ග්‍රහ ලොව සෙන්පති ඔබේ ජීවිතයට කරන බලපෑම්

0
724
ග්‍රහ
ග්‍රහ

ජ්‍යෙතිෂයේදී ග්‍රහ මඩුල්ලේ සෙන්පතියා ලෙස හඳුන්වනු ලබන කුජ ග්‍රහ තාරකා අතරින් පෘථිවියට සමාන ගති ලක්‍ෂණ ඇති එකම ග්‍රහ තාරකාව ද වේ. පෘථිවියට ඉතා ළංව සිටිනා තරමේද එයය. ජ්‍යෙතිෂයේ කුජ පාප ග්‍රහයකු ලෙස සලකනු ලබයි. එහෙත් මනුෂ්‍යයාගේ ධෛර්යය, ශක්‌තිය, නිර්භීත ක්‍රියාවන්ට ඉදිරිපත්වීම හා ඊට ඇති ආශාව ආත්ම විශ්වාසය සටන්කාමිත්වය, තීක්‍ෂණ අවබෝධය, විවාද ශක්‌තිය ආදී උසස්‌ ගති ගුණවලට කුජ ග්‍රහයා ප්‍රධාන වේ.

කුජ ලග්නයෙහි හෙවත් පළවැනි කොටුවෙහි සිටියදී උපන් අය ධෛර්යවන්ත වෙයි. සටන්කාමිත්වය සියලු කටයුතු පාලනය කිරීම, විවාද ආදියට මුහුණදීම ආදී ගුණවලින් යුක්‌ත වේ. නොඑසේ නම් තමාගේ ලෞකික දියුණුව පිණිස ධනය රැස්‌කිරීමට පෙලඹෙයි. කුජ ලග්නයෙහි ඇති අය බොහෝ විට දරුණු විපත්තිවලට මුහුණපායි. දරුණු මරණවලට ද ගොදුරු වේ. හිසට අනතුරු බොහෝ විට සිදුවේ. මරණය දක්‌වා පසු නොබසින තද හිතක්‌ ඇති මොවුන් මැරී වැටෙනතුරු සටන් කිරීමට පෙලඹෙයි.

කුජ දෙවැන්නේ සිටියදී උපන් අය කෙසේ හෝ මුදල් ඉපයීමට උත්සාහ ගනී. වියදම් කිරීමේදී ද ලෝභකමක්‌ නැත. බොහෝ විට මොවුන්ගේ වචනයට අන්‍යයෝ ගරු කරති. එසේම ඔවුන් යටත් වෙති. දෙකේ කුජ සිටින අය වචනයෙන් වැඩගන්නා වැඩ කටයුතුවලට දක්‍ෂ වෙති. යහපත් දරුවෝ ලබති. හොඳට හිටියොත් හොඳ ගති වැඩ කරන්නාක්‌ මෙන්ම නරකට හිටියොත් නරක ගති වැඩි කරයි. මුහුණෙහි කැළැල් මතුවන තුවාල සෑදෙයි.

කුජ තුන්වැන්නට වඩා බලවත් වේ. එසේ උපත ලබන ඔවුන් හැම දෙයකින්ම දක්‍ෂතා පෙන්නුම් කරන අතර මනා හික්‌මීමකින් ද යුක්‌ත වෙයි. යුද කටයුතුවලින් ජය ලබා රාජ්‍ය බුහුමන් ලැබීමට ද දක්‍ෂයෝ වෙති. ප්‍රසිද්ධ කෙනෙක්‌ වෙයි. වික්‍රමස්‌ථානගත කුජ වික්‍රමය දෙයි. කුජ තුනේ සිටියදී එකොළොස්‌වැන්නේ පාපයෙක්‌ සිටී නම් භාර්යාවට සුභ නොවේ. අසනීපවලට හේතු වෙයි.

