ව්‍යාපාර බිඳ දමන අශුභ ගණ

3133
ව්‍යාපාර
ව්‍යාපාර

[ratings]

ගණය වශයෙන් සැලකෙන්නේ අකුරු තුනක සංකලනයකි. එසේ අකුරු තුනක්‌ සංකලනය වූ විට සෑදෙන ගණයට හීයක වේගයකින් ශුභ හෝ අශුභ පල දෙන්නට විශේෂ ශක්‌තියක්‌ ලැබෙන බව පොත පතේ සඳහන් වේ.

සෙත් කවි – වස්‌ කවි

සෙත්කවි හෝ වස්‌ කවි රචනයේ දී ගණ සංකලන යොදාගෙන මහත් හපන්කම් කළ හැකි බව ඔප්පු කර ඇත.

නමක්‌ තැබීම

දරු දැරියන්ට නමක්‌ තබන විට හෝ වෙළෙඳ ව්‍යාපාරයකට නමක්‌ තබන විට හෝ වෙළෙඳ භාණ්‌ඩයකට නමක්‌ තබන විට හෝ සුදුසු ගණ යෙදීමෙන් ඉෂ්ටාර්ථ සිද්ධිය ලද හැකිය.

ගණ යෙදීම

ශුභ පල ලැබෙන්නට ගණ කෙසේ යෙදිය යුතුද යන්න පැහැදිලි කිරීම මෙම ලිපියේ අරමුණය.

සෙත් කවි රචනයේ දී හෝ නමක්‌ තැබීමේදී පළමු ගණය සුබවී ඊළඟ ගණය අශුභ වුවහොත් සම්පත් විනාශ වේ. ආර්ථිකය බිඳ වැටෙයි. වෙළෙඳ ව්‍යාපාරයක්‌ නම් පරිහානිය ඇති වෙයි. එසේ අශුභ ගණයක්‌ යෙදුණ අවස්‌ථාවක ඊළඟට ශුභ ගණයක්‌ යොදා එම දෝෂය මඳක්‌ අඩුකර ගත හැකියි.

තුන්වන ගණය අශුභ වුවහොත්, උත්සාහය බිඳ වැටෙයි. සහෝදරයන් අතර සමගිය බිඳ වැටෙයි.

එහෙත් ඊළඟට ශුභ ගණයක්‌ යොදා ගතහොත් එම දෝෂය මඳක්‌ අඩු වේ.

සතර වන ගණය අශුභ වුවහොත් සාමය සතුට බිඳ වැටෙයි. කෝලාහල ඇතිවිය හැකිය. සෙත් කවියක්‌ නම් රචකයාටත් කාව්‍ය නායකයාටත් දුක්‌ කරදර ඇති වේ.

පස්‌වන ගණය අශුභ වුවහොත් දරුවන්ට අපල ඇති වේ. පුත්‍ර ලාභ නැති කරයි. සිහි කල්පනාව අඩු කරයි.

සත්වන ගණය අශුභ වූ විට භාර්යාව කරා දුක්‌ දොම්නස්‌ සංතාප ඇදී එයි. කාව්‍ය රචකයා අවිවාහක නම් මිත්‍රයන් ගෙන් දොස්‌ ඇති වේ.

අටවන ගණය අශුභ වූ විට ශෝක රෝග බිය ඇති වේ. අමනුෂ්‍ය දෝෂ ඇති වේ.

නව වන ගණය අශුභ වූ විට යහපත් ගතිගුණ පිරිහෙයි.

විශේෂයෙන් ගණ පිළිබඳව සෙවීම කළ යුත්තේ ඉහත සඳහන් සේ නව වන ගණය දක්‌වා පමණි.

අනිෂ්ට ගණ

අනිෂ්ට ගණ වශයෙන් සැලකෙන්නේ සූර්ය, අග්නි, වායු, ආකාශ යයි නම් කෙරෙන ගණයන්ය.

අශුභ විපාක

ඉහත සඳහන් අනිෂ්ට ගණ සතරෙන් එකක්‌ මුලට යොදා කවියක්‌ සැදුවහොත් එය වස්‌කවි ගණයට වැටෙයි.

මේ යෙදීම ව්‍යාපාරයක නමක මුලට යෙදුණහොත් ව්‍යාපාරය විනාශය කරා යයි.

මෙම අශුභතාව නැතිවීමට දෙවන ගණය ශුභ ගණයක්‌ විය යුතුය.

සෙත් කවියක නම් කාව්‍ය රචකයා ද ව්‍යාපාරයක නම් ව්‍යාපාර හිමියාද ආරක්‌ෂා වන්නේ දෙවන ගණයෙනි.

යළිත් ගණ යෙදීම

යළිත් ගණ යෙදීම ගණ තුනෙන් තුනටද බලනු ලැබේ. විශේෂයෙන් සෙත් කවියක හෝ දිග ව්‍යාපාර නමක හෝ ආරම්භක ගණයේ සිට ගණ තුනෙන් තුනට ශුභ ගණයක්‌ තිබිය යුතුය.

අශුභ ගණ යෙදී තිබුණහොත් සෙත් කවියක්‌ නම් ගොළු බව හෝ ගොත ගැසීම් ඇති වේ.

