බෝධියත් බේරා බෝධි පූජාව ක්‌ තබන ක්‍රමය

2574
බෝධි පූජාව
බෝධි පූජාව

[ratings]

බෝධි පූජාව බොහෝ දෙනා අතර ජනප්‍රිය ශාන්ති කර්මයක්‌ බවට පත්ව තිබේ. බෝධි පූජාව බෞද්ධ ශාන්තිකර්මයන් වුවද එය මෙතරම් ව්‍යාප්ත වීමට ප්‍රධාන හේතුවක්‌ බවට පත්වී ඇත්තේ ග්‍රහ අපල සඳහා බෝධි පූජා තබන ලෙස ජ්‍යෙතිෂ ශාස්‌ත්‍රඥයන් විසින් නිර්දේශ කිරීම යෑයි පැවසීම අතිශයෝක්‌තියක්‌ නොවෙන්නේය. දාන ශීල භාවනා ආදී පුණ්‍ය ක්‍රියා අතර බෝධිපූජාව මෙතරම් ප්‍රචලිත වීමට හේතුව එයයි. ඒ ආකාරයෙන් හෝ ජනතා සිත් සතන් තුළ ශ්‍රද්ධාව ඇති කිරීමද මහත් පුණ්‍ය කර්මයක්‌ බව නොකිව මනාය.

ශ්‍රද්ධාව යනු තුනුරුවන් කෙරෙහි ඇතිවන පැහැදීමයි. එය කරුණු සහිතව සිදුවන්නකි. ශ්‍රද්ධාව සහ ප්‍රඥව කරත්තයක රෝද දෙක මෙනි. ඒවා කැරකෙනවිට රථය ඉදිරියට ගමන් කරයි. එහෙත් එක රෝදයක්‌ පමණක්‌ කැරැකුනොත් රථය ඉදිරියට යනවා වෙනුවට එක තැන කැරකීමට පටන් ගනී. එමෙන්ම ප්‍රඥවෙන් තොරවන ශ්‍රද්ධාව නිසා ද බොහෝ මෝඩකම් කරමින් අඳුරට ගමන් කරන අය බහුල බව සමහරුන් තබන බෝධි පූජා වලින්ද පෙනී යයි.

අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ, මහනුවර ශ්‍රී දළදා මාළිගය අබියස වැල් බෝධිය, ගැටඹේ, කළුතර, කතරගම, බෙල්ලන්විල, කැලණිය ආදී සිද්ධස්‌ථානවල බෝධි පූජා තැබීමට දිනපතා දහස්‌ ගණනින් ජනතාව එක්‌ රොක්‌ වේ. එහෙත් මේ පූජා තැබීමේ වැරදි ක්‍රම වල ප්‍රතිඵලයන් වශයෙන් එම ඓතිහාසික වටිනාකමකින් යුතු බෝධින් වහන්සේලා ආරක්‍ෂා කර ගැනීමට වෙනම වැඩපිළිවෙළක්‌ ක්‍රියාත්මක කිරීමට සිදු වී තිබේ. නැතහොත් මෝඩ ශ්‍රද්ධාවේ ප්‍රතිඵලයක්‌ වශයෙන් එම බෝධීන් විනාශයට පත්වීම ඉක්‌මන්වන බැවිණි.

පහන් පූජාව ප්‍රඥලෝකය උසස්‌ පිංකමකි. එහෙත් බෝධි පත්‍රවලට පහන් වලින් නිකුත්වන අධික ඌෂ්ණය හානිකර වන බව බොහෝ දෙනාට මතක්‌ වන්නේ නැත. මේ නිසා පහන් දැල්වීම සඳහා බෝධියට තරමක්‌ දුරින් සාදා ඇති පහන් වැටවල් තිබියදී බෝධි ප්‍රාකාරය මතම හෝ බෝ මළුවේ පහන් දල්වනු දක්‌නට ලැබේ. එහින් නිකුත් වන ආලෝකය පූජාවන් වුවද අධික තාපය හේතුකොට ගෙන බෝධි වෘක්‍ෂය දැඩි පීඩාවකට ලක්‌වේ. තවද බෝධි මළුව මත තබන පහන් පෙරළී ඉවතට ගලා යන පොල් තෙල් අබතෙල් ආදිය මළුවේ ඇති වැලි වලට උරාගනී. දිනපතා විශාල තෙල් ප්‍රමාණයක්‌ පොළවට උරා ගන්නා විට තිබූ ස්‌වාභාවික තත්ත්වයට හානි සිදුවීමෙන්ද බෝධි වෘක්‍ෂයට අවශ්‍ය පස විනාශ වනවා ඇත. මේ නිසා වරින් වර බෝධි මළුවේ ඇති වැලි ඉවත්කර අලුත් වැලි ඇතිරීමට බෝධියේ භාරකරුවන්ට සිදුවේ. මේවා නොවිය යුතු දේවල් නොවෙන්නේ ද?

