සෙත්කවි ක්‍රමය – නීතිය දැනගෙන ලිවිය කියවිය යුතුය

2252
සෙත්කවි
සෙත්කවි

රවි, සඳු, කුජ, බුධ, ගුරු, ශුක්‍ර, ශනි, රාහු, කේතු යන නවග්‍රහයන් සහ ලග්න දොළහ ඇසුරු කර ගනිමින් දිනය, නැකත, තිථිය, යෝගය, කරණය යන පංචාංගය ද යා කරගනිමින් ජන්මීන්ට මුහුණපෑමට සිදුවන විවිධ ප්‍රශ්නවලට ජ්‍යෙතිෂය ආශ්‍රයෙන් සෙත්කවිය, වස්‌ කවිය ප්‍රමුඛ ශබ්ද විද්‍යාවෙන් ඉතාමත් සාර්ථකව පිළිතුරු ලබාගත හැකි බව අවිවාදයෙන් පිළිගත හැකි කරුණකි.

සෙත් කවි හා වස්‌ කවි යන දෙකොටසෙහි මූලික පදනම මිනිස්‌ හිත හා සබැඳි වදන්ය. සිතක ඇතිවන ඕනෑම සිතුවිල්ලක තරංග ශක්‌තීන් හා කිරණ ශක්‌තීන් ඇති කරයි. එම තරංග ශුභ හා අශුභ යනුවෙන් දෙකොටසකි. ඉන් සෙත් කවිය ශුභ වේ. වස්‌ කවිය අශුභ වේ. එහෙත් වස්‌ ගණ හා වදන් ශුභ ගණ හා සංකලනය කර රසදියාදී යෙදූ රස බෙහෙත් මෙන් යහපත් ප්‍රතිඵල උදාකරදීමට යෙදිය හැක. සෙත් කවි හා වස්‌ කවි යනු එක්‌තරා ක්‍රමයක මන්ත්‍ර ශාස්‌ත්‍රයකි. ගාථා, පිරිත්, දේවස්‌තෝත්‍ර, ප්‍රශස්‌ති ගීතිකා, ආසිරි ගී යන විසිතුරු පබැඳුම් සියල්ලම භාෂාව කුමක්‌ වුවත් හොඳ හා නරක ගණ හා ශබ්ද මාත්‍රා මූලික කර ගනී.

කේන්ද්‍රයක පිහිටි ලග්න හා ග්‍රහයක්‌ මුල්කරගෙන ඉතා සාර්ථකව පලාපල පැවසිය හැකි නම් රෝගියකුගේ රෝගී තත්ත්වය නිර්ණය කළ හැකි නම් ඒ අනුව ඖෂධ ලබා දී රෝගය සුවපත් කළ හැකි නම් මෙකී ශාස්‌ත්‍රයන්ගෙන් ජන ජීවිතයට සිදුවන සේවය අතිමහත්ය. ඉන්ද්‍ර ගුරුළුව, යම කාලය, පංච පක්‍ෂි ක්‍රමය, ශබ්ද විද්‍යාව පදනම් කරගනිමින් නිර්මාණය කරන සෙත් කවිය තුළින් ඕනෑම පුද්ගලයකුගේ ඕනෑම ප්‍රශ්නයක්‌ සඳහා සාර්ථක නිවැරදි විසඳුම් ලබාගත හැකිය.

මිනිසා හමුවේ පැනනගින දහසකුත් එකක්‌ ප්‍රශ්න හමුවේ ඒවාට සෙත් කවිය තුළින් විසඳුම් දීමේදී සෙත් කවි රචකයා තුළ ජ්‍යෙdතිෂ්‍යය හා බැඳුණු විවිධ ශාස්‌ත්‍රීය දැනුම තිබිය යුතු අතර දැහැමිව මෛත්‍රි සහගත සිතින් යුතුව අදාළ ආතුරයාගේ ජන්ම පත්‍රය නිවැරදිව පරීක්‍ෂා කර බලා ප්‍රශ්නය නිසි ලෙස වටහා ගනිමින් එකී ගැටලුවට හේතුව හා ඊට අවශ්‍ය ප්‍රතිකර්මය ලෙස සෙත ප්‍රාර්ථනා කළ හැක්‌කේ කුමන දෙවියන්ට කන්නලව් කිරීමෙන් ද යන්නත් සොයා බලා ඒ සඳහා අවශ්‍ය දිනය, නැකත, සොයා භාෂා දැනුමින් නියමිත ක්‍රමවේදයට ගණ පිහිටුවා කවියෙහි දක්‍ෂ බවින් අවංකව සද්භාවයෙන් රචනා කර ගායනා කළ යුතුය.

