ඔබේ කෙන්දරයේ රවි කොතනද

2915
කෙන්දරයේ
කෙන්දරයේ

පියවි ඇසට පෙනෙන ග්‍රහයන් අතර මූලිකත්වය දරන රවි ග්‍රහ ලෝකයේ රජු ලෙස ජ්‍යෙතිෂයේ සඳහන්වේ. පිත් අධික තේජස්‌ ගතියෙන්ද යුතු පුරුෂ ග්‍රහයෙකි. ක්‍ෂත්‍රිය වංශයට අයත් මේෂ රාශියේදී උච්චවන තුළා රාශියේදී නීචවන ග්‍රහයෙකු වන අතර වාසස්‌ථානය දේවස්‌ථානය වන බවද අශ්වයා වාහනය වන බවද කියෑවේ. රවි ජන්මියාට එක්‌ එක්‌ භාවවලදී වෙනත් ආකාරයකින් තමාගේ ආකර්ශන ශක්‌තිය ලබාදීමෙන් ජන්මියාගේ තත්ත්වයද වෙනස්‌ ආකාරයකට හැඩ ගස්‌වයි. රවි ඔබේ ලග්නයේ එක්‌ එක්‌ භාවවලදී ලබාදෙන ප්‍රතිඵල විවිධාකාරය.

රවි ලග්නයේ හෙවත් පළවැනි භාවයේදී උපන් අය වඩාත් උද්යෝගිමත් අයවේ. හොඳ ශරීර ශක්‌තියකින් යුතුය. යහපත් සෘජු ගතියක්‌ ඇති නමුත් ඉතා උඩඟු තත්ත්වයක්‌ පෙන්නුම් කරයි. කිසිම අයෙකුට හිස නොනමන ගතියක්‌ ජන්මයෙන්ම උරුම වී ඇත. රවි ලග්නයේ සිටින අයට පිරිස්‌ බලය ඇතිවෙයි. කොතැනක ගියත් මූලිකත්වයට පත්වේ. පීනස වැනි සෙම් රෝගයන්ට ගොදුරුවීමේ ප්‍රවනතාවය වැඩිය. රවි ලග්නයේ බලවත්ව සිටීම ඉතාම යහපත්ය. දේශපාලන ජීවිතයකට නැඹුරු වුවහොත් ඉහළම තත්ත්වයකට පත්විය හැක.

රවි දෙවැන්නේදී උපන් අයගේ ශරීරයේ පෙනුම දුර්වලකරයි. මුරණ්‌ඩු ගතියක්‌ පෙන්නුම් කරන අතර ඉක්‌මනින් කෝපයට පත්වෙයි. එනිසා එයින් හානිද ඇති කරගනී. දෙවැන්න ස්‌වභාවික වශයෙන්ම රවිට යහපත් ස්‌ථානයක්‌ නොවේ. බලවත් යෝගයක්‌ පිට නම් යහපත්වෙයි. එසේ නොමැතිනම් අයහපත් ඵල වැඩිවේ. විවාහයෙන් පසු නිවසේ ආරවුල් ඇතිවිය හැක. ලාභපතා කරන කටයුතුවලදී යොදවන උත්සාහය තම අහංකාර කම නිසාම නිශ්ඵල කරගනී. ඇතැම්විට මැදවයසේ දී මාරක අනතුරු වලට පවා ගොදුරු විය හැකිය.

රවිට තුන්වැන්න යහපත් ස්‌ථානයක්‌ වේ. තුන්වැන්නේ රවි සිටියදී උපන් අය වික්‍රමාන්විත බව හා තේජස්‌ ගතිය ඇති කරයි. ලග්නය හෝ මාරක ස්‌ථාන අධිපතියාව තුනේ සිටීමෙන් ආයුෂ අඩුකරන යෝග යෙදෙයි. බලයෙන්ද යුක්‌ත නම් ඉතා යහපත් වේ. උසස්‌ ඉගෙනීම් කටයුතු වලටද යහපත්ය. කරුණාවන්ත බවත් නිරෝගී බවත් ඇතිවේ. රජයේ තනතුරු හා ඉසුරුමත් බවද ලබයි. ඕනෑම ක්‍රියාවකට ශූර බවක්‌ පෙන්නුම් කරයි. ඥති මිත්‍රාදීන් වැඩි ගණනක්‌ ලබයි. ඔවුන්ගේ වැඩි සැලකිලිද හිමිවෙයි. රට ජාතියට වැඩ ඇති උසස්‌ මනුෂ්‍යයෙක්‌ විය හැක.

