විවාහ මංගල චාරිත්‍ර සහ පෝරුව විකට ජවනිකාවක්‌ නොවිය යුතුයි

3042
පෝරුව
පෝරුව

[ratings]

විවාහ මංගල උත්සවයකදී පෝරුවට හිමි වන්නේ සුවිශේෂී ස්‌ථානයන් බව කිව යුතු නොවේ. විවාහ නැකත් බහුලව යෙදෙන ඉදිරි මාස කීපය තුළ උත්සව ශාලා කල් ඇතිවම ඇණවුම් කර මංගල උත්සවය සඳහා විශාල මුදලක්‌ වැය කිරීමට විවාහපේක්‍ෂිත යුවතිපතීන් සූදානම්ව සිටී. එහෙත් මෑතකදී අපට දක්‌නට ලැබුණු මංගල පෝරු චාරිත්‍ර සිදු කරන අවස්‌ථා සකසන්නන් එම චාරිත්‍රවල සැබෑ අරුත හෝ පෝරු පිළිබඳව නිසි අවබෝධයක්‌ නැතිව කරන විකට ජවනිකා බව පෙනුණි. පෝරුවේ චාරිත්‍රවල සැබෑ අරුත පිළිබඳව සාකච්ඡා කිරීමට මෙම ලිපිය යොදා ගනිමු.

මංගල පෝරුවක්‌ මත නැගුමට ජීවිතයේම ලැබෙන්නේ එකම අවස්‌ථාවකි. දෙවැනි විවාහයකදී ඒ අවස්‌ථාව හිමි නොවේ. මව්පියන්ට කීකරුව හැදී වැඩී පිරිසිදු චරිතයක්‌ ඇතිව පත්වූ යුවතිපතීන් දෙමාපිය වැඩිහිsටි හිත මිතුරන් ඉදිරියේ මංගල පෝරුව මත අභිෂේක කරනු ලැබේ. එවැනි යුවළකට එම අවස්‌ථාව වාසනාවන්ත අවස්‌ථාවක්‌ බව කිව යුතු නොවේ.

මංගල පෝරුව දීර්ඝ අතීතයකට නෑකම් කියන බව පෙනේ. එය සිද්ධාර්ථ කුමරුන් හා යශෝධරා දේවීන් වෙනුවෙන් විශ්වකර්ම දෙවියන් විසින් කරන ලද පෝරුව සිහිපත් කරන පුරාණ කවිවලින් කියන පරිදි වසර දෙදහස්‌ හයසීයක ඉතිහාසක්‌ තිබේ. මහින්දාගමනයට පෙර මංගල චාරිත්‍ර කෙසේ වුවත් ඉන්පසුව මෙරට සිංහල විවාහ චාරිත්‍ර බෞද්ධ මුහුණුවරක්‌ ගෙන තිබේ.

මෙකල විශාල වියදමක්‌ දරා මිලට ගන්නේ ඊට පෙර මංගල ජෝඩු ගණනාවක්‌ නංවන ලද

පැරැණි පෝරුවක්‌ වීම හාස්‍යජනකය. පරණ පෝරුවක අලුත් ජෝඩුවක්‌ අභිෂේක කිරීම නොකළ යුතුය. වැඩි වියදමක්‌ නොකර ගොක්‌කොළ හෝ කඩදාසි සැරසිලි වලින් චාම් පෝරුවක්‌ නිර්මාණය කරගත හැකිව තිබේ. ඊට දක්‌ෂ කලාකරුවෝ සෑම ප්‍රදේශයකම පාහේ සිටිති.

