අනාගතය පිළිබඳ බලාපොරොත්තු රාශියක් ඇතිව අතිනත ගන්නා නව යුවතිපති දෙපළක් අනවශ්‍ය ගැටලු රාශියක් ඇතිකර මහත් වෙහෙසක් දරා අවසානයේ ණයකරුවන් බවට පත්කරන විගඩමක් බවට විවාහ මංගල උත්සවය පරිවර්තනය වෙමින් තිබේ. එබැවින් විවාහ මංගල උත්සවයකට සූදානම් වන තරුණ දූ දරුවන්ටත්, ඔවුන්ගේ මව්පියන්ටත් වැදගත් යෑයි හැඟෙන කරුණු කිහිපයක් මෙම ලිපියෙන් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙමු.
කල වයස පිරුණු දරුවන්ට සුදුසු විවාහයක් කරදීම සෑම මවක හා පියකුගේම යුතුකමක් බව බුදු දහමේද සඳහන්ය. තමන්ගේ හිත දිනාගත් තරුණයා හෝ තරුණිය සමග අතිනත ගැනීමද සියලු පෙම්වතුන්ගේ ඒකායන අපේක්‌ෂාව බව අමුතුවෙන් කිව යුතු නොවේ. එහෙත් මේ අහිංසක බලාපොරොත්තුව ඉටු කෙරෙන විවාහ මංගල්‍යය දුරදිග බලා සැලසුම් නොකළොත් බොහෝ ගැටලුවල ආරම්භය එයම වනු ඇත.
විවාහයට ජ්‍යෙdතිෂය සම්බන්ධ වන අවස්‌ථා දෙකක් තිබේ. ඉන් පළමුවැන්න නම් පොරොන්දම් පරීක්‌ෂාවයි. දෙවැන්න විවාහ උත්සවයට අදාළ සුබ නැකත් සෑදීමයි. පොරොන්දම් පරීක්‌ෂාව යනු අපේක්‌ෂිත දෙදෙනා කොතරම් දුරට ගැළපේද යන්න පරීක්‌ෂා කිරීමයි.
එහෙත් මෙකල වසර කිහිපයක් පෙම්වතුන් ලෙස ඇසුරු කළ අය පොරොන්දම් පරීක්‌ෂාවට මැලිකමක් දක්‌වන බව දැකිය හැකිය. එවැනි අයගේ මව්පියන්ද පොරොන්දම් නොබලාම විවාහ නැකත් සෑදීමට ඉදිරිපත් වනු දක්‌නට ලැබේ. පොරොන්දම් ගැළපුණේ නැතිනම් විවාහය ප්‍රතික්‌ෂේප කෙරෙනු ඇතැයි මෙම පෙම්වතුන් බියක් ඇති කරගෙන තිබීම ඊට හේතුවයි.
එසේ වුවද වසර හත අටක්‌ම ඇසුරු කළ පෙම්වතුන් පවා විවාහ වී ටික කලකින් අඬදබර හෝ අනියම් සබඳතාවලට පෙළඹීමේ හේතුව පොරොන්දම් නොගැළපීම බව අපට ප්‍රත්‍යක්‌ෂ වී තිබේ. සියයට සියයක්‌ම ගැළපෙන යුවළක් දැකීම ඉතා අසීරුය. නමුත් වැඩියෙන් ගැලපීම අත්‍යවශ්‍යය. නොගැළපෙන කරුණු ගැන කල් ඇතිව දැන ගැනීමත් ඒ අනුව ජීවිතය ගැඩ ගසාගත හැකි වීමත් පොරොන්දම් පරීක්‌ෂාවෙන් ලැබෙන විශේෂ ප්‍රයෝජනයකි. ඕනෑම ගමනක් මෙන්ම ජීවන ගමනද කල් ඇතිව අවබෝධයක් ලබාගෙන පිටත්වීම ඉතා සුදුසුය. අනාගත සහකරු ගැන පූර්ණ අවබෝධයක් ලබාගැනීමට වෙනත් ක්‍රමයක් නැත.
