යුග දිවියට පෙර වදනක්‌

2816
යුග දිවියට පෙර වදනක්‌
යුග දිවියට පෙර වදනක්‌

[ratings]

යුග දිවියක්‌ ඇරඹීම භද්‍රයෞවන වියේ ආදරයෙන් බැඳෙන සියලු පෙම්වතුන්ගේ ඒකායන ප්‍රාර්ථනාවයි. තවද, නිසි වයසට පත් දූ දරුවන්ට සුදුසු විවාහයක්‌ කර දීම දෙමාපියන් විසින් කළයුතු යුතුකමක්‌ බවද කිවයුතු නොවේ. විවාහයට පෙර පොරොන්දම් පරීක්‍ෂාවක්‌ කර විවාහපේක්‍ෂිත යුවල කොතරම් දුරට ගැලපේද යන්න විමසා බැලීම පැරණි චාරිත්‍රයකි. එසේ පොරොන්දම් පරීක්‍ෂා කර බලා සිදු කරන විවාහ ජීවිත තුළ ද බොහෝ කරදර දුක්‌ වේදනා ඇති බව පෙනේ. එබැවින් ලක්‍ෂ සංඛ්‍යාත වූ සිහින මවන පෙම්වතුන්ගේ ද තම දුවට හෝ පුතාට සුදුසු සහකරුවෙකු හොයන මා පියන්ගේද ප්‍රයෝජනය පිණිස යුග ජීවිතය පිළිබඳව වැදගත් වන කරුණු කිහිපයක්‌ සාකච්ඡා කිරීමට මෙම ලිපිය යොදා ගනිමු. දැනටමත් යුග දිවියක්‌ අරඹා ඇති අයට ද මේ කරුණු වැදගත් වනු ඇත.

පොරොන්දම් පරීක්‍ෂාවකදී ගැලපීම ප්‍රතිශතයන් ලෙස දක්‌වා ඇති අතර එය සියයට හැත්තෑවක්‌ හෝ ඊට වැඩි නම් විවාහය ශුභ බව තීරණය කරනු දක්‌නට ලැබේ. මේ ගණිතමය නිගමනය තුළද අවධානය යොමු කළයුතු විශේෂ කරුණක්‌ තිබේ. එනම් ගැලපෙන ප්‍රමාණය මෙන්ම නොගැලපෙන ප්‍රමාණයක්‌ද ඇති බවයි. සීයට හැත්තෑ පහක්‌ ගැලපෙනවා යෑයි කියන්නේ සීයයට විසිපහක්‌ නොගැලපෙන බවකි. සියයට අසූපහක්‌ ගැලපීම තුළද පහලොවක නොගැලපීමක්‌ තිබේ.

මේ අනුව හොඳින් ගැලපෙන බව පෙනෙන දෙදෙනෙකු අතර ද නොගැලපීම් ද ඇති බව වටහා ගත යුතුය. මේ නොගැලපීමට කළ යුතු ප්‍රතිකර්මය වන්නේ කැපවීමයි. බිරිඳ රුචි දෙයකට සැමියා අකමැති අවස්‌ථා උදාවන විට දෙදෙනාගෙන් එක්‌ අයෙකුට තම කැමැත්ත අනෙකා උදෙසා පරිත්‍යාග කරන්නට සිදුවනු ඇත. සියයට සියයක්‌ම ගැලපෙන දෙදෙනකු හමු නොවන බව වටහා ගත යුතුය. ගැලපීම අඩු දෙදෙනෙකු යුග දිවියක්‌ ඇරඹීමෙන් එය සතුට පවත්වා ගැනීමට නම් අධික ලෙස මෙම කැපවීම කරන්නට සිදුවේ. එය ප්‍රායෝගික නොවන බැවින් විවාහය බිඳ වැටීමට නොගැලපීම හේතුවක්‌ වන්නේය.

