ග්‍රහ අපල හමුවේ මුළා නොවන්න නම්…

1919
ග්‍රහ අපල
ග්‍රහ අපල

[ratings]

මනුෂ්‍යයන් ලෙස උපදින සියලු දෙනාම දුක උරුම කරගෙන උපදින්නෝ වෙති. සුවිසල් මාළිගයක වාසය කරන සක්‌විති රාජ්‍ය පාලකයාගේ සිට පිදුරු සෙවිලි කළ පැල්පතේ වාසය කරන යාචකයාටද මේ තත්ත්වයට මුහුණ දෙන්නට සිදුවේ. වැඩි වශයෙන් ධනය සහ පිරිවර ලැබෙන විට රාජ්‍ය ලාභ හිමිවන විට සුබ පල සහිත කාලයක්‌ ලෙසද මේ සියල්ල අහිමි වන විට අසුබ පල සහිත කාලයක්‌ ලෙසද සැළකේ.

ජ්‍යොතිෂ් ශාස්‌ත්‍රඥයකු නොවුණද පොදුවේ සියලු දෙනාටම තමා උපන් ලග්නය සහ වේලාව ගැන අවබෝධයක්‌ ඇත. ඒ අනුව යම් ග්‍රහයෙක්‌ දෙනු ලබන ආයුෂ ප්‍රමාණය ඒ ග්‍රහයාගේ දශාව ලෙසද, සෑම ග්‍රහයෙක්‌ම තමාගේ ගුණයන් සහ දෝෂයන් නිසා සුබ සහ අශුබ ඵල උදාකරන බවද අවබෝධ කරගත හැකි වෙයි. කිසියම් ග්‍රහයෙක්‌ ස්‌වඋච්ච, ස්‌වමිත්‍ර, ස්‌වකීය රාශිය සහ නවාංශකය තුළ සිටින විට එම ග්‍රහයාගේම දශාව පවතී නම් සුබ පල උදාවෙයි. යම් ග්‍රහයෙක්‌ සතුරු නීච රාශි ගතව රවි ග්‍රහයාට ආසන්නව පවතී නම් අසුබ ඵල උදා වෙයි. සියලු දෙනාම සැප යයි සිතා විඳින දුක්‌බර තත්ත්වයන්, දුක නිසා උරුම වූ වේදනාවත් මඟහරවා ගැනීමක්‌ මිස මේ තත්ත්වයෙන් මඟහැර යන්නට කිසිවකුට හැකියාවක්‌ නැත. මෙම තත්ත්වයන්ට හේතු වන කරුණු අවබෝධ කරගැනීමෙන් අපල හමුවේ මුලා නොවී සඵල දිවි පෙවෙතක්‌ ගත කරන්නට හැකි වෙයි.

රවි ග්‍රහයා ශුභ වූ විට උපත ලබන තැනැත්තා විශ්වාසවන්ත බුද්ධිමත් යහපත් වචන කතා කරන ප්‍රසන්න පෙනුමක්‌ ඇති මනා සංයමයෙන් යුක්‌ත අයෙකි. පිත් කෝප රෝග ඇති වෙයි. සඳු ග්‍රහයාගේ සුබ පළ ලබන අය ඉක්‌මනින් සසල වන ගති ඇති සන්සුන් ගති ඇති ඉගෙනීමෙහි දක්‌ෂ, පැහැදිලි කල්පනා ශක්‌තිය උරුම කරගනී. සෙම්, පිත් රෝගවලින් පීඩා විඳියි. කුජ (අඟහරු) ග්‍රහයා සුබවාදීව උපදින අය සටන්කාමී වෙයි. නිර්භීතය. හපන්කම් පෙන්වීමට කැමැති අනතුරුදායක ක්‍රියාවන්ට ආශා කරයි. ලේ දෝෂ, පිත් කෝප රෝගවලින් පීඩා විඳියි. බුධ ග්‍රහයා සුබ ලෙස හිමිව උපත ලබන අයට මධ්‍යස්‌ථ ශරීරයක්‌ හිමිවෙයි. නිතර සිනාසෙයි. ක්‍රීඩාවන්ට ඇළුම් කරයි. විවිධ ශාස්‌ත්‍රවල දස්‌කම් දක්‌වයි. විෂ සහිත රෝගවලට ගොදුරු වෙයි. ගුරු ග්‍රහයා සුබවාදීව උපදින අය වගකීම් දැරීමට සුදුස්‌සෝ වෙති. ප්‍රෙෘඪ කටහඬක්‌ හිමි වේ. සෙම් රෝග බහුල වෙයි. ඉගෙනීමට දක්‌ෂ වෙයි. සිකුරු ග්‍රහයා සුබව උපත ලබන අය පොදු කටයුතුවලට කැමැත්තක්‌ දක්‌වයි. කරුණාවන්තයි. විශ්වාසදායකයි. ලාමක ගතියෙන් යුක්‌ත වෙයි. ශනි සුබවාදීව උපදින තැනැත්තා ඝන වූ රෝමවලින් යුක්‌ත ශරීරයක්‌ ලබයි. ගැඹුරු නිශ්චල කල්පනා ඇත්තෝය. වාත, සෙම්රෝග බහුල වෙයි.