ජ්‍යෙdතිෂය සම්බන්ධ වන දෙවැනි අවස්‌ථාව විවාහ නැකත් සෑදීමයි. කල්ඇතිව දින වකවානු තීරණය කර ගෙනම නැකත් බැලීමට පැමිණීමද මෙකල පුරුද්දක් බවට පත් වෙමින් තිබේ. විදේශයක සිට නම් සමීප ඥතිවරයකු ලංකාවට පැමිණෙන කාලය විවාහයට ගත යුතු යෑයි බොහෝ අය ඉල්ලා සිටිති.
කුමක් වුවද සියලුම නැකත් සාදනු ලබන්නේ යමෙකු උපන් වේලාවට සාදනු ලබන ජන්ම පත්‍රය පදනම් කරගෙනය. විවාහ නැකත් සෑදීම වඩාත් අසීරු වන්නේ එක් අයකු නොව දෙදෙනකුටම ඉතා හොඳින් ගැළපෙන දිනයක් හෝ තෝරාගත යුතු බැවිනි. මනාල මහතාගේ පාර්ශ්වයෙන් නැකත් සාදා මනාලියගේ පාර්ශ්වයට ඉදිරිපත් කිරීම පුරාණ චාරිත්‍රයයි. එහෙත් මනාලයාට පමණක් ගැළපෙන ලෙස නැකත් සෑදීම ඉතා අශුභය. ඇත්ත වශයෙන්ම මනාලිය තම මව්පියන් පමණක් නොව නිවසද අතහැර දමා සැමියාගේ නිවසේ ඉතිරි ජීවිත කාලයම ගත කිරීමට යන බැවින් විවාහ නැකත් මනාලියට ගැළපීම අත්‍යවශ්‍ය බව කිව යුතු වේ. නැකත් බැලීම කල්ඇතිව කළ යුතුය.
විවාහ නැකත් පංතියක් සාදන විට නැකත් ගණනාවක්‌ම සාදනු ලැබේ. ප්‍රථම ආරාධනා කිරීම, පිටත්වීම, මනාලිය හැඳ පැළඳ ගැනීම, මංගල පෝරුවට නැංවීම, ලියාපදිංචිය, යුවළ පිටත්වීම ආදී නැකත් දොළහක් පමණ විවාහ නැකත් පංතියට ඇතුළත් වේ.
උතස්‌ව දිනයේ උදේම ගත යුතු මනාලිය හැඳ පැළඳ ගැනීමේ නැකත හැදීම මෙකල දුෂ්කර කටයුත්තක් බවට පත්වී තිබේ. එයට ප්‍රධාන හේතුව වී ඇත්තේ රූපලාවන්‍ය ශිල්පීන්ගේ සේවය ලබා ගැනීම උදෙසා බොහෝ දුර ස්‌ථානවලට යැමට මනාලියන් පෙළඹී සිටීමයි. පැය තුනකට වැඩි කාලයක් මනාලිය හැඩ ගැන්වීමට ගනු ලබන අතර පැයක් ගතවන තරම් දුරකට මනාලියට යැමට සිදු වේ නම් ඇයට ඒ සඳහා පාන්දර හෙවත් රාත්‍රී එකට දෙකට පමණ තම නිවසින් පිටත්වීමට සිදු වේ. එවිට මනාලියට කලින් දිනයේ හරිහැටි නින්දක් පවා ලැබෙන්නේ නැත. ඒ සඳහා ආරක්‌ෂාවද අවශ්‍ය බැවින් වාහන දෙකකට වියදම් දැරීමට ද සිදුවේ. මේ වූ කලී නොකළ යුතු ක්‍රියාවක් බව අපගේ වැටහීමයි. පදිංචි ප්‍රදේශයේම රූපලාවන්‍ය ශිල්පියකුගේ සේවය ලබා ගැනීම නිදිවරා දුරකතර ගෙවා අධික ලෙස තෙහෙට්‌ටුවීමට වඩා සුදුසු නොවන්නේද? යන්න තීරණය කළ යුතු වේ.
