අයුක්‌තියට – අසාධාරණයට අකමැති සිංහ ලග්නයෙන් උපන් ඔබ ගැනයි මේ

1889
සිංහ
සිංහ

ග්‍රහ මඬුල්ලේ රජු වශයෙන් සැළකෙන රවි ග්‍රහයා හෙවත් ග්‍රහලොව පියාට අයත් රාශියකි. තේජෝ ගුණයෙන් යුතු පුරුෂ රාශියක්‌ වන මෙය රවි ග්‍රහයා අධිපතිත්වය දරන එකම රාශිය ද වේ. ග්‍රහ මණ්‌ඩලයේ දී මෙකී රාශියට අයත් තරුපෙළ සිංහයකුගේ ස්‌වරූපයෙන් දිස්‌වන බැවින් මෙම රාශිය සිංහයකුගේ රූපයෙන් සංකේතවත් කෙරේ.

කෲර රාශියක්‌ මෙන්ම ස්‌ථිර රාශියක්‌ වූ මෙම ලග්නයෙන් උපන් අය සිංහයකුට සමාන එඩිතර ගතියක්‌ පෙන්නුම් කරයි. තමාගේ තීරණ මතම හිඳිමින් සෘජුව වැඩ කරන ගුණවත් බවින් යුතු වූවන් වුවත් දැඩි ආඩම්බර ගති පැවතුම්වලින් යුක්‌ත වේ.

අසමසම වූ චිත්ත ධෛර්යයක්‌ද දැඩි ආත්ම ශක්‌තියක්‌ද, නොපසුබස්‌නා උත්සාහවන්ත බව සහජයෙන්ම උරුම වූ සිංහ ලග්නයෙන් උපත ලද්දෝ කිසිම වෙලාවක අන් කෙනකුට දෙවැනි වන්නෙකු නොවේ. එඩිතර බවත්, චිත්ත ධෛර්යයත් නිසා ජීවිත කාලය තුළ බොහෝ ප්‍රශ්නවලට මුහුණදීමට සිදු වූවත් ඒ කිසිවක්‌ හමුවේ පසුබට නොවීම තුළ ජයග්‍රහණය ලබන්නේය. බියෙන් සැකෙන් තොරව ඕනෑම බැරෑරුම් කටයුත්තක්‌ අභියෝගයක්‌ බාර ගැනීමට ඉදිරිපත් වීම නිසා තමා හමුවේ පැන නගින සියලුම බාධක ජීවිතයේ සාමාන්‍ය දෙයක්‌ බවට පත්කර ගනී.

කටහඬෙන් මෙන් ම කතා ශෛලියෙන්ද, ක්‍රියා වෙන්ද අන්‍යයන් අවනත කර යටහත් පහත්ව තබාගැනීමට හැකියාව පවතින අතර හැම විටම ඒ සඳහා ක්‍රියා කරයි. කොතැනකට ගියත් එහිදී කැපී පෙනෙන්නට උත් සාහ කරන මොවුන් හැම විටම නායකත්වය උදා කරගනී.

අයුක්‌තිය අසාධාරණයට කිසිසේත් අකමැති බැවින් ඊට එරෙහිව ඕනෑම තැනක ඕනෑම අයෙකු සමග අභියෝග කරමින් සටන්වදියි. තමන් වෙත පැවරෙන ඕනෑම වගකීමක්‌ රාජකාරියක්‌ අකුරටම ඉටුකිරීම මොවුනගේ විශේෂ ලක්‌ෂණයක්‌ වන අතර තමන්ගේ

වැරදි විවේචනය කිරීම නොඉවසයි. කිසිවෙකු වරදක්‌ පෙන්වා දුන් විට එය පිළිගැනීමට මැළිකමක්‌ දක්‌වන අතර බාල්දුවීමක්‌ ලෙස සලකා තම මතයම නිවැරැදි බව සනාථ කරමින් කටයුතු කරයි. එම ගතිගුණ හා නොනැමෙන සුළුÊබව නිසා කොතරම් හොඳින් ජීවත් වුවත් දෝෂාරෝපණයට ලක්‌ වේ. හිතාමතා උඩඟු බවින් හා ආත්මාර්ථකාමීව කටයුතු කිරීමට පෙළඹීම නිසා නොසිතූ ලෙස පිළිකුලට ලක්‌වේ.