කුජ හතරවැන්නට වඩා යහපත් තැනක්‌ නොවේ. මෙලෙස උපන් අය සමඟ ස්‌වකීය නෑදැයෝ විරුද්ධ වෙති. මවුපිය පාර්ශ්වයේ දේපළ නැති නාස්‌ති වෙයි. නැතිනම් අවුල් සහගත වේ. ඉතා තද මුරණ්‌ඩු ගතිගුණ ඇති කරයි. ජීවිතයේ පසු කාලය අධික කරදර සහිතයි. කුජ බලවත්ව හතරේ සිටියොත් වඩා සුභඵල ලැබෙයි.

කුජ පස්‌වැන්නේ නම් ලැබෙන දරුවන් අකීකරු අය වෙති. පහේ කුජ මනුෂ්‍යා කාමුක කරයි. උත්පාදන ශක්‌තිය වැඩි කරයි. රහස්‌ අසනීපවලට පවා ගොදුරු වේ. බුද්ධිය හීන කෙනෙක්‌ වෙයි. ඉගෙනීම අතරමඟ කඩාකප්පල් කදර ගැනීමට ද ඉඩ ඇත. ප්‍රීති උත්සව වැනි දේට වියදම් කර අනවශ්‍ය පරිදි මුදල් නාස්‌ති කරයි. කුජ පහේ සිටින අය එක භාර්යාවකගෙන් තෘප්තිමත් වන්නේ කලාතුරකිනි.

කුජ හයට ද බලවත් ස්‌ථානයක්‌ වෙයි. කුජ හයේ සිටින අයට සතුරන් නැත. මනා ශරීරයකින් යුත් අයෙක්‌ වේ. ආමාශයේ පවතින රෝගවලට හේතු වේ. ආහාරවලට ඔවුන් වඩා ප්‍රියතාවයක්‌ දක්‌වයි. අවංක හදවතක්‌ හිමිය. ස්‌ත්‍රීන්ගේ කේන්ද්‍රයේ හයේ කුජ සිටීම ශුභ නොවේ. ගබ්සාවීම්, අමාරු දරු ප්‍රසූත ආදියට හේතු වේ.

කුජ හත්වැන්නේ සිටියදී උපන් අය බොහෝ විට නියම වයසේදීම හෝ ඊටත් කලින් විවාහ දිවියට ඇතුළත් වේ. ගුරු ශුක්‍ර ආදී ශුභ දෘෂ්ටියක්‌ නොලැබ කුජ හතේ නීචව අශුභ අවස්‌ථාවක සිටියොත් දික්‌කසාද වීමට හෝ වෙන්වීමට හෝ කාලත්‍රයාගේ මරණයට හේතු වෙයි. කෙසේ හෝ හතේ කුජ සිටින විට ස්‌ත්‍රීන්ගේ ස්‌වාමිපුරුෂයා තේජවන්ත වීර්යවන්ත කෙනෙක්‌ වෙයි. ස්‌වාමිභක්‌තිය ඉතා අධික වේ. ස්‌ත්‍රීන්ගේ හතේ කුජට වඩා පුරුෂයන්ගේ හතේ කුජ පිහිටීම අසුභ අතට බලපවත්වයි. මහ ජන විරෝධ තාවලට මුහු ණපෑමට සිදුවේ රෝගී වේ.

කුජට මාරක ස්‌ථානය වූ අටේ සිටීම භයානක වේ. බාල කාලයේ මියයන යෝග කීපයක්‌ම කුජ අටේ සිටින අයට යෙදේ. කවදා හෝ දරුණු මරණයකට මුහුණදීමට සිදුවේ. බොහෝ විට හදිසි අනතුරුවලින් ශල්‍යකර්මවලින් හෝ වැඩිකල් දුක්‌ නොවිඳ ක්‍ෂණිකව මැරෙන අසනීපවලින් මරණය සිදුවිය හැක. වස්‌තු, සම්පත් ලැබීම හීන කරයි. දායාද හෝ අන්‍යයන්ගේ දේපළ ලැබීම අපහසුය.

