ජීවිතයම අතින් බලමු

5531
කුජ තලාව
කුජ තලාව

අත බලා දෛවය කියන හැටි 01

අනාදිමත් කාලයක සිට පැවත එන හස්‌ත රේඛා ශාස්‌ත්‍රය විද්‍යාවේ හා තාක්‍ෂණයේ දියුණුවත් සමග විද්‍යානුකූලවම විෂයක්‌ ලෙස බොහෝදුරට ඉදිරියට පැමිණ ඇත. කෙනෙකුගේ අතක මුළු ජීවිතයම සටහන් වී ඇති බැව් කීවොත් එය නිවැරැදිය. සමුද්‍ර නම් සෘෂිවරයා විසින් ලොවට හඳුන්වාදුන් සාමුද්‍රික ශාස්‌ත්‍රය හෙවත් හස්‌ත රේඛා විද්‍යාව අද ලොව හැමතැනම පිළිගැනීමට ලක්‌ව ඇති බව රහසක්‌ නොවේ.

භාරතයෙන් ඇරැඹි මෙම සුවිශේෂ විද්‍යාව මේ වනවිට බෙහෙවින් ජනප්‍රිය වූ විෂයයක්‌ බවට පත්ව ඇත. අතක්‌ පරික්‍ෂා කිරීමේදී පුරුෂයෙකුගේ දකුණු අත්ලත් ස්‌ත්‍රියකගේ නම් වම් අත්ලත් පරික්‍ෂා කළ යුතු බව ඇතැමුන් තුළ මතයක්‌ පවතින නමුත් තවත් තැනක දැක්‌වෙන්නේ පුරුෂයෙකුගේ වම් අත වැඩි භාවිතාවක්‌ වන්නේ නම් වම් අතද ස්‌ත්‍රියකගේ දකුණු අත වැඩි භාවිතාවක්‌ වන්නේ නම් දකුණු අතද පරික්‍ෂා කළයුතු බවය. කෙසේ වුවද බොහෝ දෙනෙකුගේ මතය වී ඇත්තේ ස්‌ත්‍රී, පුරුෂ භේදයකින් තොරව වම සහ දකුණු අතද පරික්‍ෂා කළ යුතු බවය. දකුණු අතින් ප්‍රායෝගික දක්‍ෂතා අනුව ලබාගත් වෙනස්‌කම්ද වමතින් තමා උපතින්ම ලත් සහජ දක්‍ෂතාවයන්ද පිළිබිඹු වෙයි. අතක්‌ පරික්‍ෂා කිරීමේදී මුල්ම පියවර වන්නේ එම අත කුමන වර්ගයට අයත් අතක්‌දැයි නිගමනය කර ගැනීමය. පොදු සම්මතය අනුව අත් වර්ග හතක්‌ ඇති බව සඳහන් වේ.

1. මූලික හස්‌තය

2. චතුරශ්‍රාකාර හස්‌තය

3. කාර්මික හස්‌තය

4. දාර්ශනික හස්‌තය

5. කලා හස්‌තය

6. චෛතසික හස්‌තය

7 මිශ්‍ර හස්‌තය

ආදී වශයෙනි.

අපේ අතක අල්ල ප්‍රධාන වශයෙන් කොටස්‌ දෙකක වෙන්කර ඇත. ඒ මානසික හා භෞතික කොටස්‌ වශයෙනි. මෙම කොටස්‌ දෙක වෙන්කර හරි මැදින් ශීර්ෂ රේඛාව පටන්ගනී. එහි උඩ කොටස මානසික වශයෙන්ද පහළ කොටස භෞතික කොටස වශයෙන්ද සැලකේ. මෙම කොටස්‌වලට අයිති රේඛාවන් පිළිබඳව විස්‌තර කරන්නට පළමු වර්ග හතකට අයත් අත් පිළිබඳව සාකච්ඡා කරමු.