දැඩි ලෙස අනවශ්‍ය බලාපොරොත්තු සිතේ තබාගෙන ඒවා ඉටුකර ගැනීමට වෙහෙසේ. තමා සතු සම්පත් කොතරම් වැඩි වුවද කිසිදු අවස්‌ථාවක එයින් සෑහීමකට පත් නොවේ. අතේ සතේ නැති වුවද කෙසේ හෝ රජවීමට උත්සාහ දරන්නෝ වෙති. ස්‌ථිර සාර ගතිගුණ හේතුවෙන් වාසි ලබනවා මෙන්ම සතුරු කරදරද බොහෝ ඇතිකර ගනී. ආගිය තැන ප්‍රධානත්වය ලැබීමේ වාසනා ගුණය ඇති සිංහ ලග්නකරුවෝ තමන් සතු වාසනා ගුණය මත ජීවිතය අති සාර්ථක වීමත්, එසේ නොවුවහොත් ජීවිතය ඉතා අසාර්ථක වීමත් යන කාරණා දෙක තුළ දෝලනය වන්නන් වේ.

තම ආත්ම ගෞරවය දිවි දෙවැනිකොට සලකන හෙයින් තමන්ගේ චරිතයට හානියක්‌ කැළලක්‌ වන කිසිම දෙයකට මුල් වන්නේ නැත. දැඩි ආත්ම ශක්‌තිය හා චිත්ත ධෛර්යය නිසා නිතර නිතර අදහස්‌ වෙනස්‌ නොකරයි. තමන් සතු යුතුකම් නිසි ලෙස ඉටු කරන මොවුන් ගෞරවය ප්‍රසිද්ධිය පමණට වඩා අපේක්‍ෂා කරයි.

දියුණු වීමේ දැඩි ආශාවක්‌ සිතෙහි නිතරම පවතින අතර සිතූ යමක්‌ කිසිදු අයුරකින් වෙනස්‌ නොකරයි. හේතුවක්‌ ඇතිව හෝ නැතිව තමන් පිළිබඳව අභිමානවත් බවින් පසුවෙයි. කුමන කටයුත්තක්‌ කළද එය අන්‍යයන්ට වඩා හොඳින් කිරීමට තරම් තරගකාරී සිතුවිලිවලින් පෙළෙන අතර කුමක්‌ කළත් එය හොඳින්ම කළේ තමා යෑයි සිතමින් ආත්ම වර්ණනාවක යෙදෙයි.

කෙනෙකුට තමාගෙන් වරදක්‌ නොවීමට හැමවිටම වගබලා ගන්නා සිංහ ලග්න හිමියෝ අන්‍යයන් වෙතින් තමාට සිදුවන සුළු වරදක්‌ පවා දැඩි ලෙස සලකා සිතේ ධාරණය කර ගනිමින් අවස්‌ථාව උදාවූ විට එය ආයුධය කොටගනී. සමාව දීමේ ගතිය මොවුන් ළඟ නැති තරම් වේ. තම ජීවිතය ගැනත්, ජීවිතයට සම්බන්ධ පුද්ගලයන් ගැනත් ඉතා තීක්‌ෂණ ලෙස කල්පනා කර හරි හෝ වැරැදි වේවා තම අභිමතය පරිදිම තීන්දු තීරණ ගනී. දුක්‌ කම්කටොලු විඳ දරා ගැනීමේ ගුණය හිමි නිසා ඒ කිසිවක්‌ දුකක්‌ ලෙස නොසිතයි.

