සියලු දෙයින් ජය ලබන්න සරස්‌වතී දැහැන මෙන්න

143
සරස්‌වතී

සියලු ශිල්ප ශාස්‌ත්‍රයනට මෙන්ම ලලිත කලාවනට අධිපතිත්වය දරන්නා වූ දෙවඟන සරස්‌වතිය වේ. ධාරණ ශක්‌තිය, ඥනය, නුවණ පහලවීමට සරස්වතී දේවියගේ ඇල්ම බැල්ම අපට නිරතුරුවම මහෝපකාරී වන බව පුරාණයේ සිටි සෘෂිවරු මෙන්ම අපේ මුතුන් මිත්තන්ද කියා ඇත. ඒ බව

“ලද යම් කෙනෙක්‌ සරසවි බැලුම සක්‌ නිසී
කොතරම් වුවත් මුළු කෙරෙති අත වැසී”

යමෙකු සරසවි දෙවඟනගේ මඳ බැල්මක්‌ හෝ ලබන්නේනම් හෙතෙම මුළු ලොව යටත් කර ගැනීමට තරම් සමතකු වන බව ගිරා සංදේශයෙහි සඳහන් වේ.

සරස්‌වතී දේවිය උදෙසා පුද පූජා පැවැත්වීම

සංගීත නැටුම් ආදී සියලු කලා ශිල්ප මෙන්ම අධ්‍යාපන කටයුතු ආරම්භයේදී සරස්‌වතී දේවිය උදෙසා පුද පූජා පැවැත්වීම ස්‌තෝත්‍ර ගායනය පෙර කල සිට අද දක්‌වාම පැවත එන්නාවූ සිරිත් අතර ප්‍රධානය. විශේෂයෙන්ම කුඩා දරුවන්ට අත්පොත් තැබීමේදී සරස්‌වතී දේවියට පුද පූජා තබා ඇයගේ ආශිර්වාදය පතන්නේ ඥනය වර්ධනය කරගත් පුද්ගලයා ඇවිදින පුස්‌තකාලයකට සමාන වන බැවිනි.

සරස්‌වතී

ශිල්ප ශාස්‌ත්‍රයනට මෙන්ම අපගේ එදිනෙදා කාර්යයක්‌ සර්වප්‍රකාරයෙන් ඉෂ්ට සිද්ධ කරගැනීම සඳහා භාවිත කළ හැකි ඉපැරණි පුස්‌කොළ පොතකින් උපුටා ගන්නා ලද සරසවි දෙවඟන ඉතාප්‍රිය අති ප්‍රබල “සරස්‌වතී දැහැන” නැකත පාඨක ඔබ වෙනුවෙන් මෙලෙස ඉදිරිපත් කරන අතර භක්‌තිමත්ව ඇය ඉදිරියේ මෙම දැහැන නියමිත වාර ගණන ගායනා කිරීමෙන් ඔබගේ සර්ව කාර්ය සිද්ධිය උදාකරගත හැකිවනු ඇත.

ශාරීරික මෙන්ම මානසික වශයෙන්ද පිරිසිදුව පිරිසිදු ඇඳුමින් සැරසී දිනපතා මල්, පහන්, පැන්, සුවඳ දුම් පූජා කර බුදුන් වැඳ සෙත් පිරිත් සඡ්Cධායනය කර දෙවියන්ට පිං අනුමෝදන් කිරීමෙන් අනතුරුව සරස්‌වතී දේවියගේ පිළිරුවක්‌ තබා දැඩි භක්‌තියෙන් හා විශ්වාසයෙන් යුතුව එතුමිය වෙනුවෙන් සඳුන්තෙල් පහනක්‌ දල්වා රෝස පැහැති සුවඳ හමන අරලිය වැනි මල් වර්ගයක්‌ හෝ සොයා ගැනීමට අපහසුනම් සමන්පිච්ච, ගැටපිච්ච ආදී මල් පූජා කරන්න. කපුරු හා සුවඳ කූරු දල්වා අෂ්ඨ ධූපය සකස්‌කර එයින් දුම් අල්ලා ඔබගේ සුබ සිද්ධිය ප්‍රාර්ථනා කරමින් මෙම අති ප්‍රබල සරස්‌වතී දැහැන 3,7,21 ආදී වශයෙන් ඔබට හැකි වාර ගණනක්‌ ගායනා කරන්න.

