිවාස මෙන්ම හරි හතරැස්‌ වහළයද ගෙහිමියන් දුකට පත්කරයි. එමෙන්ම ලස්‌සනම බලාගෙන නවීන විලාසිතා අනුව සාදන නිවාසවල වහළ නොයෙක්‌ අතට පන්නා හැඩකර තිබෙනු පෙනේ. මේවායේ මුදුන් යටලී, යටලී, මූල පරාල නොයෙක්‌ අතට පිහිටන නිසා මෙබඳු වහළවල් මහත් ව්‍යසන ඇති කරයි. ගෙහිමියන්ට ශෝක උපදවයි.

කුඩා පියසි

නිවස අලංකාර කරනු පිණිස කුඩා පියසි පිටට පන්නා තනනු ලබන නිවෙස්‌වල එම කුඩා පියසි අශුභ දිසාවන්ට හසුවීම නිසාද පීඩා ඇති වේ.

සීලිම

වහලට යටින් සීලිමක්‌ ගැසීමෙන් වහලේ ඇති සුළු දෝෂ ඉවත් වී ගියත්, මහා දෝෂ ඉවත් නොවේ. මහා දෝෂ ගෙහිමියන් පෙළයි.

පරණ ලී

නව නිවසකට පරණ ලී දඬු යොදා ගැනීම ඉතා අශුභය. එසේ කළහොත් එම නිවසින් ශ්‍රියාව පළා යයි. නිවසේ වැඩ කටයුතු නිතර අවුල් වේ.

වහලේ උස

නිවසක වහල බොහෝ උස්‌වද, බොහෝ පහත්වද පිහිටීම ඉතා අශුභය. එබඳු නිවෙස්‌වල භූත දෝෂ ඇති වේ.

වඩිම්බු ලෑල්ල

නිවසක වහළේ වඩිම්බු ලෑල්ල ගැසීමද ප්‍රවේශමෙන් කළ යුතුය. වඩිම්බු ලෑල්ල සවි කිරීමේදී සිදුවන වැරැදි නිසා සොහොන් පරාල දෝෂ ඇතිවිය හැකිය.

මරු ඇන

වහල ගැසීමේදී වාස්‌තු පුරුෂයාගේ වම් ඇලයට වදින ඇණණ මරු ඇණ වශයෙන් සැලකේ. ඒවා විපත්තිකර නොවන සේ යොදා ගැනීමට වගබලා ගත යුතුය.

අශුභ අවස්‌ථා

ගැබිනියක සිටින අවස්‌ථාවක නිවසේ වහල ගැසීම ඉතා අශුභය. පරණ වහලක්‌ ගැලවීම ද අශුභය. නිවසකට එකම වර්ගයේ දැවයක්‌ යොදා ගැනීම ඉතා ශුභය. නමුත් අද එසේ කළ නොහැකි තත්ත්වයක්‌ උදාවී පවතියි. එනමුත් අඩුම තරමින් දැව වර්ග තුනකින් නිවසක කටයුතු නිමා කරන්නට වගබලා ගත යුතුය. නිවසකට දැව වර්ග 03 කට වැඩිය යොදා ගතහොත් එම නිවස ගොඩනඟන්නට යොදා ගත් තත්කාල මුහුර්ථයේ නැකත් බලය විනාශ වන බව මතක තබාගත යුතුය.

කේන්ද්‍රයේ බලය

උත්පත්ති කේන්ද්‍රයේ හතර වැන්නේත්, හතර වැන්න අධිපතියාගේත්, ක්‍රි.මූ. පද්ධතියේ සඳහන් පරිදි හතර වැන්නේ උප නැකත්පතියාගේත් ශුභ පිහිටීම් මත නිවසක අශුභ පල ක්‍රියාත්මක වීම පමා විය හැකි නමුත් නිවසක පිහිටන මහා දෝෂවලින් ගෙහිමියා ආරක්‌ෂා වන්නේ කලාතුරකිනි.

We found this article from Divaina on 2013/07/14.
Also Sinhala to English Google word to word translation can be found here