ධනය නිලය බලය ජන්ම වේලාවට අනුව රැකෙනවාද? නැසෙනවාද?

0
764
ධනය
ධනය

ජන්ම ලාභය වශයෙන් හඳුන්වන්නේ භවගාමීව නැවත නැවත ඉපදීම් එක්‌ අවස්‌ථාවකි. භවගාමී වන්නේ ආශාව කැමැත්ත පසුපස හඹායැම හේතුවෙන් අසීමිත උරුමයන් ලබාගැනීමට ඇති පෙළඹවීම නිසාය. මෙම පෙළඹවීම අනුව ධනය, නිලය, බලය සම්බන්ධ කෙළවරක්‌ නොදකින තත්ත්වයට පත් වෙයි. රූපය, රසය, ශබ්දය යන මේවා කෙරෙහිද ඇති කැමැත්ත අසීමිතය. උපදින වේලාව අනුව පෙර පින් බලය, වාසනාව සහ අවාසනාව ලෙස නිරූපණය වන්නේ මේ තත්ත්වයයි. කෲර, සෞම්‍ය චරිත ලක්‍ෂණ තීරණය වන්නේත් ධනය, නිලය, බලය සහ උරුමය ජන්මයෙන්

රැකෙනවාද? නැසෙනවාද? යන්න තීරණය වන්නේත් ඒ අනුවය.

පුද්ගලයාගේ ගතිගුණ චරිත ලක්‍ෂණ, හැසිරීම් රටාව ඒ ඒ අවස්‌ථාවන්ට අනුව හොඳින් සහ නරකින් ක්‍රියාකිරීම යනු ප්‍රවේනිගත උරුමයන්ය. ඒ උරුමයන් නම් භවගාමී වූ අවස්‌ථාවන්හිදී පුරුදු පුහුණු කරගත් දේවල්ය. එබැවින් ඒ ගුණයන් ප්‍රකට වන ග්‍රහයන් ක්‍රියාත්මක වන භාව, රාශි බල සහිතව උදාවන රාශියක්‌ හරිජයේ දර්ශනය වන අවස්‌ථාවක ඒ ග්‍රහයන්ට හිමි ගුණයන්ගෙන් යුක්‌තව ජීවියා උපත ලබනු ඇත. ජන්ම වේලාවෙන් ගතිගුණ ප්‍රකාශ කළ හැකිය යන මතය ගොඩනැගී ඇත්තේ ඒ අනුවය.