මංගල පෝරුව

කිසිදු ප්‍රමිතියකට නැතිව කෘත්‍රිම මල්වලින්ද අලංකාර විදුලි බුබුළුවලින්ද නිර්මාණය කළද, පෝරුවක්‌ කෙසේ විය යුතුදැයි පුරාණ පෝරුවේ කියමන්වල සඳහන්ව තිබේ. එහි සතර දිශාවට දොරටු සතරක්‌ තිබිය යුතුය. සතර දිශාවේ සතර වරම් දේව රූපද, ඇත්, හංස, ලියවැල්, පලාපෙති, නෙළුම් මල් ආදී නිර්මාණවලින්ද අලංකාර විය යුතුය. පෝරුවේ වියන රවි, චන්ද්‍ර, කුජ, බුධ, ගුරු, ශුක්‍ර, ශනි, රාහු, කේතු යන නවග්‍රහ මණ්‌ඩලය ඇඳ තිබිය යුතු අතර සතර දිශාවේ කලස්‌ හතරක තබා පහන් දැල්විය යුතුය. ඒ සතර වරම් දෙවියන් වෙනුවෙනි. පෝරුව මත බුලත්, පොල්ගෙඩියක්‌, පඬුරු තබා ලදපස්‌මල් ඉසිනු ලැබේ. මේ ආකාරයටම පෝරුවක්‌ නිර්මාණය කිරීම අධික වියදම් යන කරුණක්‌ නම් ඉහත අංග සහිත චාම් පෝරුවක්‌ යොදාගැනීමේ වරදක්‌ නැත. එහෙත් ලස්‌සන පමණක්‌ සලකා පැරැණි පෝරුවක්‌ මිලට ගැනීම සුදුසු නැත. මනාලයා මනාලියගේ නිවසට ඇතුළු වන දොරටුවේ දකුණු පසින් සිටින සේ එදින ශුභ දිසාවට මුහුණලා පෝරුව පිහිටුවීම මැනවි.

පෝරුවේ චාරිත්‍ර කරවන්නා ගුණවත් පුද්ගලයකු විය යුතුය. සමහර තැන්වල චාරිත්‍ර කරවන අයට එහි සැබෑ අරුත පිළිබඳව අවබෝධයක්‌ ඇති බව නොපෙනේ. මේ අතර කටගොන්නක්‌ මත්පැන් පානය කර කටින් මත්පැන් ගඳ විහිදුවමින් පිස්‌සන් මෙන් හැසිරෙන අයද පෝරුවේ චාරිත්‍ර සිදු කරන තැන් තිබේ. තවත් විටෙක දෙපාර්ශ්වයෙන්ම දෙදෙනකු ඉදිරිපත් වී තර්ක විතර්ක කරමින් පෝරුවේ චාරිත්‍රය මහා කලබැගෑනියක්‌ බවට පත්කරන අවස්‌ථාද තිබේ. යුවතිපතින් හා දෙමාපියන් විසින් අෂ්ටක කීම සඳහා මෙවැනි පුද්ගලයන් තෝරාගත යුතු නැත. ඔහු නිති පන්සිල් වත් රකින කෙනෙකු විය යුතුය. කීමේ බිණීමේ සමත්කම් ඇති චතුර කෙනකු විය යුතුය. අවස්‌ථාවට උචිතව ක්‍රියා කළ හැකි විය යුතුය. චාරිත්‍ර කරන දින උදේ ස්‌නානය කර තෙරුවන් නමැද සුදුවතින් හෝ ඊට ගැළපෙන ඇඳුමක්‌ ඇඳ පැමිණීම වැදගත්ය. චාරිත්‍ර කිරීමෙන් පසුව වුවද මත්පැන් බී නටන අය අෂ්ටක කීමට සුදුසු අය නොවේ.

පෝරුවේ චාරිත්‍ර ගණනාවක්‌ සිදු කරන අතර ශුභ නැකතින් ශුභ දිසාව බලා පෝරුවට නැංවීම, අතපැන් වත්කිරීම, තැලිපිලි පැළඳවීම, කැවුම් කිරිබත් අනුභවය, හඟල හුරුලු මාරු කිරීම, කිරිකඩ හේලය පිදීම, ජයමංගල ගාථා හා අෂ්ටක කීම ආදී චාරිත්‍ර පවත්වා ශුභ නැකතින් පෝරුවෙන් බැස්‌සවීම ඊට ඇතුළත් වන්නේය. මේ සෑම චාරිත්‍රයක්‌ම නිකම්ම සිදු කරනවා නොව ගැඹුරු අර්ථයක්‌ සහිතවම සිදු කරන චාරිත්‍ර වන්නේය. ඒවා සිදු කරන අවස්‌ථාවලදී චාරිත්‍රයේ අර්ථය අන්‍යයන්ට පහදාදීම අෂ්ටක කියන ගුණවතාගේ වගකීමකි.