පොරොන්දම් බලා සිදු කළද සමහර විවාහ ජීවිත කඩා වැටීමකට ලක්‌ව ඇති බව කියමින් ජ්‍යෙතිෂයට චෝදනා කරන අයද සිටී. පොරොන්දම් පරීක්‍ෂාවකින් කරන්නේ නැකත්, ගණ, යෝනි, ආදී කරුණු විස්‌සක්‌ ගැලපෙනවාද යන කරුණ විමසීමයි. එහෙත් මෙම ගැලපීම පරීක්‍ෂා කිරීමට පෙර වැදගත් කරුණු කිහිපයක්‌ ගැන අවධානය යොමු කළ යුතු වන්නේය. මේවා ගැන කෙටියෙන් සලකා බලමු.

විවාහපේක්‍ෂක යුවල බාහිර පෙනුමෙන් හා සමාජ තත්ත්වයන් මත ගැලපේද යන්න පළමුව පරීක්‍ෂා කළ යුතුය. දෙදෙනා ලගින් සිටින විට “ගැලපෙන ජෝඩුවක්‌” යන අදහස නිතැතින්ම ඇතිවන්නේ නම් ඒ යුවල බොහෝ විට ගැලපෙන බවත් පිටින් දකින විටම නොගැලපෙන බවක්‌ පෙනෙන දෙදෙනකු කේන්ද්‍ර පරීක්‍ෂා කළ විටද නොගැලපෙන බවත් දැකිය හැකිය. උස, මහත, පාට, ශරීරයේ පෙනුම, පෞරුෂත්වය ආදී කරුණු මත මෙම තීරණය ගත හැකි වන්නේය.

සමාජ ගැලපීමද විශේෂ කරුණකි. ආගම් දෙකකට ජාතීන් දෙකකට අයත්වීම, ධනය අතින් බොහෝ දුරස්‌ථ වීම, ඉගෙනීම පිළිබඳ බොහෝ නොගැලපීම් ආදිය මේ යටතේ සලකා බලනු ලැබේ. මෙවැනි අයගේ පොරොන්දම් හොඳින් ගැලපෙන්නට පුළුවන. එහෙත් ඉහත නොගැලපීම් නිතර නිතර ඉස්‌මතුවීමට ඉඩ තිබේ. විවාහය නිසා අවශ්‍යයෙන්ම හිස මත පැටවෙන බරක්‌ තිබෙන අතර ඉහත නොගැලපීම් නිසා ඒ බර දෙගුණ තෙගුන වනු ඇත. ඉගෙනීමෙන්, ආගමෙන්, වත්පොහොසත්කම් අතින්, ජාතියෙන් මව්පියන්ගේ තත්ත්වයෙන්, උසමහතින්, සමාන වූ තරමට විවාහය නිසා දැරිය යුතු වන බර අඩුවනු ඇත.

මීළඟට පොරොන්දම් පරීක්‍ෂා කිරීමට පෙර කේන්ද්‍රයේ බැලිය යුතු ඉතා වැදගත් කාරණය වන්නේ ආයුෂ පරීක්‍ෂාවයි. අඩු වයසක දී මිය යන්නේ නම් ඒ විවාහය නිෂ්ඵල බැවිනි. ආයුෂ පිළිබඳව පරීක්‍ෂාකරන ගණිත ක්‍රම හා යෝග විශාල සංඛ්‍යාවක්‌ ජ්‍යෙතිෂයේ සඳහන් වන්නේය. පොරොන්දම් පරීක්‍ෂාවේදී ආයුෂ පොරොන්දමෙන් පරීක්‍ෂා කරන්නේ කලින් මිය යන්නේ සැමියාද, බිරිඳද යන කාරණය පමණි. එමෙන්ම කේන්ද්‍ර පරීක්‍ෂාවේදී හත් වන භාවයේ සිටින ග්‍රහයින්ගෙන් විවාහ සහකරුට මාරක අපල පෙන්වයි. හතේ කුජ දුර්වලව සිටීම, අට අධිපති පාපයකු හතේ සිටීම ශනි දුර්වලව හතේ සිටීම, විවාහ සහකරුට මාරක අපල ගෙන දේ. එවැනි යෝග අනෙකාගේ කේන්ද්‍රයේ ග්‍රහ පිහිටීමේ මගින් භංග වන්නේදැයි බැලිය යුතුය.

