විවාහය ප්‍රමාදවීමට හෝ ඉක්‌මන් වීමට බලපාන ග්‍රහ බලපෑම්

2327
විවාහය
විවාහය

අද සමාජයේ බොහෝමයක්‌ කාන්තාවන්ට නිසි වයස්‌ සම්පූර්ණවී තිබියදීත් තම විවාහ කටයුතු ප්‍රමාද වෙයි. එසේම අඩු වයසින්ද ඉක්‌මන් විවාහ කටයුතු සිදුවෙයි. ප්‍රේම සබඳතා සහ ආලය මතද යෝජනා අනුවද විවාහ කටයුතු සිදුවේ. ඇතැම් ප්‍රේම සබඳතා කඩාකප්පල් වී අවිවාහකව සිටින අයද නැත්තේ නොවේ.

ග්‍රහ මණ්‌ඩලයේ කුජ (අඟහරු) සිකුරු දෙදෙනා විවාහ කටයුතු වලට සේම ආලය ප්‍රේමය කාමාශාව ආදී කටයුතු කෙරෙහි වැඩියෙන් බලපානු ලබයි. මේ අනුව කේන්ද්‍ර සටහනේ 07 වැන්න 05 වැන්න 11 වැන්න 02 වැන්න කෙරෙහි විශේෂයෙන් අවධානය යොමුකළ යුතු වන්නේය. 07 වැන්න සහ 02 වැන්න මාරක ස්‌ථානසේම විවාහය – විවාහ ජීවිතය ගැනද කරුණු එළිදක්‌වයි. කේන්ද්‍ර සටහනේ පස්‌වැන්න, හත්වැන්න, දෙවැන්න සහ 11 වැන්න අධිපති ග්‍රහයන්ගෙන් අඟහරු සිකුරු දශා ලැබූ විටත් විවාහ කටයුතු ඉක්‌මන්විමට කරුණු සැලසෙයි. යෝග කාරකව හෝ කුජ ශුක්‍ර යෝග කාරක බලය ඇති දශාවක, අතුරු දශාවක විදශාවක මෙම ග්‍රහයන්ගේ දැක්‌ම එකතුව හෝ 07 වැන්න අධිපතියාගේ හෝ දශා අතුරු දශා විදශාවකදී විවාහ කටයුතු සාර්ථක වීමට පුළුවනි. සෙනසුරු සමග සිකුරු සංයෝගවී සිටීමෙන් විවාහය ප්‍රමාද විය හැකිය. එහෙත් ශනි දශාවක, අතුරු දශාවක විදශාවකදී නම් විවාහය සිදුවීමේ ඉඩකඩ වැඩිවන්නේය. විවාහය ප්‍රමාද කරවන්නා සෙනසුරු ග්‍රහයා වුවත් පසුව හෝ විවාහය කරවන්නාද සෙනසුරුම වන්නේය.