පෝරුවට නැංවීම පළමු චාරිත්‍රයයි. මෙහිදී නව යුවළ පෝරුවට නැංවීමට පෙර මනාලයාගේ වම්පසින් මනාලිය සිටුවා අනතුරුව ත්‍රිවිධ රත්නයට නමස්‌කාර කරන ගාථා හා දේවතාරාධනා කිරීම වැදගත්ය. මෙවැනි නමස්‌කාර ගාථාවක්‌ පහත පළවේ.

සම්මා සම්බුද්ධ ඥනේන

සම්මා සම්බුද්ධ දේශනා

සම්මා සම්බුද්ධ ලෝකස්‌මිං

සම්මා සම්බුද්ධ තේ නමෝ

දෙවියන් උදෙසා කියන සෙත් කවියක්‌ කීමද උචිතය. පහත පළ වන්නේ ශ්‍රී විෂ්ණු, කතරගම හා දැඩිමුණ්‌ඩ දෙවියන් උදෙසා කියන එවැනි සෙත් කවියකි.

සකල බල තෙද විපුල ගුණ ඇති කතරගම දෙවි මයුර වාහන

මෙකල සිරිලක පතළ තෙද ඇති විෂ්ණු දෙවියනි ගුරුළු වාහන

පතළ තෙද ඇති දේවතා බණ්‌ඩාර දෙවියනි අපව රැක දෙන

මඟුල් පෝරුවෙ ඇතත් දොස්‌ එය දුරැරදා මේ දෙදෙන රැක දෙන

මෙයින් පසුව යුවළ පෝරුවට නැංවිය යුතුය. මෙහිදී සෙත් පිරිත් ගාථා කීම සුබ වන අතර දෙදෙනාගේ මාමාවරුන් දෙපළක්‌ ඊට උදව් දීම සම්ප්‍රදායකි. මේ අවස්‌ථාවේ ජය සක්‌ හඬ හා මඟුල් බෙර වාදනය කිරීමද වැදගත් වේ. අතපැන් වත්කිරීම යන චාරිත්‍රය වෙස්‌සන්තර රජු සිය දරුවන් දන් දුන් අවස්‌ථාව දක්‌වා ඈත අතීතයට දිවයන චාරිත්‍රයකි. මනාලිය සරණ පාවාදෙන අවස්‌ථාවේ දෑඟිලි බැඳ අතපැන් වත් කිරීමට මාමා කෙනකු බහුලව යොදා ගත්තද ඊට වඩාත් සුදුසු වන්නේ මනාලියගේ දයාබර පියාණන් බව කිව යුතුය. අතපැන් වත් කිරීමට යොදාගත යුත්තේ පිරිත් පැන්ය. මෙකල රන් කෙන්දක්‌ ලෙස හඳුන්වන ඉතා අඩු මිලට ගත හැකි රත්‍රං පාට නූලක්‌ වෙනුවට කලින් පිරිත් කරන ලද පිරිත් නූලක්‌ වඩාත් සුදුසුය. මේ අවස්‌ථාවේද මඟුල් බෙර වාදනය කෙරේ. අෂ්ටක කියන ගුණවත් පුද්ගලයා විසින් මේ අවස්‌ථාවේ ජය පිරිත, අභිසම්භිදාන පිරිත වැනි සෙත් පිරිතක්‌ කියමින් ආශිර්වාද කිරීම මැනවි.

තැලිපිලි පැළඳවීම යන චාරිත්‍රය මගින් ජීවිතය පුරා තම ශක්‌ති පමණින් තම බිරිඳට ඇඳුම් හා ආභරණ ලබාදෙන බවට පොරොන්දු වේ. එය සැමියකුගේ යුතුකමක්‌ බව බුදුදහමද අවධාරණය කරයි. මෙහිදී මුලින්ම මනාලියට සුදු චීත්ත අන්දවන අතර එමගින් පිරිසිදු චරිතය සංකේතවත් කරයි. අනතුරුව මුදු මාල පළඳවනු ලැබේ.