ධනය, නිලය, බලය සාධාරණ අසාධාරණ ලෙසත් අඩු වැඩි ලෙසත් උරුම වන ග්‍රහ පිහිටීම ජන්ම පත්‍රයක සටහන්ව ඇත. මේ සඳහා බොහෝ දුරට කර්ම විපාක බලපානවා සේම වෙනත් හේතුවල බලපෑමද ඇතිවේ. වෙනත් හේතු වශයෙන් විස්‌තර කළ හැකි වන්නේ භවයේ ඉපදුණු කවදා හෝ නිරත වූ කාර්යයක්‌ උදෙසා බුදු පසේ බුදු මහ රහතන් වහන්සේලා පැවිදි තාපසතුමන්ලා විසින් කරන ලද ආශීර්වාද ප්‍රාර්ථනාවන්ය. ඒ ප්‍රාර්ථනා බලය අනුව හිමි වන තත්ත්වය සැප විඳීම් වශයෙන් ප්‍රකට වුවද විඳින්නේ දුක්‌බර තත්ත්වයකි. බුදු දහම අනුවත් ජ්‍යෙdතිශාස්‌ත්‍රාණුකූලවත් මේ තත්ත්වය මනාව පැහැදිලි වෙයි. ජ්‍යෙdතිශාස්‌ත්‍රයෙහි දීප්ත, ස්‌වස්‌ථ මුදිත, ශාන්ත, දීන, අතිදුක්‌ත, විකල, ඛල, කෝපී වශයෙන්ද බාල, කුමාර, තරුණ, වෘද්ධ, මෘත සහ ලඡ්ජිත (ලැඡ්ජාව), ගර්විත (ගෞරවණීය), ක්‍ෂුධිත (කුසගින්න), තෘෂිත (පිපාසය), ක්‌ෂේෂාභිත (විනාශය), මුදිත වශයෙන්ද ග්‍රහයන් ක්‍රියාත්මක වන ආකාරය පැහැදිලි කර ඇත. උච්ච රාශියේ සිටින ග්‍රහයා දීප්ත බලයෙන්ද ස්‌වක්‍ෂේත්‍ර රාශිගත ග්‍රහයා ස්‌වස්‌ථ බලයෙන්ද අති මිත්‍ර රාශිගත ග්‍රහයා මුදිත බලයෙන්ද මිත්‍ර රාශිගත ග්‍රහයා ශාන්ත බලයෙන්ද සම රාශිගත ග්‍රහයා දීන බලයෙන්ද සතුරු රාශිගත ග්‍රහයා අතිදුත දුබල ලෙසද පාප ග්‍රහ සංයෝග ග්‍රහයා විකලවද ග්‍රහ යුද්ධවලදී පැරදුණු ග්‍රහයා ඛල තත්ත්වයෙන්ද රවි සමග සිටින ග්‍රහයා කෝපී බලයෙන්ද පවතී. බාල ග්‍රහයා සහ කුමාර ග්‍රහයා රාශිවල තැන්පත් වන ආකාරය අනුව දුර්වලවනු ඇත. තරුණ අවස්‌ථාවේ ක්‍රියාත්මක වන ග්‍රහයා බලවත් ලෙස ශුභඵල උදාකරයි. වෘද්ධ අවස්‌ථාවේ පසුවන ග්‍රහයා දුෂ්ඨ විපාකද මෘත ග්‍රහයා මරණය හෝ මාරාන්තික අනිෂ්ඨ විපාකද ලබාදෙයි.

ලැඡ්ජාවට පත්වන ග්‍රහයා දරුඵල හීන කරයි. දරුවන්ට අපල වෙයි. රූප ශෝභාව ගුණ නුවණ අඩු කරයි. හිතේ විකාර බව, නිෂ්ඵල ගමන් බිමන් ධන හානි, දඬුවම් ලැබීම ආදී අපලයන්ද කුසගින්නේ සිටින ග්‍රහයා පෙර සඳහන් කළ අතිදුක්‌ත අවස්‌ථාවටම සමාන වන අතර මන්දබුද්ධික, නිර්ධන, කලකෝලාහල, සතුරු කරදර, ශෝකය, මෝහය, මුලාව ආදී අනිටු ඵලද උදාකරයි. පිපාසිත අවස්‌ථාවේ සිටින ග්‍රහයා රාශි සහ භාව අනුව දුෂ්ඨ ඵල උදාකරයි. විනාශ අවස්‌ථාවේ සිටින ග්‍රහයාද දුෂ්ඨ ඵල ගෙනදෙයි. ගෞරවණීය අවස්‌ථාවේ සිටින ග්‍රහයාද දීප්ත බලය හා සමාන වන අතර ගේදොර වාසස්‌ථාන, යාන වාහන, ඉඩකඩම්, රැකියා තනතුරු, ව්‍යාපාර ලාභ, ධන ලාභද මුදිත ග්‍රහයා විශාල ගේ දොර පිරිසිදු කම, අලංකාරය, ඥති මිත්‍ර සම්බන්ධතා ගුණ නුවණ සහ සතුට – සැපත ද උදාකරයි.