රවි හතරේ සිටීමද එතරම් සුබ නොවේ. හෘදය පීඩා, ඉඩ කඩම් වියවුල් පිළිබඳ නඩු හබ, ගින්නෙන් විපත් ආදිය ඇතිකරයි. පවට භය නැති අයෙක්‌වෙයි.

පව්කරන්නන්ගේ ආශ්‍රයට ලැදිවේ. රවි හතරේ උච්චව ස්‌වක්‍ෂේත්‍රව නීචව සිටියහොත් මෙම ගති අඩුවී යහපත් පැත්තට බරවෙයි. ජීවිතයේ අගභාගය බොහෝ දියුණු වී සමාජයේ උසස්‌ ලෙස වැජඹෙයි.

රවි පස්‌වැන්නේ සිටියදී උපන් අය එතරම් යහපත් නොවේ. දරුවන් අඩුවීම හෝ දරුපල අකාලයේ විනාශවීමටද හේතුවෙයි. එය ඔවුන්ගේ ප්‍රධානතම අපලයයි. හෘදයාබාධ වරින්වර සෑදිය හැක. උසස්‌ ඉගෙනීමක්‌ ලබයි. සියලු දෙයින්ම දක්‍ෂතා පෙන්නුම් කරයි. මන්ත්‍ර ශාස්‌ත්‍රයේද දැණුම ඇති වේ. ළදරු රෝග නිසා එම අයට කුඩා කාලයේ විපත්ද ඇතිවිය හැක.

රවි හයද තුන්වැනි ස්‌ථානය මෙන්ම බලවත්ය. සතුරන් යටත් කළ හැකි බලයක්‌ ඔවුන් සතුව ඇත. වීරත්වයෙන් හා සැප සම්පතින් දියුණු ප්‍රසිද්ධ කෙනෙක්‌ විය හැක. ඕනෑම රාජකාරියකට වඩා සුදුස්‌සෙකු වෙයි. කාමාශාව අධික අයෙක්‌ වෙයි. ඉගෙනීමට වඩා දක්‍ෂ බැවින් හයේ රවි සිටියදී උපන්නෝ උගතුන් හා පණ්‌ඩිතයන් ආචාර්යවරුන් බවට පත්වනු ඇත. එසේ ඉහළම තත්ත්වයට පත්වුවද අන් අයද තමාට සමානව සිතයි. එම හේතුව නිසාම ඔහු සියල්ලන්ගේම ගෞරවයට පත්වේ.

හත්වැන්නේ රවි සිටින විට ප්‍රතිපත්තිවලට ගරු නොකරයි. විරුද්ධ ලිංගිලයන්ගේ අපහාසයට සහ අවමානයට හැමවිටම ලක්‌වෙයි. විරුද්ධ ලිංගිකයන්ගෙන් ලැබෙන ධනය නිසා ඔවුන්ට යටත්ව සිටීමට සිදු වේ. විවාහය ප්‍රමාදවීම හෝ ඒ පිළිබඳ ආරවුල් ඇතිකරයි. නඩු හබද ඇතිවිය හැක. තම බිරිඳ හෝ සැමියා හැර වෙනත් අයට ආදරය කිරීමට පෙළඹෙයි. දුරගමන් යෙදීම හා දුර පළාත්වලින් විවාහයද සිදුවේ.

රවි අටේ සිටියදී උපන්a අය නිතර දුක්‌ කරදරවලට භාජන වේ. දරුණු ක්‍රියා නිසා රජයෙන් හෝ නීතියෙන් පීඩා ලබයි. මධ්‍යම වයස්‌ සීමාව ශුභ නැත. ලෙඩ රෝග පහසුවෙන් වැළඳෙයි. දරුපල අඩුවේ. ශරීර සෞඛ්‍යය අතින් දුර්වලවී බෙලහීනයකු වේ. අලස භාවය නිසා ධන හීනයකු බවට පත්විය හැක.