ව්‍යාපාර නාමයක්‌ නම් ව්‍යාපාරය පිරිහෙන්නට පටන් ගනියි.

සතරවන ගණය

සෙත් කවියකට හෝ ව්‍යාපාර නාමයකට හෝ ග්‍රන්ථයකට හෝ ගණ යොදන විට මුල් ගණයේ සිට යළිත් සතරෙන් සතරටද ගණ යෙදීම සලකා බලන්නට උපදෙස්‌ දී තිබේ. එසේ බැලීමේදී ආරම්භක ගණයේ සිට අශුභ ගණ සංඛ්‍යාව වැඩියෙන් යෙදුණහොත් අපහාස නින්දා විපත් ඇති වේ.

යළිත් පහෙන් පහට බැලීමේදී අශුභ ගණ වැඩි සංඛ්‍යාවක්‌ යෙදී තිබුණහොත් ණය තුරුස්‌ වැඩිවී ලාභ ප්‍රයෝජන නැති වී යයි.

ආරම්භක ගණයේ සිට නැවත හයෙන් හයට බැලීමේදී වැඩි වශයෙන් අශුභ ගණ යෙදී තිබුණහොත් සතුරු භය, අසහන රෝග ඇති වේ.

යළි අටෙන් අටට බැලීමේදී අශුභ ගණ වැඩි සංඛ්‍යාවක්‌ යෙදී තිබුණහොත් රෝග, හානි හෝ මරණ ඇති විය හැකිය.

ආරම්භක ගණයේ සිට නවයෙන් නවයට බැලීමේදී අශුභ ගණ වැඩි සංඛ්‍යාවක්‌ යෙදී තිබුණහොත් නින්දා අපහාස, සිතේ නොසන්සුන්කම, බිය ඇති වේ.

ගණ සම්බන්ධයෙන් මෙසේ ශුභා ශුභ විමසා බලන්නේ ආරම්භක ගණයේ සිට නව වන ගණය දක්‌වා පමණි.

ශුභ ගණ යෙදීම

ශුභ ගණයකින් පරව ශුභ ගණයක්‌ යෙදීමෙන් ලැබෙන ශුභ පල පිළිබඳව විස්‌තරයක්‌ “කාව්‍ය ලක්‌ෂණ මණි මාලාව” නම් ග්‍රන්ථයේ සඳහන් වේ. ඒ මෙසේය.

භූමි ගණයෙන් පරව භූමි ගණය යෙදීමෙන් ධනය වර්ධනය වේ.

භූමි ගණයට පරව දේව ගණය යෙදීමෙන් ධනය ලැබේ.

දේව ගණයෙන් පරව දේව ගණය යෙදීමෙන් ද ධනය ලැබේ.

දේව ගණයෙන් පරව භූමි ගණය යෙදීමෙන් ද ධනය ලැබේ.

භුමි ගණයෙන් පරව චන්ද්‍ර ගණය යෙදීමෙන් ජය ලැබේ.

භූමි ගණයෙන් පරව ජල ගණය යෙදීමෙන් ජය ලැබේ.

චන්ද්‍ර ගණයෙන් පරව චන්ද්‍ර ගණය යෙදීමෙන් සෙත සැලසේ.

චන්ද්‍ර ගණයෙන් පරව ජල ගණය යෙදීමෙන් නැන ගුණ බල වර්ධනය වේ.

චන්ද්‍ර ගණයෙන් පරව භූමි ගණය යෙදීමෙන් ධෛර්යය ඇති වේ.

චන්ද්‍ර ගණයෙන් පරව දේව ගණය යෙදීමෙන් ද ධෛර්ය ඇති වේ.

ජල ගණයෙන් පරව ජල ගණය යෙදීමෙන් දීර්ඝායු ලැබේ.

ජල ගණයෙන් පරව භූමි ගණය යෙදීමෙන් ධෛර්ය ඇති වේ.

ජල ගණයෙන් පරව දේව ගණය ද ධෛර්ය ඇති වේ.

ජල ගණයෙන් පරව චන්ද්‍ර ගණය යෙදීමෙන් ගුණය වර්ධනය වේ.

දේව ගණයෙන් පරව චන්ද්‍ර ගණය යෙදී මෙන් ඔද හා සෙත ඇති වේ.

දේව ගණයෙන් පරව ජල ගණය යෙදීමෙන් ආයුෂ වර්ධනය වේ.

ශුභ ගණ චක්‍රය

ශුභ ගණ චක්‍රයෙන් ශුභ ගණ තෝරාගෙන එම ගණයන්ට අයිති නැකත් තමාගේ ජන්ම නැකතට හෝ නාම නැකතට හොඳින් ගලපා ගණ වෙළෙඳ භාණ්‌ඩයකට හෝ ව්‍යාපාරයකට හෝ ග්‍රන්ථයකට හෝ නමක්‌ තබන්නේ නම් සැනසීම, සතුට, ධනය හා ආයුෂ ලැබෙන බව ඉසිවරු සඳහන් කර ඇත.

We found this article from Divaina
Also Sinhala to English Google word to word translation can be found here