හඟල හුරුලු දීම මීළඟ චාරිත්‍රයයි. මෙහිදී බුලත් මත පඬුරු (කාසි) තබා මනාලයා විසින් මනාලියට දෙන අතර ඈ විසින් එය පෝරුව මතට හෙළනු ලැබේ. නැවත මනාලිය විසින් මනාලයාට පඬුරු සහිත බුලත් හුරුල්ලක්‌ දෙයි. මේ ආකාරයට පඬුරු හතක්‌ මාරු කිරීම සිදු කෙරේ. මෙය බෞද්ධ ආර්ථික ප්‍රතිපදාව විදහා දක්‌වන චාරිත්‍රයකි. සැමියා උපයන දේ නොසඟවා බිරිඳට බාරදෙයි. බිරිඳ ඒවා ආරක්‌ෂා කර සැමියාට දිය යුතුය. කුමකටද? යුතුකම් ඉටු කිරීමටය. සිඟාලෝවාද සූත්‍රයේ එන පරිදි ගිහියකු විසින් පාර්ශ්වයන් හයක්‌ සඳහා යුතුකම් කළ යුතු වේ. මව්පියන් (පෙරදිග), ගුරුවරුන් (දකුණ), දරු පරපුර (පිටුපස), ශ්‍රමණ හෙවත් ආගම (උඩ), යහළුවන් (උතුර) හා සේවකයන් (යට) වශයෙනි. මනාලිය පඬුරු ආපසු දෙන්නේ මේ කොටස්‌ හයට හෙවත් සදිසාවට නමස්‌කාර කිරීම් වශයෙනි. උවමනා විටෙක දන්දීම පතා 7 වැනි බුලත් හුරුල්ල ආපසු දෙන්නේ නැත.

කැවුම් කිරිබත් අනුභවයද පෝරුව මතදී සිදු කරන චාරිත්‍රයකි. ඊට පෙර වතුර බඳුනක්‌ පිළිගන්වනු ලැබේ. පිරිසිදු ජලය අවර්ණය. අවර්ණ පිරිසිsදු ජලය මෙන් දෙදෙනාගේ ආදරය ද පතිවෘතව රැක ගනිමින් පිරිසිදුව තබා ගැනීමද, දුක සැප සමසේ බෙදාගැනීම හෙවත් සහජීවනයද මෙමගින් සංකේතවත් කෙරේ.

කිරිකඩ හේලය පිළිගැන්වීම් මෙයින් පසුව කෙරෙන ඉතා වැදගත් චාරිත්‍රයකි. මෙය මව් ගුණය සිහි කරමින් මනමාලියගේ දයාබර මවට කෙරෙන උතුම් පරිත්‍යාගයක්‌ බව කිව යුතුය. මේ පිළිබඳ පැරැණි කවි පෙළක්‌ පෝරුවේ කියමන්වලදී ඉදිරිපත් කෙරේ.

ඒ කවි පෙළට අනුව මවක්‌ මෙසේ කියයි.

අනෙක දුක්‌ වින්දා – පුතණුවනි දුව හන්දා

දෙතන කිරි කැන්දා – මගෙන් කොපමණ යන්ට ඇද්දා

මෙවිට මනාලයා විසින් දුවට දුන් කිරි ගැන ප්‍රශ්නයක්‌ නගන්නේ මෙසේය.

මව්තුමනි දුව හට – ඔබේ ගත ලේ කිරිකොට

දුන් ගණන හරියට – පහදා දෙන්නට හැකිවේදෝ මට

මනාලයාට නැන්දම්මා විසින් මේ පිළිතුර දෙයි.

දුවට දුන් කිරි නම් – මැනලා නැතේ මම නම්

පුතණුවනි එබැවින් – ගණන කොයි ලෙස පවසම්ද මම්

දස එකඩ මස සරි – උපන්දා සිට දුන් කිරි

කච්චියක්‌ රෙදි සරි – තෙමෙන්නට ඇත දුවට දුන් කිරි

මෙම ප්‍රකාශය සංකේතවත් කරමින් රෙදි කච්චියක්‌ මවට පිළිගැන්වූ චාරිත්‍රය එදා සිට අද දක්‌වා එයි. මෙකල ඒ සඳහා මවට සාරියක්‌ පිළිගැන්වීමට පුරුදු වී තිබුණද එය කිරිකඩ හේලය යෑයි පිළිගත නොහැකිය. අටසිල් සමාදන් වීමට වත් ප්‍රමාණවත් සුදු රෙදි සමග බුලත් හුරුල්ලක්‌ පිළිගැන්වීම මැනවි.