ස්තෝත්‍රය

ඕං නමෝ සරස්‌වතී තුය්හම් වරදේව කාම රූපිනී
විද්‍යාරම්භං කරිස්‌සාම් සිද්ධිර් භවතු සම්බදු
ඕං සරස්‌වතී නමෝ විද්‍යා – සර්ව දේවි නමෝනමඃ
ඕං සත්තරූපී සර්වධාරී – සර්වඥති නමෝ නමඃ
ඕං නිත්‍යපාන නිලධාරිනී කාලාඩී නමෝ නමඃ
ඕං අද්දිවාදී ජපධාරී – චන්ද්‍ර බිම්බ නමෝ නමඃ
ඕං ශිවා යෝගිනි සිවානන්දී – සිවඥානි නමෝ නමඃ
ඕං සර්වකාරී සිපොච්වාරි – සර්ව ලෝකී නමෝ නමඃ
ඕං ඉති සරස්‌වතී නේත්‍රම් සමානං සිද්ධි සර්ව

විද්‍යා ධාරනේස්‌වාහඃ

එලෙස නියමිත වාර ගණනින් සරසවි දෙවඟන වැඳ නමස්‌කාර කර ඇය සතුටට පත්කරවා ඔබ බලාපොරොත්තු වන යහපත සිතේ තබා ගනිමින් එය ඉටුකරදෙන මෙන් ඉල්ලා සිටින්න. ඔබ ජය ලබනවා සත්‍යයි. ඉන්පසු මෙලෙස ඉල්ලා සිටින්න.

අපරිමිත දයා කරුණාවෙන් යුක්‌තව මේ නරලොව සත්වයන් වෙත නැණ නුවණ ප්‍රදානය කරමින් සර්ව සෞභාග්‍යය යහපත උදාකර දෙමින් වැඩ වාසය කරන්නා වූ ශ්‍රී සරස්‌වතී දිව්‍යාංගනාවන් වහන්ස ඔබගේ මඳ බැලුම් ලැබූවන් තරම තිරම කෙතරම් වුවත් මුළුලොව අතවැසි කරන්නේද නිතර දෙවේලේ සිහිකරන්නේද ඔබගේ ගුණ බලමහිය ස්‌තෝත්‍ර මන්ත්‍ර, ගීතා දිය ගායනා කරන්නන්ගේද පිහිටපතා එන්නන්ගේද සියලු අභිමතාර්ථ මස්‌තකප්‍රාප්ත කරදෙන බව සත්‍යවාදීය සැබෑය. එකී සත්‍යානුභාව බලයෙන් අදත් ඔබතුමිය ඉදිරියේ මල් පහන් සුවඳදුම් පූජාකර වන්දනාමාන කර පිං පෙත් අනුමෝදන්කර පිහිට බලාපොරොත්තුවන මා අතින් දැන හෝ නොදැන යම් වරදක්‌ සිදුවී ඇත්නම් ඒ කෙරෙහි අනුකම්පාවෙන් ඒ සියල්ලට සමාවී පිනට පිහිටවී දොහොත් මුදුනේ තබා කියා සිටින්නා වූ කන්නලව්ව දිවනෙතින් බලා දිවකනින් අසා මොහොතින් මොහොතට පැයෙන් පැයට දිනෙන් දිනට සාර්ථක කරදී සන්තුෂ්ටිය වර්ධනය කරදී සකලාභිමතාර්ථයන් ඉෂ්ඨකරදී සුබසෙත ශාන්තිය උදාකර දෙන සේක්‌වා··

We found this article from Divaina on 2014/05/04.