ඉක්‌මනින් විවාහය සිදුකිරීම සිදුවන්නේ දෙවැන්න අධිපතියා එකොළොස්‌ වැන්නෙත් 11 අධිපතියා 02 වැන්නේ යෙදීමත් නිසාය. එහෙත් මෙය සිංහ ලග්න හිමියන්ට නොයෙදෙයි. එසේම කේන්ද්‍ර සටහනේ දෙවැන්න අධිපතියා අයස්‌ථානයෙන් (11) ලග්නාධිපතියා 10 වැන්නෙත් වීමෙන්ද ඉක්‌මන් විවාහ කටයුතු සිදුවෙයි. රවි 07 වැන්නෙත් 07 අධිපතියාද සිකුරු වී සංයෝගවීමෙන්ද අඩුවයසින් විවාහය සිදුකර ගනී. මෙසේ පිහිටන්නේ නැතිව රවි 07 වැන්නේම සිටීමෙන් විවාහය ප්‍රමාද විය හැකිය. විවාහය ඉක්‌මන් කරවීමට බලපාන්නේ සඳු, කුජ, සිකුරු ග්‍රහයන් තිදෙනාගේ බල දුබල කම් අනුවය. වෘෂභ- මකර – රාශිවල කුජ සිකුරු එකට සිටීමෙන් විවාහ දිවියේ ගැටලු ඇතිකරයි. කේන්ද්‍ර සටහනේ කුජ, සිකුරු සඳු ගුරු යන ග්‍රහයන් බලවත්ව සිටීනම් එවන් අයට නියමිත කාලය තුළදී වාසනාවන්ත විවාහයන් කර ගැනීමේ අවස්‌ථාව උදාවෙයි. සිකුරු 07 හෝ 11 වීමද ඉක්‌මන් විවාහයකට හේතුවකි. සෙනසුරුට තමන් සිටින තැනින් සිකුරු සඳු පෙනීමද විවාහය ප්‍රමාද වීමට හේතුවක්‌ වන්නේය. එහෙත් සෙනසුරුට අඟහරු පෙනීමෙන් විවාහය ඉක්‌මන් විය හැකිය.

සඳු 07 සිටිවිට ලැබෙන සහකාරිය සහකරු දෙදෙනාට දෙදෙනා ගැලපෙයි. කාම ආශාව බලවත් වුවත් ඒවා පාලනය කරගනී. සිකුරු සමග කේතු සංයෝග වී සිටින විට විවාහ ජීවිතයේ සැප අඩුවෙයි. රාහු 07 වැන්නේ සිටිවිට කාම ආශා බලවත්වීම නිසා ඉක්‌මණින් විවාහ ජීවිතයට පත්වේ. නැතිනම් රහසේ කම්සැප ලබයි.

07 වැන්න අධිපතියා 11 වැන්නේ සිටිවිට ආලය ආශ්‍රය මත විවාහය සිදුකරගනී. විවාහ දිවියේ මුල් කාලය සැපවත් වුවත් කල්යැමේදී කරදර ඇතිකරයි. 07 අධිපතියා 10 සිටිනවිට ඉතාමත් වාසනාවන්ත විවාහයක්‌ කරගත හැකිය. බුධ ග්‍රහයා 07 වැන්නේ සිටීමෙන් යහපත් විවාහයක්‌ සිදුකරගනී. ගුරු 07 සිටීමද විවාහයට යහපත්ය. එහෙත් සෙනසුරු 07 සිටීම එතරම් යහපත් නැත. දරුවන් නොලැබීම හෝ අඩුවීම සිදුවේ. එසේම ශනි 07 වීමෙන් වයස්‌ගත අයකු හා විවාහය සිදුවීමට පුළුවනි. ජන්ම කේන්ද්‍රයේ සිකුරු 07 වැන්නේ හෝ 11 වැන්නේ යෙදෙන විටත් රාජ ග්‍රහයා සිකුරුගේ රාශියක සිටීමත් ඉක්‌මන් විවාහයක්‌ සිදුවීමට (සඳුගේ රාශියක) සිටීමද ඉක්‌මන් විවාහයකට හේතුවකි.

වේගයෙන් ගමන් නොකරන ග්‍රහයන් 09 සිටීම නිසාද විවාහය ප්‍රමාද වෙයි. 09 වැන්න පුණ්‍යස්‌ථානය නිසා එහි සෙනසුරු තැන්පත්වී සිකුරුට පෙනේනම් හා සිකුරු ශනිට අයත් මකර කුම්භ රාශියක සිටි විට විවාහය ප්‍රමාද කරයි. එහෙත් ශනීට අඟහරු පෙනී සිටීම විවාහය ඉක්‌මන් වීමට හේතුවකි. 07 වැන්නාධිපතියා 09 වීමෙන්ද විවාහය ඉක්‌මන් කරවයි.

We found this article from Divaina on 2013/02/15.
Also Sinhala to English Google word to word translation can be found here