කුජ නවයේ සිටීම අසුභ නොවේ. කුජ නවයේ සිටින්නාත් ලෞකික වශයෙන් දියුණු වෙයි. නවයේ සම්බන්ධය ශ්‍රමණ බ්‍රාහ්මණයන් හා ගුරු දෙගුරුන් ද වැඩිහිටියන් ද වෙයි. කුජ නවයේ සිටි විට මනුෂ්‍යයා ආගම පිළිබඳ භක්‌තිය අඩු ශ්‍රමණ බ්‍රාහ්මණයන් හට ගරු සරුවක්‌ නොදක්‌වන ගුරු දෙගුරුන්ට අකීකරු වැඩිහිටියන්ට නොසලකන කෙනෙක්‌ වෙයි. විශේෂයෙන් පියාගේ අදහස්‌වලට විරුද්ධ වේ. දීර්ඝ ගමන්වලදී අනතුරුවලට ලක්‌වීමට ඉඩ ඇත. ජ්‍යෙdතිෂ ශාස්‌ත්‍රයට ඇලුම් කරයි. පුද පූජාවලට වැඩි කැමැත්තක්‌ දක්‌වති.

දහවැන්න කුජ ග්‍රහයාට ඉතාමත්ම බලවත් ස්‌ථානයයි. දහවැන්නේ සිටි කුජගේ මහ දශාව ලැබුවොත් නොවරදවාම සියලු යස ඉසුරු ගෙනදෙයි. දහවැන්නේ කුජ සිටින අය උසස්‌වීමේ අධික ආශාව ඇත්තෝ වෙති. රජවරුන්ගේ කේන්ද්‍රවල කුජ දහයේ සිටියහොත් එම දශා කාලයේදී අලුත් රාජ්‍ය අයිති කර ගනී. කුජ දහයේ සිටින අය මහත් ආඩම්බර කාරයෝ වෙති. කුජ මහ දශාව ගෙවන අයට බොහෝ ඉඩකඩම් ද හිමිය. බලවත්ව සිටියොත් සාමාන්‍යයෙන් නොසිතිය හැකි තරමට උසස්‌ වේ.

කුජ එකොළොස්‌වැන්නේ සිටියදී උපන් අයට මිතුරන් අඩුයි. ඔවුනට පොළොවෙන් ලැබෙන මිනිරන්, මැණික්‌ ආදී ඛනිජ වස්‌තූන් ලැබීමට වාසනාව ඇත. වැවිලිවලට ද සුභයි. එකොලහේ කුජ ව්‍යාපාර කටයුතුවලට නම් යහපත් නොවේ. කුජ එකොළහේ සිටින අය වැඩිමහල් සහෝදරයන් සමඟ වැඩි සම්බන්ධතාවයක්‌ නැති කෙනෙක්‌ විය හැක. ගොවිතැනින් හා වැවිලි කර්මාන්තයෙන් ද වැඩි ආදායම් ලබයි.

කුජ දොළොස්‌ වැන්නේ නම් වැරදි දේවලට පෙලඹෙයි. හදිසි අනතුරු, බන්ධනාගාරගත වීමි. සතුරන්ගෙන් හා සතුන්ගෙන් පීඩා පියාගේ සහෝදරයන් සමඟ හෝ ඔවුන්ගේ දරුවන් සමඟ ආරවුල් හා පාදවල දරුණු තුවාල ආදිය ඇති කරයි. කුජ මහ දශාව ලැබුවොත් නඩු හබවලට පටලවයි. එමගින් සියලු ධනය වියදම් වේ. ඇස්‌ද දොළහට සම්බන්ධව පවතී. දොළහේ කුජ හිසේ ඇසේ තුවාල ද ඇති කෙරේ.

කුජ ග්‍රහයාගේ අපලය සඳහා කොළොන් පැලයකට රතු රෙද්දක්‌, රතු මල්, තැඹිලි තෙල් පහනක්‌, රතු සහල් බත්, බුලත් 9 ක්‌ සහ පඬුරු 09 ක්‌ මේවා පූජා කරන්න. අඟහරුවාදා දිනවලදී උදේ 7-9 ත් අතර පූජාව තබන්න. රතු මැණික්‌ ගලක්‌ පූජාවට තබා එය පසුව මුද්දක්‌ සාදා අත පළඳින්න.

We found this article from Divaina on 2013/07/14.
Also Sinhala to English Google word to word translation can be found here