තියුණු නුවණක්‌ උපතින්ම හිමි මොවුන් ඉතාමත් බුද්ධිමත් වේ. ඕනෑම විෂයක්‌ ඉගෙනීමට දක්‌ෂ වෙයි. පොත පත කෙරෙහි දැඩි අවධානය යොමුකිරීම විශේෂ ලක්‌ෂණයකි. විදේශගතව අධ්‍යාපනය ලැබීමේ වාසනාවද හිමිය. ලේඛන කලාවට විශේෂ හැකියාවක්‌ ඇති නිසා ඒ තුළින් බොහෝ ජයග්‍රහණ ලබයි. ලැබෙන හැම දෙයක්‌ම කියවීම මොවුන් සතු විශේෂ ලක්‌ෂණයකි.

ඉංජිනේරු ශිල්පය, පරිගණක තාක්‍ෂණය, අධිකරණ, වෛද්‍ය විද්‍යාව, කළමනාකරණය, අලෙවිකරණය හා චිත්‍ර, නැටුම්, සංගීත ආදී කලා විෂයන්ට විශේෂ දක්‌ෂතා දක්‌වන්නෝය. ඊට අමතරව මන්ත්‍ර ශාස්‌ත්‍ර කටයුතු කෙරෙහිද දක්‌ෂ වන අතර සිහි කල්පනාවෙන් යුක්‌තව ක්‍රමානුකූලව එකී කටයුතු සිදු කරන්නෙකු වේ.

අඹුදරුවන්ට සෙනෙහස ආදරය දැක්‌වූවද බොහෝ විට එය ඔවුනට නොපෙන්වයි. ඔවුන්ට තමන්ගෙන් සිදුවිය යුතු යුතුකම් සොයා බලා ඉතා හොඳින් ඒවා ඉටුකර දෙයි. තමන්ට ආධාර උපකාර කරන ඥතීන් මිතුරන් ආදී ඕනෑම කෙනකුට ප්‍රති උපකාර කිරීමට පසුබට නොවේ. එහෙත් තමා විසින් සකස්‌ කරගන්නා සැලසුම් රාමුවට නීති පද්ධතියට ඒ හැම අයෙක්‌ම ගරු කළ යුතු බවත් ඒ අනුව කටයුතු කළ යුතු බවත් අවනත විය යුතු බවත් සිතයි.

දැඩි තීක්‍ෂණ බුද්ධිය නිසා පෙම් සබඳතාවලදී නොරැවටේ. කෙනෙකුට ආදරය කරන්නේ ඉතාමත් ප්‍රවේශමෙනි. දෙමව්පිය ආශිර්වාදය මැද විවාහ වීම අපේක්‍ෂා කරන මොවුන් ආදරවන්තයාගේ, ආදරවන්තියගේ ආදායම් තත්ත්වය හා රැකියාවේ ස්‌වභාවය පිළිබඳ විශේෂ ලෙස සලකා බලයි. සිංහ ලග්නයෙන් උපන් අයට විවාහය සඳහා සිංහ හෝ ධනු ලග්න හිමියකු වඩාත් යෝග්‍ය වන අතර ඒ තුළ ගැටුම් අවම සාර්ථක ප්‍රීතිමත් විවාහ දිවියක්‌ ගත කිරීමේ වාසනාව උදාවේ. බඩගිනි ඉසිලීමට දක්‍ෂ, පමණට ආහාර ගන්නා මොවුන් තම සෞඛ්‍ය පිළිබඳ සැලකිලිමත් වුවත් හෘද රෝග, කොඳු ඇට ආශ්‍රිත රෝග හා වකුගඩු රෝගවලට භාජන වීමේ ඉඩකඩ වැඩි වේ.

තමාගේ තීන්දු වෙනස්‌ නොකිරීමත්, තමාගේ මතයම ක්‍රියාත්මක කිරීමට යැමත් අහංකාර බවත් සිංහ ලග්න හිමියන්ගේ දුර්වලතා ලෙස පෙන්වාදිය හැකියි.

We found this article from Divaina on 2013/07/21.
Also Sinhala to English Google word to word translation can be found here