මනාල මහතා ඉතා දුර ප්‍රදේශයක සිට පිටත්වීමද අවදානම් සහිතය. උදාහරණයක් වශයෙන් මනාල යුවළ කොළඹ සහ නුවර වැනි දුරක පදිංචි අය නම් මනාල මහතා කලින් දිනම උත්සවයට සමීප තැනකට පැමිණීම වඩා සුදුසුය.
උත්සවයේ වටිනා අවස්‌ථා ඡායාරූප ගත කර තබා ගැනීමට හැකිවීම ඉතා වැදගත්ය. නමුත් ඡායාරූප ගැනීම සිරිත් විරිත්වලට බාධා වන අයුරින් කළ යුතු නොවේ. සිනමා නිර්මාණයකට නම් රූගත කිරීමකට අවශ්‍ය නිසා උත්සවයක් ගනු ලැබේ. නමුත් මංගල උත්සවයක් පැවැත්වීමේ මූලික අරමුණ රූගත කිරීම නොවන බව අවබෝධ කර ගත යුතුවේ. දක්‌ෂ ඡායාරූප ශිල්පීන් ස්‌වභාවික අයුරින් සියලු අවස්‌ථා රූගත කරනු ඇත. පෝරුව චාරිත්‍රවලට පවා බාධා කරමින් නතර කරමින් රූගත කිරීම නොකළ යුතුය.
පෝරුව චාරිත්‍ර සඳහා පැයක කාලයක් අවශ්‍ය බව පෝරුවේ චාරිත්‍ර කරන මහතෙකු විසින් දන්වා තිබුණි. පෝරුව මත පැයක කාලයක් යුවතිපතින් සිටුවා තිබීම අනවශ්‍යය. එමගින් අධික වෙහෙසක් එම යුවළටද ඥතීන්ටද ඇති වේ. පැය 1/2 සිට විනාඩි 45 පමණ කාලයක් තුළ මෙම චාරිත්‍ර නිමකළ හැකිය.
රූපලාවන්‍ය සේවය, ඡායාරූප ගැනීම හා තරු පංතියක හෝටලයක උත්සවය ගැනීම සුදුසු වුවද ඒවා සඳහා ණය ගැතිවීම කිසිසේත්ම සුදුසු නොවේ. අන් අය අනුකරණය කරන්නට යැම නිසා වියදම් පාලනය කර ගැනීමට නොහැකිව වසර කිහිපයක් ඉදිරියට ගෙවිය යුතු ණයකරුවන් වුවහොත් මංගල උත්සවය අසාර්ථක බව වටහාගත හැකි වේ.
විවාහ නැකත් පංතියක වටිනාම නැකත වන්නේ මනාලයාගේ නිවසට මනාලිය ඇතුළු වන නැකතයි. මේ සඳහා රාත්‍රි කාලය සුදුසු නැත. දෙවැනි දින උත්සවය රාත්‍රි කාලයේ හෝටලයක ගන්නේ නම් පසුදින උදේ සුබ නැකතකින් මනාලිය තම නිවසට කැඳවාගෙන ඒම මනාල මහතාගේ වගකීමකි.
මෙම කටයුතු සඳහා උගත් පරිණත ජ්‍යෙdතිර්වේදී මහතෙකුගේ සහාය ලබාගන්නා මෙන් අවසාන වශයෙන් දන්වනු කැමැත්තෙමි. විවාහයක අවසාන පරමාර්ථය විය යුත්තේ කෑම බීම, නැටුම් ගැයුම් ආදිය නොව යහපත් දරු පරපුරක් බිහිකර ගැනීමයි.
We found this article from Divaina on 2013/02/22.
Also Sinhala to English Google word to word translation can be found here