හඳුන්කූරු වලින් නිකුත් වන දුමද බෝධියට අහිතකරය. හඳුන්කූරු දහස්‌ ගණනක්‌ දිනපතා දල්වා දුම්දෙන විට කුමන හෝ ගසක්‌ එයට ඔරොත්තු දෙන්නේ කෙසේද? බොහෝ බෝධින් අසල පහන් දැල්වීම හා හඳුන්කූරු දැල්වීම නොකරන ලෙස දැන්වීම් සවිකර ඇත්තේ එබැවිනි. එසේ නමුදු තමන්ගේ අවශ්‍යතාවය ගැන පමණක්‌ හිතන, ප්‍රඥවෙන් තොර මෝඩ ශ්‍රද්ධාවන්තයන්ට මෙය අවබෝධ කර ගැනීම පහසු නැත. බෝධිය පමණක්‌ නොව වටිනා චිත්‍ර හා මූර්ති වලින් අලංකාරවී ඇති විහාරයද ඒ ඇතුලත පහන් හා හඳුන්කූරු දැල්වීමෙන් දුර්වර්ණ වී තිබෙන ආකාරය දැකගත හැකිය. ඒවායේ නැවත තීන්ත ආලේප කිරීම විශාල මුදලක්‌ දරා කළ යුතු දුෂ්කර කටයුත්තක්‌ බව නොකිවමනාය.

කොඩි පූජාව ද උසස්‌ පිංකමකි. වෛවර්ණ කොඩි හෝ බෞද්ධ කොඩි මේ සඳහා භාවිතා කළ හැකිය. එහෙත් නිල්පාට රෙදි කැබලිවල සමහරවිට කපුටෙකුගේ රූපයක්‌ ඇඳ “අසවලාගේ සෙනසුරු අපල දුරුවේවා” ආදී වශයෙන් බෝඩ් ගැසීම කොඩි පූජාවක්‌ නොවෙන්නේය. එම රෙදි කෑලි ඉවත් කිරීමට භාරකරුවන් අමතර වියදමක්‌ දරා කළ යුතුවනවා හැර ඒවායෙන් පිනක්‌ සිදුවන්නේද නැත. ග්‍රහ අපල දුරුවෙන්නේ ද නැත.

බොධීන් වහන්සේගේ මුලට කිරි වැක්‌කිරීම බෝධි පූජාවක්‌ වන්නේ කෙසේද? එයින් බෝධිය රෝගී වීමට පුස්‌ වර්ග හා ක්‍ෂුද්‍ර ජීවින් බිහි වී බෝධිය විනාශ වීමට පවා හේතුවිය හැකිය. ගසකට අවශ්‍යවන්නේ ජලයයි. කිරි නොවේ. මිනිස්‌ බිළි¹ ඇතුළු සත්ව පැටවුන්ට කිරි අවශ්‍ය වන නමුදු කිසිදු ගසක්‌ කිරි බී වැඩෙන්නේ නැත.

මෙම කරුණු සැලකිල්ලට ගෙන බෝධිය තවත් බෝහෝ කාලයක්‌ ආරක්‍ෂා වන පරිදි උද්භිත විද්‍යාත්මක නියමයන්ට පටහැනි නොවී බෝධි පූජාව කළ යුතුය. පූජාව තැබිය යුත්තේ වෘක්‍ෂයට අවශ්‍ය දේ ලැබෙන පරිදි මිස හානිකර දේ කිරීමෙන් නොවේ.

මේ සඳහා බෝධි පූජාව කුමක්‌ද යන කාරණය ගැන එම පූජා තබන පින්වතුන්ද එය නියම කරන ජ්‍යෙdaතිෂඥයන් ද අවබෝධ කර ගැනීම කාලීන අවශ්‍යතාවයකි. නියම ආකාරයෙන් ශ්‍රද්ධාව මෙන්ම ප්‍රඥවද සහිතව බෝධි පූජා තබන අයට එමගින් බොහෝ ආනිශංස ලබාගත හැකි වන්නේය.