මවට පමණක්‌ නොව පියාටද බුලත් දී ආශිර්වාද ලබාගත යුතුය. මේ අවස්‌ථාවේ කාල වේලාව අනුව වැඩිහිටියන් කිහිප දෙනෙකුට බුලත් දී ආශිර්වාද ලැබීම සුදුසුය.

ජයමංගල ගාථා කීම කුඩා බාලිකාවන් ලවා සිදු කෙරේ. මෙහිදී කාලවේලාව ගැන සලකා ජයමංගල ගාථා දෙක තුනක්‌ කියා අවසන් කළද ගාථා සියල්ල කිව හැකි නම් වඩාත් උචිතය. අෂ්ටක කීම අත්‍යවශ්‍යය. එහෙත් අසන්නන්ට තේරෙන සිංහල භාෂාව යොදා ගැනීම නොතේරෙන පාලි, සංස්‌කෘත කියනවාට වඩා ගැලපේ. පිරිත් හා සිංහල කියමන් මගින් කාටත් තේරෙන ලෙස සහ අලංකාරව පෝරුවේ චාරිත්‍ර සිදුකළ හැකිය.

ශ්‍රී විෂ්ණු අෂ්ටක, යශෝධරා අෂ්ටක, දළදා අෂ්ටක, නාරායන අෂ්ටක, මණිභද්‍ර අෂ්ටක හා නාමාෂ්ට ශතක ස්‌තෝත්‍ර හා නවග්‍රහ ස්‌තෝත්‍ර ද මේ සඳහා අවස්‌ථානුකූල යොදාගත හැකිය.

ඡායාරූප ගැනීමට මෙකල මංගල උත්සවවලදී හිමි වන්නේ අද්විතීය ස්‌ථානයකි. එහෙත් මේ චාරිත්‍ර විධිවලට බාධා නොකර අවශ්‍ය ඡායාරූප ගැනීමට තරම් ඡායාරූප ශිල්පියා දක්‌ෂ විය යුතුය. සමහර මංගල උත්සවල දක්‌නට ලැබෙන්නේ ඡායාරූප ගැනීමක්‌ නොව චිත්‍රපටයක්‌ රූපගත කරන බවකි. එය කනගාටුදායකය.

තවද පෝරුවේ චාරිත්‍ර සිදු කරන විට එය බලා සිටින නෑයන් හා හිත මිතුරන්ද ඊට සහාය දිය යුතුය. ජංගම දුරකථන, හඬන කුඩා දරුවන් බොහෝ විට බාධා කරන නිසා ඒවා වළක්‌වාගත යුතුය. ජයමංගල ගී කියන විට අන් අයද ඊට එක්‌වීම වරදක්‌ නොවේ. තම හද පත්ලෙන් නැගෙන උණුසුම් සුබපැතුම් නව යුවළ කෙරෙහි පැතිරවීම මේ අවස්‌ථාවේ හිත මිතුරන්ට කළ හැකි අගනා කටයුත්තකි. අවසන් චාරිත්‍රය වන්නේ යුවළ පෝරුවෙන් බැස්‌සවීමයි. මෙහිදී ද ජය සක්‌ හා මඟුල් බෙර වාදනය, සෙත් පිරිත් කීම සිදුකෙරේ. පෝරුවෙන් බහින විට පොල්ගෙඩියක්‌ බිඳීමේ චාරිත්‍රයක්‌ද පවතී. එය ගණ දෙවියන් උදෙසාය.

උක්‌ත කරුණු පිළිබඳව අවධානය යොමුකර කටයුතු සංවිධානය කර ගන්නේ නම් උසස්‌ ලෙස පෝරුවේ චාරිත්‍රය නිමකර ගත හැකිවනු ඇත. භවතු සබ්බ මංගලම්

We found this article from Divaina
Also Sinhala to English Google word to word translation can be found here