අදාළ ජන්මියාගේ කේන්ද්‍රයෙන් හෝ තත් කාලයෙන් අශුභ අපල දැනගෙන කාව්‍ය නායක හෝ කර්තෘගේ ජන්ම නැකත ඊට සුදුසු පක්‍ෂය (අව/පුර) නැකැත් තෝරා පංච පක්‍ෂි ශාස්‌ත්‍රය උපයෝගී කරගනිමින් සෙත්කවි නිර්මාණය කළ යුතු අතර ඔහුට අ,ඉ,උ,එ,ඔ යන පංචස්‌වර (අක්‍ෂර) පිළිබඳ මනා අවබෝධයක්‌ තිබිය යුතුය.

නමෙහි මුලකුරට හෝ උපන් නැකතට හිමි පක්‍ෂියා ලෙස (අ) ප්‍රාණාක්‍ෂරයේ පඨවි ගුණය ද (ඉ) ප්‍රාණාක්‍ෂරයේ ජල ගුණය ද (උ) ප්‍රාණාක්‍ෂරයේ ගිනි ගුණය ද (එ) ප්‍රාණාක්‍ෂරයේ වායු ගුණය ද (ඔ) ප්‍රාණාක්‍ෂරයේ ආකාශ ගුණය ද පවතී.

වායුගණයෙන් යෑවීමත් වන්ද්‍රගණයෙන් ආපසු ගෙන්වීමක්‌ කළ හැක. එහෙත් කාව්‍ය නායකගේ නැකතට හෝ නමට එම ගණ මිත්‍ර වේ නම් එය සිදුකළ නොහැකි අතර ඒ සඳහා වෙනත් ක්‍රමයක්‌ අනුගමනය කළ යුතු වේ. නිවසින් පැනගිය අයකු ගෙන්වීමට වායු ගණය සූර්ය ගණය ජල ගණය චන්ද්‍ර ගණය සුදුසු පරිදි යොදාගත හැකිය. අත්‍යවශ්‍ය විටකදී වුවද කාව්‍ය නායකගේ නැකතට හිමි අක්‍ෂරය නැකැත් යෙදෙන දිනය කර්තෘට නොසීතේ නම් කවි රචනය නොකළ යුතුය.

සෙත් කවියක 1,2,3,5,7,9,18 ශුභ ගණයක්‌ හැකි තරම් දුරට 18 වැනි ගණයට කාව්‍ය නායකගේ නාමාභිධානය යෙදීමත් ශුභ වස්‌තු හා වදන් හැකි තරම් යොදා අශුභ වදන් හැකි තරම් අඩු කිරීමත් කළ යුතුය. ගණය පිළිබඳ මනා අවබෝධයක්‌ තිබිය යුතු අතර ගණ සංයෝගයක්‌ රෝගී අවස්‌ථාවක්‌ නම් වා, පිත්, සෙම් ද යන්න සොයා ඊට අධිපති ග්‍රහයාගේ තීරණය ගන්න. ශනිගේa නම් වාත රෝග ද සඳුගේ නම් සෙම් රෝග ද රවිගේ නම් පිත් රෝග ද වශයෙන් නිර්ණය කරගත හැක.

“න” ගණය වාත රෝගීන්ට සුබ වුවද අනෙක්‌ ග්‍රහ සංකලක ගැන ද දත යුතු වේ. වාත දෝෂ දුරුවීමට චන්ද්‍ර ගණය සුබ වුවත් එය බලවත් ලෙස යෙදීමෙන් ආතුරයාගේ මරණය පවා සිදුවිය හැකිය.