මේ ආකාරයට ග්‍රහයන්ගෙන් සුබ පල උදාවන්නට මෙම ජන්මීහු පෙර උපන් භවයන්හි පංචශීලය ආරක්‌ෂා කරමින් දස කුසලයන්හි නිරත වෙමින් ජීවත් වූ පුණ්‍ය බල මහිමය හේතුවී ඇත. මේ තත්ත්වය වඩාත් පැහැදිලි වන්නේ රවි, සඳු ප්‍රධාන නවග්‍රහයන් අශුභ ලෙස උපත ලබන අයගේ ගති ලක්‌ෂණ අනුවය. රවි ග්‍රහයා අශුභ වූ විට පරම්පරාවෙන් උරුම වන දේපළ විනාශ කරයි. නිරර්ථක අදහස්‌ ගරු කරයි. අධික ලෝභයෙන් යුක්‌තයි. අනුන්ගේ සත්පුරුෂ ගති යටපත් කොට තමන් සතු නොවන යහගුණ මවා පෙන්වයි. චන්ද්‍ර ග්‍රහයා අශුභ වූ විට පහත් ගතියෙන් යුක්‌තය. පහත් වෘත්තීන්හි නිරත වෙයි. කුජ අශුභ වූ විට කෙළෙහි ගුණ නැති කෲර ගති ඇති වෙයි. දරුණු ක්‍රියාවල නිරත වෙයි. බුධ ග්‍රහයා අශුභ වූ විට අපැහැදිලි කල්පනා ඇති අප්‍රසන්න රූපයක්‌ හිමිවෙයි. වාචාල ගති ඇති වෙයි. දුසිරිත්හි යෙදෙයි. ගුරු ග්‍රහයා අශුභවාදී වන විට කෙළෙහි ගුණ නොදන්නා, අහංකාර, නොතේරුම් වැඩ කරන නැති දක්‌ෂතා පෙන්වීමට උත්සාහ කරන ගති ඇති වෙයි. සිකුරු ග්‍රහයා අශුභ වූ විට කාමයෙහි වරදවා හැසිරෙන, නොසන්සුන් ගති ඇති වෙයි. ශනි ග්‍රහයා අශුභවාදී වූ විට ඊර්ෂ්‍යාකාරී අදහස්‌ ඇති, පහත් අදහස්‌ ඇති, අනුන් මුළා කරන ගති ඇති වෙයි.

ග්‍රහයන් සුබ ඵල දෙන විට සතුටින් ඒ යහපත රඳවා ගැනීමටත් අසුබ ඵල දෙන විට ඒ දුෂ්ට ඵල මැදහත් සිතින් මඟහැර වන්නටත් මේ කරුණු පිළිබඳව මනා අවබෝධයක්‌ තිබිය යුතුය. සුබ ඵල රඳවා ගැනීම ඉතා පහසු කාර්යයකි. සිංහල බෞද්ධයන් ලෙස මංගල සූත්‍රය, පරාභව සූත්‍රය සහ මෙත්තානිසංස සූත්‍රය පැහැදිලිව කියවා තේරුම් ගැනීම ප්‍රමාණවත්ය. දුෂ්ඨ ඵල මඟහරවා ගැනීම සඳහා නිරතුරුවම ඉඩ ලැබෙන පරිදි සත් ක්‍රියාවන්හි නිරත විය යුතුය. ප්‍රතිපත්තිගරුක විය යුතුය. පංචශීලය ආරක්‌ෂා කිරීමට දැඩි ලෙස අධිෂ්ඨාන කරගත යුතුය. තමන් සතු සිල්වත් ගුණය කලදසාව යහපත් කර ගැනීමට සත්‍ය ක්‍රියාවක්‌ වන්නේ ඒ අනුවය. ප්‍රතිපත්ති හීන වන විට දුෂ්ඨ ඵල තව තවත් බියකරු වීම වළක්‌වාගත හැකි කිසිදු පියවරක්‌ද නැත. හීන වූ පිළිවෙත් නිසා ග්‍රහ අපල හමුවේ තව තවත් මුළා වීමටම සිදු වේ.