මූලික හස්‌තය

මිනිසාගේ පරිණාමය වානරයාගෙන් බව ඉතිහාසයෙහි සඳහන් වෙයි. එවැනි නොදියුණු තත්ත්වයක සිටි මිනිසාගේ පරිණාමය ඔහුගේ හස්‌ත ලකුණුවලින්ද සටහන් වෙයි. වානරයාගේ විකාශනයෙන් බිහිවූ මිනිසාගේ මුල්ම අවධිය මූලික හස්‌තයෙන් මූර්තිමත් වේ. මූලික අත්වල අල්ල මසින් පිරුන බවක්‌ ඇත. පිට අත්ලත් තද බවක්‌ පෙන්වන අතර පිට අල්ල පුරාම රළු ලොම්වලින් යුක්‌තය. පුංචි මහපටගිල්ලකින් යුතු වන අතර එය ශක්‌තිමත් මහත එකක්‌ වෙයි. කෙටි නියපොතු පිහිටීම හා රේඛා අඩුවීම විශේෂ ලක්‍ෂණ වේ. මූලික හස්‌තවල පිහිටන්නේ ජීවන, හෘදය හා ශීර්ෂරේඛා පමණකි. හැම රේඛාවක්‌ම ගැඹුරු බවක්‌ පෙන්වන අතර එම රේඛා දුඹුරු පාට වර්ණ වේ. ගතිගුණ වශයෙන් සම්මත මිනිසුන්ගේ ගතිගුණවලට වඩා වෙනස්‌ වෙයි. ඉතාම සුළු දෙයකට පවා කෝප සහගත වීමත්, දරුණු සිත් ඇතිවීමත් ඔවුන්ගේ චරිතයේ විශේෂ ලක්‍ෂණයකි. ඕනෑම දුකක්‌ වේදනාවක්‌ විඳ දරා ගැනීමේ ආත්ම ශක්‌තියක්‌ ඇති ඔවුන් කය වෙහෙසා කරන වැඩවලට අති දක්‍ෂකමක්‌ පෙන්වයි. අධික කාමාධික බවින් යුත් මූලික හස්‌ත හිමියන් පහත් රුචිකත්වයක්‌ ඇති අයවෙයි. විචාර බුද්ධියද කල්පනා ශක්‌තියද අඩු මෙවැනි අත් හිමියන්ට ඉතා හොඳ මතක ශක්‌තියක්‌ පිහිටයි. ජීවනෝපාය මාර්ග පිළිබඳ කටයුතුවලදී මෙවන් පුද්ගලයන් මනා ක්‍රියාශීලීත්වයක්‌ දක්‌වයි. බොහෝ අයට කළ නොහැකි, කිරීමට අපහසු කටයුතු ඉතා සාර්ථක ලෙස ඉටු කිරීමට සමත් වෙයි. මහළුවියට එළඹුනද ඔවුන්ගේ ඉන්ද්‍රියන් දුර්වල වෙන්නේ ඉතා අඩුවෙනි. නිර්මාණාත්මක ජීවිතයක්‌ නොව යාන්ත්‍රික ජීවිතයක්‌ ගෙවන්නට යොමුවන මූලික හස්‌ත හිමියන් අතෘප්තිකර ජීවිතයක්‌ ගත කරයි.

චතුරශ්‍රාකාර හස්‌තය

හතරැස්‌ හැඩයෙන් යුක්‌තවන අතර අතෙහි අතුල් තලය පවා බැලු බැල්මට හතරැස්‌ ස්‌වභාවයක්‌ පෙන්වයි. අත්ලේ දිග පලල සමානව වගේ පෙනේනම් එය චතුරශ්‍රාකාර හස්‌තයක්‌ විය හැක. චත්‍රරශ්‍ර අත්වල ග්‍රහ මණ්‌ඩල (ඇඟිලිමුල ප්‍රදේශය) සෑදි ඇත්තේත් තද මාංශපේශි වලිනි. මූලික අත්වලට වඩා දීර්ඝවූත්, බලවත්වූත් මහපට ඇඟිල්ලක්‌ පිහිටීම, නියපොතු චතුරශ්‍රාකාර වීම, මහපට ඇඟිල්ලේ නිය පිහිටා ඇති පුරුක එම ඇඟිල්ලේම දෙවෙනි පුරුකට වඩා දීර්ඝවීම ආදිය විශේෂ ලක්‍ෂණ වෙයි. චතුරශ්‍රාකාර අතක කුජතලාව (අල්ලේ මැද) වළ නොගැසෙන අතර හොඳින් වැඩී ඇත. මූලික අතට වඩා මෙම අතෙහි රේඛා වැඩිය. ශීර්ෂ රේඛාව ආරම්භ වන්නේ ජීවන රේඛාවටද සම්බන්ධ වෙමිනි. චතුරශ්‍ර අත් හිමියන් සෘජු අදහස්‌ ඇති අය බැවින් බොහෝ විට අන්‍යයන්ගේ ගෞරවයට පාත්‍රවෙයි. ධනයට වඩා බලයට ගරු කරයි. බල තණ්‌හාවෙන් යුතු අයෙක්‌ ලෙසද හැඳින්විය හැක. සමාන ගතිගුණ ඇත්තන්ට වඩා ලැදි වෙයි. නීතිය මෙන්ම රාජකාරියද අකුරට ක්‍රියාක්‌මක කරන්නෙකු බැවින් ඉහළ නිලධාරීන්ගේ ප්‍රසාදයට ලක්‌වේ. චතුරශ්‍රාකාර අත්හිමියන්ගේ සිතුම් පැතුම් කථා විලාශය ආදී හැම එකක්‌ම තර්කානු කූලය. කායික ආශාවන් වලට වඩා අධ්‍යාත්මික ප්‍රේමය අගය කිරීම ඔවුන් තුළින් දැකිය හැකි විශේෂ ලක්‍ෂණයක්‌ වේ.

We found this article from Divaina on 2013/07/21.
Also Sinhala to English Google word to word translation can be found here