බෞද්ධ ආරක්‌ෂක යන්ත්‍ර තොග වෙළෙඳාම සඳහා නොවිය යුතුය

0
1325
යන්ත්‍ර
යන්ත්‍ර

[ratings]

කුඩා හිමිනමක්‌ සහ සුදු හැඳගත් කිහිපදෙනකු වරෙක අප නිවස ඉදිරියේ පෙනී සිටියේය. පෙනුමින් හිමිනමක්‌ ලෙස පෙණුනද ඒ හිමි බෞද්ධ දැයි හරියට කිව නොහැක්‌කේ අප අවට පන්සලක එවැනි කෙනකු නොසිටි බැවිනි. මේ අවස්‌ථාවේ අප නිවසේද පිංකමක්‌ කිරීමට සූදානම් කෙරෙමින් තිබූ බැවින් හිතවතුන් කිහිප දෙනකුද සිටියේය. පැමිණි පිරිස රාමු කරන ලද යන්ත්‍රයක්‌ පෙන්වා එය සීවලී යන්ත්‍රයක්‌ බවත්, එවැනි යන්ත්‍ර පිරිත් කිරීමේ පිංකමක්‌ ළඟදීම අසල විහාරස්‌ථානයක ආරම්භ කරන බවත් කියවුණි. ප්‍රමාණ දෙකකින් යුත් යන්ත්‍රය රුපියල් දෙදහස්‌ පන්සියයක්‌ හා දාහක්‌ විය. ඔහුගේ අරමුණ වූයේ යන්ත්‍ර ලබාදීම සඳහා අත්තිකාරම් මුදලක්‌ ලබා ගැනීමයි. මම එක්‌වරම එය ප්‍රතික්‌ෂේප කළෙමි.

පිංකමක්‌ සඳහා සරසමින් පැවැති නිවසකින් මෙය ප්‍රතික්‌ෂේප වීම පිළිබඳව විමතියක්‌ පැමිණි පිරිසට ඇතිවූ බව පෙනුණි. මගේ හිතවතුන්ද මේ පිළිබඳව අදහස විමසූ අතර කෙටියෙන් එය පැහැදිලි කළෙමි.

ඉන්පසුව අදාළ පන්සලේ සීවලී යන්ත්‍ර සිය ගණනක්‌ සාදා අවට ගම්වල අලෙවි කරන ලදී. මේ සඳහා පිට පළාතකින් පැමිණි පිරිසක්‌ යන්ත්‍ර ජීවන් කිරීම සහ අලෙවිය කළ බව දැනගතිමි. මෙවැනි යන්ත්‍ර බෙදාහැරීම පිළිබඳව විශාල බැනර් ප්‍රදර්ශනය කරමින් වාහන මගින් ප්‍රචාරය කරමින් සිදු කරන ව්‍යාපාර නිතර දක්‌නට ලැබේ. සමහර නිවෙස්‌වලද මිලට ගත් එවැනි යන්ත්‍ර සවිකර තිබෙනු පෙනේ.

යන්ත්‍රයක්‌ යනු කුමක්‌ද? එය නිපදවන්නේ කොහිද? ලැබෙන ගුණ මොනවාද? යන කරුණු කෙටියෙන් සාකච්ඡා කිරීම මෙම ලිපියේ අරමුණයි.

යන්ත්‍ර හා මන්ත්‍ර නිපදවා ඇත්තේ මනුෂ්‍යයාගේ කිසියම් අවශ්‍යතාවක්‌ ඉටුකර ගැනීමටය. මේවා අංග අටක්‌ ලෙස හඳුන්වාදී ඇති අතර “අෂ්ට කර්ම” යන නමින් හැඳින්වේ. ඒවා නම්,

විද්වේෂණ – වෙන් කිරීමට පුද්ගලයන් දෙදෙනකු ගේ සමගිය නැති කිරීමට සමත් යන්ත්‍ර මන්ත්‍ර වේ.

උච්චාටණ – යක්‌ෂ භුතයන් හෝ පුද්ගලයන් සිටින තැන්වලින් පන්නා දැමීමේ ක්‍රම සහිත යන්ත්‍ර මන්ත්‍ර වේ.

මාරණ – දිවි තොර කිරීම සඳහා කරන යන්ත්‍ර මන්ත්‍ර වේ

ආකර්ෂණ – අනුන් තමා වෙත ඇද ගැනීමට සමත් යන්ත්‍ර මන්ත්‍ර වේ

ස්‌ථම්භන – ජීව හෝ අජීව වස්‌තුවක වර්ධනය නතර කිරීමයි.

මෝහණය – තමන්ගේ කියමනට එකඟ කරවා ගැනීමයි.

පේෂණය – රෝග නැතිකර ශාන්තිය සලස්‌වා දීමයි.

වශීකරණය – තමන්ට ඇල්මක්‌ ඇති කර වශීකර තබා ගැනීමයි.