මීළඟට දෙදෙනාගේ කේන්ද්‍රවල කායික, මානසික ගැලපීම් පරීක්‍ෂා කළ යුතු වන්නේය. විවාහ බිඳවැටීම් දික්‌ කසාද වලට ප්‍රධාන හේතුව වශයෙන් සැලකෙන්නේ කායික නොගැලපීමයි. මෙහිදී අධිකාම යෝග මෙන්ම ලිංගික උදාසීන බව යන අංශ දෙක ගැනම පරීක්‍ෂා කළ යුතුවේ. කාන්තාවකගේ හෝ පිරිමියෙකුගේ අධික ආශාවන් පෙන්වන අධිකාමයෝග යෙදී තිබේ නම් ඔහු හෝ ඇය වැරැදි කාම සේවනයට පෙළබීමට ඉඩ තිබේ. කුජ, ශූක්‍ර කේන්ද්‍රයේ 5, 8, 12, 7 වැනි ස්‌ථානයක යෝග වීම අධික කම් සැප කෙරෙහි ඇල්මක්‌ දක්‌වන බව පෙනේ. මෙවැනි අයට ඊට සමාන කේන්ද්‍ර හිමි අය ගැලපේ.

හත්වැන්නේ ශනි, බුධ, වැනි ග්‍රහයින් පිහිටීම හා දුර්වල වීම ලිංගික ජීවිතය උදාසීන කිරීමට හේතු වනවා ඇත.

මානසික ගැලපීමද බැලිය යුතුය. අධික ලෙස කේන්ති ගැනීම හෙවත් ද්වේෂය, සොර සිත, ආඩම්බර බව වැනි කරුණු ද විවාහයට ශුභ නොවේ. ලග්නය හා ලග්නපති ගේ තත්ත්වය අනුව මෙය වටහා ගත හැක. දෙවැන්නේ පාප ග්‍රහයින් වන කුජ දුර්වලවීම රාහු සිටීම නිසා පරුෂ වචන, හිස්‌වචන දොඩන ද්වේෂය පලකරන කෙනෙකු බිහි වේ.

කේන්ද්‍රයේ මීළගට පරීක්‍ෂා කළ යුතු වැදගත්ම කරුණක්‌ වන්නේ බහු විවාහ යෝග ඇත්ද යන්නයි. බහු විවාහ යෝග යනු එකකට වැඩි ගණනක්‌ විවාහ සිදුවන යෝග වේ.

හත අධිපති පාපයන් සමග සංයෝගවීම, හතේ සිකුරු නීච වීම, කාන්තාවකගේ නම් හතේ කුජ නීචවීම හත අධිපති 12 සිටීම කුජ සිකුරු දුර්වලව හතේ සංයෝග වීම බහු විවාහ සිදුවීමට ඉඩ ඇති බව පෙන්වයි.

ඉහත දක්‌වන ලද්දේ පොරොන්දම් පරීක්‍ෂාවට පෙර බැලිය යුතු කරුණු කිහිපයකි. කෙසේ නමුත් විවාහය පිළිබඳ තීරණ හදිසියේ ගත යුතු නැත. උක්‌ත කරුණු පිළිබඳව හදිසි නොවී ප්‍රවේශමින් සලකා බැලිය යුතුය. ආදරවන්තයින්ට කිව යුත්තේ විවාහ ජීවිතය ඔබ ප්‍රාර්ථනා කරන තරම් සුන්දර රෝස මල් යහනාවක්‌ නොවන බවය. එහි නොගැලපීමක්‌ ඇතොත් ජීවිත කාලය පුරා දරා ගත යුතු වනු ඇත. එය එතරම් පහසු කටයුත්තක්‌ නොවේ.

එමෙන්ම විවාහය බොහෝ විට පෙර ආත්මයක සිට එන කර්මානුකූල සිදුවීමක්‌ බව පෙනේ. ඉතා හොඳ සහකරුවකු හෝ සහකාරියක ලැබීමට පෙරපින් ද අත්‍යාවශ්‍ය ය.ඔබේ යුග දිවිය සර්ව ප්‍රකාරයෙන් සාර්ථක වේවා.

We found this article from Divaina
Also Sinhala to English Google word to word translation can be found here