ග්‍රහ අපල හමුවේ මුළා නොවන්න නම් පළමුව තමන් ආරක්‌ෂා විය යුතුය. අයහපත් මාර්ගවලින් ධනය උපයාගෙන ඒවායින් ආහාරපාන ගැනීම නොකළ යුතුය. තමන්ගේ ජීවිතය හානිවීම, අන්සතු දේ පැහැර ගැනීම, එය වසන් කිරීමෙන් බොරු කීම නිසා දුෂ්ඨ ඵල පසුපස හඹා එයි. ග්‍රහ අපල ආරම්භය ඒ අනුව සිදු වෙයි. පසුපස හඹා එන ග්‍රහ අපල මඟහරවා ගැනීමටත්, වර්තමානයේ පමණක්‌ නොව සසර උපදින තෙක්‌ උපද්‍රවයන් ගෙන් තොරව ආරක්‌ෂා වීමටත් හේතුවන සාරධර්ම දියුණු කළ යුතුය. එයින් සාර්ථක ප්‍රතිඵල ලැබේද යන්න අත්දැකීම් අනුව තහවුරු කරගත යුතුය.

ඉහත සඳහන් සටහන පැහැදිලිව සටහන් කරගෙන නිතරම දර්ශනය වන ස්‌ථානයක තබාගෙන මෙනෙහි කිරීමෙන් සාර්ථක ප්‍රතිඵල ලැබිය හැකිද යන්න පිළිවෙත් ගරුක සැමටම අවබෝධ කරගත හැකියි. එය සම්මා වායාමයක්‌ද වනු ඇත. ග්‍රහ අපල හමුවේ මුළා නොවන යහපත් කල්පනාවක්‌ද වනු ඇත. එපමණක්‌ නොව බලගතු යන්ත්‍රයක්‌ද වනු ඇත.

බුදුගුණ භාවනාව (- (බුද්ධානුස්‌සති)

මම නිරතුරුවම බුදුගුණ මෙනෙහි කරමි. මම නිරතුරුවම ධර්මයේ ගුණ මෙනෙහි කරමි. මම නිරතුරුවම සංඝරත්නයේ ගුණ මෙනෙහි කරමි. ත්‍රිවිධ රත්නය කෙරෙහි ඇති කරගත් ප්‍රසාදයෙන්, ගෞරවයෙන් මම නමස්‌කාර කරමි. බුදුගුණ භාවනාව වැඩීමෙන් ජීවිතයේ වාසනා ගුණ ඔපවත් වන බව මම දනිමි. ඕනෑම බලවේගයක්‌ යටපත් කළ හැකි යහපත් බලවේගය බුදුගුණ භාවනාව බව මම දනිමි.

2. මෛත්‍රී භාවනාව

මගේ ශක්‌ති ප්‍රමාණයෙන් මම අන් අයට උදව් කරමි. මම කරන උදව් වෙනුවෙන් ඒ අයද මට උදව් කරත්වා යි මම කිසි විටක නොසිතමි. ප්‍රාර්ථනා නොකරමි. මම කරන උදව් වෙනුවෙන් ඒ අය මා කෙරෙහි ඇති කරගන්නා ප්‍රසාදය, ගුණය මට ලැබෙන ප්‍රති උපකාරය ලෙස සළකමි. මා කළ උපකාරයෙන් අන් අයට යහපතක්‌ සිදු වේවා යයි සිතා මම සතුටු වෙමි. අන් අයට උදව් කිරීම සසර පුරාම ඵල ලැබෙන කුසලයක්‌ බවද එයින් සර්ව ආරක්‌ෂාව සැළසෙන බවද මම දනිමි. ඉවසීමේ ගුණය පුරුදු වීමට වාසනා ගුණය සැලසීමට හේතුවන බවද මම දනිමි.

3. අශුභ භාවනාව

නිතර නිතර කය පිළිබඳව මම සිහිපත් කරමි. මෙසේ සිහි කිරීමෙන් මගේ කය මනාසේ පවත්වා ගැනීමට ලැබෙන මානසික වූද කායික වූද මගේ ආරක්‌ෂාවට හේතුවන බවද මම දනිමි.

4. මරණානුස්‌සති භාවනාව

මා සතු යුතුකම්, වගකීම් නිවැරැදිව හඳුනා ගනිමි. ඒවා මට හැකි පමණින් ප්‍රමාද නොවී මම ඉෂ්ඨ කරන්නෙමි. මෙය සංසාරය පුරාම ජීවිතය ආරක්‌ෂා වන බලගතු කුසල බලයක්‌ බවද මම දනිමි.

We found this article from Divaina on 2012/04/20.
Also Sinhala to English Google word to word translation can be found here