ඉහත අංක අටෙන් හතරක්‌ සුබ කටයුතු ලෙසත් ඉතිරි හතර අශුභ හෙවත් අභව්‍ය ක්‍රියා වශයෙනුත් සඳහන් වන්නේය. කෙසේ නමුත් උච්චාටණ, විද්වේෂණ ආදී කර්ම සෘෂිවරු විසින් නිපදවා ඇත්තේ හුදු ඊර්ෂ්‍යාවෙන් හා වෛරයෙන් අනුන්ගේ දියුණුව නැති කිරීමට නොවන බවත්, දුෂ්ට මිනිසුන්ගෙන් ආරක්‌ෂා වීමට බවත් සඳහන් වේ. පැරැන්නෝ රෝගවලින් බේරීමටත්, ගොවිතැන් සාර්ථක කර ගැනීමටත් යන්ත්‍ර යොදා ගත්හ.

බෞද්ධ ආරක්‌ෂක විධි යටතේ මෙවැනි යන්ත්‍ර රාශියක්‌ පැරැණි පොත්වල සඳහන් කර ඇත. කුඩා දරුවන්ගේ ග්‍රහ අපල සමනය කිරීම සඳහා “නවගුණ යන්ත්‍රය” බහුලව යොදා ගැනුණි. අමනුෂ්‍ය දෝෂ සඳහා රතන යන්ත්‍රය පැළඳි අතර සබ්බ පාපස්‌ස යන්ත්‍රය, විජයරාජ යන්ත්‍රය තිසරණ යන්ත්‍රය, පටිච්ච සමුප්පාද යන්ත්‍රය ආදී යන්ත්‍ර රාශියක්‌ තිබේ. ජලනන්දන යන්ත්‍රය සියලු අණවින කොඩිවින කැපෙන ඉතා බලවත් යන්ත්‍රයකි.

අද බොහෝ ජනප්‍රියව අලෙවි කෙරෙන “සීවලී යන්ත්‍රය” ධනය ලැබීම සඳහා සුදුසු යෑයි සැලකෙන අතර සීවලී පිරිතෙන් ජීවං කරනු ලැබේ.

බෞද්ධ යන්ත්‍ර හෝ වෙනත් කුමන යන්ත්‍රයක්‌ වුවද එය සකස්‌ කළ යුත්තේ මූලික නියමයන්ට අනුකූලවය. මේ අනුව යන්ත්‍රයක දිග පළල, භාවිතා කරන නූලේ පාට, එහි පොටවල් ගණන, ලිවීමට සුදුසු වේලාව, ජීවං කළ යුතු ක්‍රමය, තැබිය යුතු පුද පූජා ආදියට අනුකූලව එය කළ යුතුය.

යන්ත්‍රයක්‌ ලිවීම සඳහා තඹ තහඩුව සුදුසු වේ. එහෙත් අවශ්‍යතාව අනුව එය රත්‍රං හෝ රිදී විය හැකි අතර භුජ පත්‍ර, සිවුරු රෙදි, ගෙවල්වල බිත්ති, සොහොනේ දමන ලද වස්‌ත්‍ර, කොටළු සම්, හිස්‌ කැබලි ආදියද යොදාගනු ලැබේ. තවද යන්ත්‍ර ලිවීම සඳහා යොදාගත යුත්තේද ඉහත සඳහන් කළ අදාළ කර්මයට අයත් යුෂය. මේ සඳහා කුංකුම, සඳුන්, ගෝරෝචන, වියන් දුඹුළු, රුධිරය, මිනිරන්, ගිතෙල්, වරා කිරි ආදිය යොදනු ලැබේ.

වශී සඳහා ඊතණද, ආකර්ශනයට මොණරපිළද, ආරක්‌ෂා සඳහා රන් රිදී ආදී ලෝහද, ස්‌ථම්භනයට කාක පිහාටුද, ශාන්ති කර්මයට කරල් සැබෝ දණ්‌ඩද යන්ත්‍ර ලිවීමට ගත යුතුයි.

එමෙන්ම ඒ ඒ කර්මයට අදාළ දිශාවට මුහුණලා යන්ත්‍ර ලිවිය යුතුය. තහඩුවේ දිග පළල ගත යුත්තේද සුබ වන අයුරිනි. මේ අනුව යන්ත්‍ර තහඩුව දිග Ü පළල සම හෙවත් සමචතුරස්‍රාකාර වූයේ ශුභ බවද, පළල මෙන් දෙගුණයක්‌ මරණය ගෙන දෙන බවද, තුන් ගුණය ශුභ බවද, හතර ගුණය රෝග කෙරෙන බවද ආදී වශයෙන් කියා තිබේ.

යන්ත්‍රයක්‌ ඇඳ අවසාන වූ විට බෝ, නුග, ඇසතු, පුළිල, දිඹුල් යන පස්‌ වර්ගයෙන් සාදාගත් කෂායක ගිල්වා දින තුනක්‌ තැබිය යුතු බවත්, ඉන්පසුව ජීවං කළ යුතු බවත් කියා තිබේ. ජීවං කළ යුතු පිරිත හෝ මන්ත්‍රය පමණක්‌ දැන ගැනීම ප්‍රමාණවත් නොවේ. දිෂ්ටි කිරීම, ප්‍රාණ කිරීම, ජප කිරීම, පලිප්පු දැමීම හා පූට කිරීම යන අංග පහට අයත් මන්ත්‍ර මගින් එය ශක්‌තිමත් විය යුතු වේ.