මේ අනුව නැකැත්, ගණ, තිථි, ශබ්ද ආදිය අදාළ පුද්ගලයාට ගැලපේද යන්න සෙත්කවි මූලධර්මවලට අනුව සොයා බලා පබැඳිය යුතු අතර එකී මූලධර්මයන්ට අනුවම ගායනා කළ යුතුය. එසේ නොවුණු කල පුස්‌ වෙඩිල්ලක්‌ මෙන් හොඳක්‌ හෝ නරකක්‌ නැත්තේ වෙයි.

සෙත් කවි රචකයකු තුළ තිබිය යුතු ගුණාංග

* බුදුන්වහන්සේ, දෙවි දේවතාවුන් හෝ ඕනෑම ආගමික ශාස්‌තෘන් වහන්සේ නමකට නොගරහන පින් පව් පල විපාක දත් ගුණවත් අයකු වීම.

* කුහක ඊර්ෂ්‍යා සිතුවිලිවලින් තොර අන්‍යයන්ගේ සැපතට බාධා නොකරන ප්‍රියමනාප අයකු වීම.

* දුක්‌ කම්කටොළු විඳ දරා ගනිමින් ලද දෙයින් සතුටු විය හැකි අයකු වීම.

* සිතෙහි හටගන්නා කෝපය සංසිඳවා තමා වෙත එන අය ප්‍රීති සහගත මුහුණින් පිළිගෙන කටයුතු කරදීම.

* පංච දුශ්චරිතයෙහි නොයෙදෙන ආගමට දහමට ලැදි පවට බිය අනුන් හෙළා නොදකින්නකු වීම.

* කේලම් කීම, පරුෂ වචන කීම, භේදභින්න කිරීම ආදී දුසිරිත්වලින් තොර සුළු වශයෙන් හෝ චෛතසික බලය දියුණු කළ අයකු වීම.

* තම සිත දිනාගත් යම් ප්‍රස්‌තුතයක්‌ දෙවියෙක්‌ ගහක්‌ කොළක්‌ යනාදී යම්කිaසි වස්‌තුවක්‌ ගැන විශ්වාසයක්‌ ඇති අයකු වීම.

* අන්‍යයන් කෙරෙහි මෛත්‍රී කරන අහංකාර උඩඟු ගති නොමැති අයුක්‌තියට නොනැමෙන අවංක එඩිතර සත්‍යගරුක අයකු වීම.

සෙත් කවි කියවන්නා තුළ තිබිය යුතු ගුණාංග

* ශරීර අංගෝපාංග නිසි ලෙස පිහිටා ඇති කුහක ඊර්ෂ්‍යා ගති සිතුවිලිවලින් තොර අයකු වීම.

* පස්‌පවින් වැළකී ආගමට දහමට නැඹුරුව වත්පිළිවෙත් රකිමින් සිල්වත්ව ක්‍රියා කරන්නකු වීම.

* මුදල් පඬුරු හෝ වෙනත් ලාභාංශ ප්‍රතිලාභ ඇප උපකාර නොතකන අයකු වීම.

* භාෂාව, මාත්‍රා ගණ ආදිය නිවැරැදිව නිසි ආකාරයට උච්චාරණය කර ආතුරයාට සෙතක්‌ම ඇතිවන ලෙස පිරිසිදු සිතින් සෙත්කවි ගායනය.

* වැටුප් ලබන රැකියාවක්‌ ලෙස නොසිතා ආතුරයාගේ ප්‍රශ්නය තමන්ගේ ප්‍රශ්නයක්‌ ලෙස සලකා ක්‍රියා කරමින් කවි අදාළ දෙවියන්ට තම හෘදසාක්‍ෂියට එකඟව කන්නලව් කර කියා සිටීම

* තමන් වෙත එන ආතුරයන්ට මෛත්‍රි සහගතව සැලකීම. ඔවුන් පීඩාවට අවමානයට පත් නොකිරීම. ලද දෙයින් සතුටුව ඔවුන්ගේ කරුණු කාරණා ඉෂ්ඨ වනතුරු ඔවුන් සමඟ සහයෝගයෙන් කටයුතු කරමින් සෙත සහනය ලබාදීමට උපකාරි වීම

We found this article from Divaina on 2012/10/26.
Also Sinhala to English Google word to word translation can be found here