ලොව ප්‍රථම බෝධි පූජාව කර ඇත්තේ බුදුරජාණන් වහන්සේ ම විසිනි. ඒ වූ කලී කෘත ගුණ සැලකීමක්‌ වශයෙන් කරන ලද අනිමිස ලෝචන පූජාවයි. ඉන් පසුව උන්වහන්සේ විසින් ආනන්ද හිමියන්ට උපදෙස්‌ දී ඇත්තේ තමන් වහන්සේ නොමැති අවස්‌ථාවල පැමිණෙන ශ්‍රාවක පිරිසට පූජා තැබීම සඳහා බෝධියක්‌ රෝපණය කිරීම උචිත බව බවයි. ඒ අනුව රෝපණය කරන ලද බෝධිය ආනන්ද බෝධිය වශයෙන් හැඳින්වේ.

සෑම බුදුවරයෙකුම බුද්ධත්වය ලබන්නේ බෝධිය යටදීය. බෝධියක්‌ නැතිව බුද්ධත්වය ලැබිය නොහැකි බැවින් ද බෝධි පූජාව උසස්‌ පිංකමක්‌ වන්නේය. බෝධි පූජාව හුදෙක්‌ වෘක්‍ෂ වන්දනාවක්‌ නොවේ. එය බුදු ගුණ මෙනෙහි කරමින් කරන බුද්ධ පූජාවන් ද වේ. “බෝධි” යන වචනයෙන් මහා බෝසතාණන් වහන්සේලාට බුද්ධත්වය ලබා ගැනීමට උපකාරවන ගස, යන්න පමණක්‌ නොව සර්වඥතා ඥනය යන අර්ථයද කියෑවේ. මේ අනුව බෝධි පූජාව තබන විට බෝධිය උපකාරයෙන් තුන් ලොවම ඉතා උසස්‌ ම තත්ත්වයට පත්වූ බුදුන් වහන්සේගේ ගුණ මෙනෙහි කළ යුතුය.

බෝධි පූජාව සඳහා මුලින්ම කළ යුත්තේ බෝධි මළුව පිරිසිදු කිරීමයි. එනම් ඇමදීමයි. වැටී ඇති බෝපත් ඉවත්කර ඇමදීම නිසාම මහත් වූ ආනිශංස විස්‌සක්‌ ලබන බව “බෝධි සම්මඡ්ජන” රහතන් වහන්සේගේ අපදානයෙහි දැක්‌වේ. සකලාංග සම්පූර්ණ ශරීරයෙන් ලැබීම, නිරෝගී බව, මෘදු සම, චිත්ත පීඩා ඇති නොවීම, බිය නැති බව ආදී මේ ආනිශංස මෙවැනි කෙටි ලිපියකින් දැක්‌වීම අපහසුය. තවද විනය පිටකයේ පරිවාර පාළියේ දැක්‌වෙන පරිදි බෝධි මළු ඇමදීමේ ආනිශංසක පහකි. තමන්ගේ සිත පැහැදීම, අනුන්ගේ සිත පැහැදීම. දෙවියන් සතුටුවීම, රූපසෝභාව ඇතිවීම, මරණින් මතු ස්‌වර්ගය සෙවීම ආදියයි.

බෝධි මළුව ඇමදීමෙන් පසුව වැලි ඇතිරීමද මහත් පුන්‍ය ශක්‌තියක්‌ ලබා දේ. එමෙන්ම ශබ්ද පූජා කිරීම සක්‌ බෙර ආදියෙන් කරන ශබ්ද පූජාව, වන්දනා ගාථා කියා කරන ස්‌තූති පූජාව කොඩි පූජාව පැන් වලින් බෝධිය නෑවීම ආදී පූජා ග්‍රහ අපල නිවාරණය කරයි. මෙහිදී පහන් හෝ සුවඳ දුම් පූජා බෝධියට හානි නොවන සේ ඈතින් කළ යුතුවේ.නවග්‍රහයින් වෙනුවෙන්ම කළ යුතු ශාන්ති කර්ම පිළිබඳව මෙන්ම බෝධි පූජාවට තබන ද්‍රව්‍ය පිළිබඳවද පසුගිය ලිපි වලින් සාකච්ඡා කළෙමු. නැවත වරක්‌ සිහිපත් කරන්නේ ග්‍රහ අපල යනු අකුසල කර්ම ශක්‌තිය බවයි. එය යටපත් කර ගැනීම සඳහා කළ යුතු කුසල කර්මයන් වශයෙන්ම බෝධි පූජාව කළ යුතුය.පූජාව අවසානයේ කරණීය මෙත්ත සූත්‍රය කියා ටික වේලාවක්‌ මෙත් වැඩිය යුතුය. ඉන් පසුව දෙවියන්ට හා මියගිය ඥතීන්ට පින් දී තමන්ට අවශ්‍ය ප්‍රාර්ථනාව කළ යුතුයි. එසේ කරන විට කුසල ශක්‌තිය මගින් අපල දුරුවීමද දෙවියන්ගේ රැකවරණය ලැබීමද සිදුවන්නේය.