යන්ත්‍රයක්‌ ගුණ ලබාදීමට නම් එය පළඳවන අයගේ ජන්ම නැකතට ගැලපෙන නැකතකින්ම පැළඳවීම අව්‍යය. එමෙන්ම යන්ත්‍ර සඳහා ගන්නා නූලේ පාට හා පොටවල් ගණන අදාළ කර්මයට ගැලපීම අත්‍යවශ්‍ය වේ.

අභව්‍ය හෙවත් සියලු අශුභ ක්‍රියාවන්ට ගත යුත්තේ කළු නූල බවත්, සතුරු උපද්‍රව මර්දනය සඳහා රතු නූල් අවශ්‍ය බවත්, අනෙකුත් ඒවාට සුදු නූල් ශුභ බවත් කියා තිබේ. එමෙන්ම අභව්‍ය (නරක) ක්‍රියා සඳහා පොටවල් හතරක්‌ද, සතුරන්ට පොටවල් හතක්‌ද අන් දේවල් සඳහා නමයක්‌ද ශුභය.

ඉතා වැදගත් වන්නේ යන්ත්‍රයේ අකුරු හා ඉරි එකිනෙක නොකැපෙන හා නොගෑවෙන සේ ලිවීමය. එසේ ලියන විට එක ඉරක්‌ හෝ වෙනත් අකුරක හෝ ඉරක ගැටුණොත් එය ඉවත දැමිය යුතු වන්නේය.

අදළ කර්මයට, ජීවං කරන පුද්ගලයාට හා පළඳවන පුද්ගලයාට ගැලපෙන ශුභ නැකතකින්ම යන්ත්‍ර කරනය තුළ යුතු අතර එමගින් පමණක්‌ ශුභඵල ලැබේ. යන්ත්‍රය වටා නියමිත යම් පොටවල් ගණනක්‌ ඔතා එහි අග අල්ලාගෙන යන්ත්‍රය ජීවං කළ යුතු වන්නේය. එසේ සිය ගණනක්‌ කළ හැකිද?

ග්‍රහ අපල සඳහා විවිධ යන්ත්‍ර ශාස්‌ත්‍රයේ නියම කර තිබේ. එනම් රවි අපලයට සූර්ය මණ්‌ඩලය, සඳුට චන්ද්‍ර මණ්‌ඩලය හෝ රතන යන්ත්‍රය කුජට කන්ද කුමාර යන්ත්‍රය, බුධට විෂ්ණු මණ්‌ඩලය, ගුරුට අභිසම්භිදානය, සිකුරුට ඊශ්වර මණ්‌ඩලය, ශනිට ශනි මෘත්‍යqංජය, රාහුට නාගාර්ජුනය, කේතුට මණ්‌ඩල ශිලම්බරය ආදී වශයෙනි. නිවාස ආරක්‌ෂා යන්ත්‍ර වෙනම තිබේ.

මේ අනුව එන ග්‍රහයකුගේ අපලයට වෙනත් ග්‍රහ අපලයකට නියමිත යන්ත්‍රයක්‌ පැළඳීම නිෂ්පල වන්නේය.

ඉහත සඳහන් කරුණු සලකා බලන විට පෙනී යන්නේ යන්ත්‍රයක්‌ ඉතා සුදුසු ගැලපෙන අයුරින් සෑදිය යුත්තේ එක්‌ අයෙකුට බව නොවේද? යන්ත්‍ර දෙකක්‌ එකිනෙක ස්‌පර්ශ වන විට ජීවං කිරීම නිෂ්පල වනු ඇත. යන්ත්‍ර සිය ගණනක්‌ එකට තබා ජීවං කරන්නේ හෝ පිරිත් කරන්නේ කෙසේද?

තොග ගණන් යන්ත්‍ර ලිවිය නොහැකිය. එය කරනු ලබන්නේ තඹ තහඩු තොගය මුද්‍රණ යන්ත්‍රයකින් මුද්‍රණය කිරීමෙනි. යන්ත්‍ර ජීවං කරන විට සිල්වත් විය යුතු බවත්, මස්‌ මාංශ භාවිතය හා ස්‌ත්‍රී සේවනය නොකළ යුතු බවත්, රාත්‍රි ආහාර නොගත යුතු බවත් කියා තිබේ.

යන්ත්‍ර වූ කලී බොහෝ මනුෂ්‍ය අවශ්‍යතා පිරිමසා ගත හැකි විශිෂ්ට ක්‍රමවේදයකි. එහෙත් එසේ වන්නේ නියමිත පිළිවෙත් අනුගමනය කළොත් පමණි.

We found this article from Divaina on 2011/10/07.
Also Sinhala to English Google word to word translation can be found here