නවයේ රවි සිටිද්දී උපන් අයට සමාජයේ කව්රුත් ප්‍රිය කරයි. උත්සාහයෙන් ධනය උපයාගනී. බොහෝවිට පියාගෙන් දේපළ නොලැබෙයි. එහෙත් පියාට තමා ඉතා හිත්වත් වේ. උපතින්ම අමාශගත රෝග වැළඳීමට ඉඩ ඇත. ආගමික කටයුතු වලට වඩා නැඹුරුවෙයි. ගුප්ත විද්‍යාත්මක කටයුතුවලටද ලැදියාවක්‌ ඇතිවේ. උසස්‌ ඉගෙනීම, තියුණු ඥනය ඇතිකරන අතර විදේශ සංචාරවලටද අවස්‌ථාව උදාවෙයි. තමා පවුලේ ප්‍රකටව පෙනෙන අයවිය හැකියි. බොහෝ විට ගුණයෙන් යුතු අය වෙයි. රවි නවයේ නීචවීම ඉතා අසුබය. එසේ වූ විට කුජ ද අටේනම් අසුබ යෝග යෙදේ.

රවි දහවැන්නට ඉතා බලවත්වෙයි. හිරු මුදුන් අවස්‌ථාවේ හෙවත් මධ්‍යාහන වේලාවේ උපන් අයට රවිගෙන් ලැබිය යුතු සියලු බලය ලැබෙයි. බලවත්ව සිටියොත් ඉතා යහපත් වෙයි. සියලු ජයග්‍රහණ, උසස්‌ රැකියා, ප්‍රසිද්ධිය, කීර්තිය, සැප සම්පත්, නම්බුනාම ආදී හැම දෙයක්‌ම හිමිවේ. ශරීර සෞඛ්‍යයද යහපත්ය. ඉගෙනීමටද අති දක්‍ෂයෝය. පුද්ගලිකව කීර්තිය සහ තමා ගැන ප්‍රසිද්ධියද බලාපොරොත්තු වන්නෝ වෙති.

රවි එකොළහේ සිටිද්දී උපන් අයගේ සියලු අරිෂ්ට යෝග භංග වේ. උසස්‌ මිතුරන් ආශ්‍රයට ලැබෙන අතර ඔවුන්ගෙන් උදව් උපකාරද හැමවිටම ලැබෙයි. ශරීර සෞඛ්‍යයද වඩා යහපත් වේ. රවි බලවත්ව එකොළහේ සිටීනම් ධනවත් වෙයි. ව්‍යාපාරවලින්, සමාජයේ උසස්‌ අයගෙන්, වැඩිහිටියන්ගෙන් සියලු ආධාර ලැබෙයි. යහපත් ප්‍රතිපත්තිගරුක, නිහතමානී. ගතිගුණ ඇති, යාන වාහනද ලබා සැපවත් දිවියක්‌ ගතකිරීමට ලැබෙන උසස්‌ ගති ඇත්තෝ වෙති.

දොළහේ රවි සිටින විට ඇස්‌වල රෝග ඇතිකරවයි. පියාටද අපළ ගෙන දෙයි. රවිගේ දශාවේදී නඩුහබවලට පටලවයි. නිකරුණේ ධනය වියදම් කරවයි. මිනිසුන් කෙරෙහි අධික අනුකම්පාවෙන් පුන්‍ය කටයුතුවලට යොමුකරවීමට සලස්‌වයි. අනාථ නිවාසවලට, ආරෝග්‍ය ශාලාවලට, බන්ධනාගාර ගතවූවන්ට සංග්‍රහ කිරීම ආදියට ඉදිරිපත් වෙයි.

ජ්‍යෙdතිෂවේදීයකු ඔබේ කේන්ද්‍රය බලා රවිගේ අපල ඔබට ඇතැයි කීවොත් මේ අයුරින් පුද පූජාවන් පවත්වන්න. ගෙමිදුලේ පහන් පැළක්‌ සාදා එය රතු පාටින් වර්ණවත්කර පහන් පැළ ඉදිරිපිට ඉඹුල් පැළයක්‌ හිටුවන්න. මල් පැළ ඇතුළේ දෙවියන්ගේ දේවරූපයක්‌ තැන්පත්කර පහන් දල්වා රතු සහ කහ වර්ණමල් පූජාකර සුවඳ දුම් අල්වා තමාගේ අපල දුරුකර දෙන ලෙස දෙවියන් අයදින්න. සූර්ය මණ්‌ඩල යන්ත්‍රය පැළඳීමද ඉතා යහපත්ය. පද්මරාග මැණිකක්‌ සහිත මුද්දක්‌ හෝ පළදින්න. රවිගේ අපල අඩුවේවි.

We found this article from Divaina on 2013/06/23.
Also Sinhala to English Google word to word translation can be found here