බෞද්ධයන් වන අප දන්නා පරිදි විවිධ සූත්‍ර දේශනාවන් සහ අටුවා ග්‍රන්ථවල සඳහන් කරුණු අනුව සැප දුක්‌ උරුම වන ආකාරය පැහැදිලි වෙයි. එක්‌තරා තාපසාරාමයක වාසය කළ තාපස තුමන්ලා නෙළුම් දඬු ආහාරය කරගත් අතර එහි සිටි එක්‌ අයෙක්‌ සිල්වත් තාපසවරයකුගේ ආහාර කොටස හැම දිනම සැඟවීමට කටයුතු කළා. තමා බඩගින්නේ සිටින නිසා අනික්‌ තාපසතුමන්ලාගෙන් විමසූ විට කිසිවෙක්‌ ඒ සම්බන්ධව දැන සිටියේ නැත. කිසිවකු හෝ ඒ ආහාර කොටස සඟවන බව දැනගත් සිල්වත් තාපසතුමා ඔහුට දඬුවම් දෙන්නට සිතුවා. ඒ තාපසතුමා දඬුවම් දුන්නේ නෙළුම් දඬු සොරකම් කළ තැනැත්තාට බොහෝ සැප සම්පත්, රාජ්‍ය බලය, බොහෝ රූමත් භාර්යාවන්, සැපවත් නෑදැ හිතමිත්‍ර පිරිවර බොහෝ කෙත් වතු, දැසි දස්‌ ජනයා, බොහෝ නිවාස ආදී සම්පත් නොඅඩුවම ලැබේවා යන ප්‍රාර්ථනය ඉතා බලවත් ලෙස සිදු කිරීමකි. අනෙක්‌ තාපස තුමන්ලාද එසේම ප්‍රාර්ථනා කළහ. සිල්වත් උතුමන්ලා සිදුකළ ඒ ප්‍රාර්ථනාව නෙළුම් දඬු සොරකම් කළ පුද්ගලයාටත් ඒ හා සමාන වංචනික ක්‍රියාවල යෙදෙන වෙනත් පුද්ගලයන්ටත් හිමිවන්නේ සැප විපාක වශයෙන් නොවේ. රජකම් හිමිවූවන්ට යුද්ධාදී මහත් ව්‍යසන, රටවැසියන්ගේ ආදායම් මාර්ග මනා ලෙස සංවිධානය නොකිරීම සම්බන්ධ ගැටලු, රටවැසියාගේ නිරෝගීකම දුර්වලවීම, විශ්වාසය බිඳවැටීම ආදී ගැටලු ඇතිවේ. ගෘහ ජීවිතයේ සතුට අහිමි වෙයි. දූ දරුවන් අකීකරු දඩබ්බරයෝ වෙති. ලැබෙන දේපළ කරදර පිණිසම හේතු වෙයි. පෙර පින් බලය අනුව රාජ්‍ය බලය උරුම වන්නේ චක්‍රරත්නයේ බලයෙන් රාජ්‍ය පාලනය ගෙන යන සක්‌විති රාජ්‍ය පාලකයාට පමණි. පෙර කරන ලද අකුසල කර්ම විපාක අනුව බලවත් වන අය කෲර ගතියෙන් පරිපූර්ණ පුද්ගලයෝ වෙති. ඔවුන්ට හිමිවන බලවන්ත භාවය සමගම උරුම වන විශේෂත්වය නම් අනපේක්‌ෂිත දුෂ්ඨ විපාකයන්ට මුහුණ දීමට සිදුවීමයි. ඒ සඳහා හේතුවන්නේ ඉහත සඳහන් කළ ලැඡ්ජාවට පත්ව කුසගින්නේ පිපාසිත අවස්‌ථාවට එළැඹී විනාශය කරා ළඟාවන දුෂ්ඨ ග්‍රහයන්ගේ විපාක අවස්‌ථා ප්‍රබල වීමයි. ප්‍රවේනිගත උරුමයන්ට අනුව හොඳින් සහ නරකින් අවස්‌ථානුකූලව හැසිරීමේ ප්‍රතිපත්තිය වන්නේද මේ තත්ත්වයයි. ධනය, නිලය, බලය සහ උරුමය යන මේවා ජන්මයෙන් රැකෙනවාද? නැසෙනවාද? යන්න තීරණය කළ හැකි වන්නේද මේ තත්ත්වයන් අනුවය.

We found this article from Divaina on 2012/09/14.
Also Sinhala to English Google word to word translation can be found here