ශනි හතේ නම් කුජ හතේ කෙනෙක්‌ නොගැලපේ

2075
ශනි හතේ
ශනි හතේ

[ratings]

ස්‌ත්‍රී – පුරුෂ දෙපක්‍ෂයේම සත්වැන්න පාප පීඩිත වීම විවාහයට අශුභ පිහිටීමක්‌ ලෙස සැලකේ. රවි, රාහු, කුජ, කේතු විශේෂයෙන් සත්වැන්නට අශුභයෝය. ශනිද සත්වැන්නට අශුභයයි මතයක්‌ පවතී. ස්‌ත්‍රී කේන්ද්‍රයක නම් හත අට දෙකටම ශනි අශුභ ලෙස සලකති.

රතු ඇස්‌ හා කෙසඟ ශරීර අවයව ඇති, ලොකු දත් හා ගොරෝසු කෙස්‌, ලොම් යුත්, වම් පය කෙටි, කපුටකු වාහනය කරගත් පිළිකුල් පෙනුමැත්තකු ලෙස ජ්‍යෙdතිෂ ග්‍රන්ථයන්හි ශනි හඳුන්වාදී ඇත. දුකට අධිපතියා ලෙසත්, කම්කරුවන්ට බලපාන කරදරකාරයා ලෙසත් සමහරු ශනි දකිති.

ඡායා ග්‍රහයන් වන රාහු හා කේතුට හැර සප්ත ග්‍රහයන්ට දිග්බල ස්‌ථාන වෙන්කොට ඇත. එම න්‍යාය අනුව බුද, ගුරු ලග්නයටත්, සඳු, සිකුරු සිව්වැන්නටත් ශනි සත් වැන්නටත්, රවි, කුජ දස වැන්නටත් දිග්බල ලබති.

එසේ නම් දිග්බල ස්‌ථානය වූ හතට ශනි අශුභ ඇයි? සත්‍ය වශයෙන්ම එය සම්මත කරගත් වැරැදි මතයක්‌ පමණි.

ඕනෑම දුකක්‌, කරදරයක්‌ විඳ දරා ගැනීමට ශනි සමත් ය. විවාහයද බොහෝ දෙනා පවසන පරිදි රෝසමල් යහනක්‌ නොවේ. එහි රෝස කටුද තිබේ. මහත් දුක්‌ කරදර විඳ දරාගෙන ජීවිතාන්තය දක්‌වා යා යුතු වගකීම් වලින් බැඳුණු ගමනකි විවාහය.

විවාහ වී ටික කලක්‌ ගතවන විට දරුවන්ගේ කරදර, ඥති මිත්‍රාදීන්ගේ කරදර, නිවසේ ඉවුම් – පිහුම්, මැහුම් – ගෙතුම්, කරදර, රෝග පීඩා, සැමියාගේ සැප පහසුව සඳහා අනේකවිධ දුක්‌ කරදර විවාහක කාන්තාවක විසින් විඳිනු ලබයි. පුරුෂයා ද එසේම දුක්‌ කරදර විඳිය යුතුය.

ශනි දුකට අධිපතියා බැවින් බොහෝ කම්කරුවන්ගේත්, කාර්මිකයන්ගේත්, ඉංජිනේරුවන්ගේත් කේන්ද්‍රයන්හි දස වැන්නෙහි පිහිටා ඇති බව පෙනේ.

ලග්නය යනු හිසය. එය බුද්ධියට අධිපති බුද, ගුරු දෙදෙනාට වෙන් විය. ශරීරයේ (පහත) අනික්‌ කෙළවර හත්වැන්නයි. ශනිට දී ඇත්තේ එහි දිග් බලයයි. හතට අයත් වන්නේ ලිංගේන්ද්‍රිය හා ශරීරයේ අපවිත්‍ර දෑ පිට කරන ප්‍රදේශයයි. ඒ ප්‍රදේශය නිතර අපිරිසිදු වේ. එය පිරිසිදු කළ යුත්තේ කම්කරුවෙකි. එබැවින් කම්කරු ග්‍රහයා වූ ශනිට එහි දිග්බලය දීම ඉතා සාධාරණය.

පැමිණි දුක්‌ මිහිරි රස සේ සලකා කටයුතු කළ හැකි ග්‍රහයා ශනිය. ශනි සත්වැන්නේ සිටීම දෝෂයක්‌ නොවේ. එහෙත් අන් අයගේ විවාහවලට වඩා කැපී පෙනෙන විවාහයක්‌ ශනි සත්වැන්නේ සිටීම නිසා සිදු වේ. එසේත් නැත්නම් විවාහය සිදුවීම පමා කරයි.

ශනි දුර්වල, මහලු ස්‌වරූපය ගත් ග්‍රහයා නිසා සත්වැන්නේ ශනි සිටින්නා ඉක්‌මනින් මහලු බවට පත්කරයි. ලෝකෝත්තර ක්‍රියාවනට බර ග්‍රහයා බැවින් විවාහයේ උනන්දුව අඩු වේ. හතට අයත් ප්‍රදේශයේ හටගන්නා රෝග නිසාද විවාහ ප්‍රීතිය අඩු කරයි. නැති කරයි.

ශනි සත්වැන්නේ සිටින්නා හෝ සිටින්නී තමන් සිටින ස්‌ථානය හෝ නිවස පිරිසිදුව තබා නොගනී. එය අන්‍යයන්ගේ සිත්ගන්නා තැනක්‌ බවට පත්කර ගැනීමට නොසිතයි. ඇඳුම් පැළඳුම්, පොත්පත්, බඩු බාහිරාදියද පිළිවෙළකට තබා නොගනී. තමාගේ ඇඳුම, පිරිසිදුකම ගැනද තැකීමක්‌ නොකරයි. එබැවින් එවැන්නකු හෝ එවැන්නියක හෝ සමග විවාහයකට කිසිවෙක්‌ ප්‍රිය නොකරති. විවාහ වුවද පරස්‌පර විරෝධී අදහස්‌ නිසා එය පවත්වාගෙන යැම අසීරු වේ.

ඉහත කරුණු අනුව ශනි හතේ සිටින්නියකට විවාහය සඳහා ගැළපෙනුයේ ශනි හතේ සිටින්නකුම බව මනාව පැහැදිලි වේ. කුණු ගොඩකට එක්‌විය යුත්තේ කුණු ගොඩක්‌මය.

ශනි හතේ සිටින කේන්ද්‍රයකට කුජ හතේ සිටින කේන්ද්‍රයක්‌ කිසිසේත්ම නොගැළපේ.

ගුරු, රාහු හා කේතු හයේ සිටින කේන්ද්‍ර යන්තමින් ගැළපේ. විවාහ ගැළපීමේදී විශේෂයෙන් මේ පිළිබඳවද සිත යොමුවිය යුතුය.

We found this article from Divaina on 2011/09/16.
Also Sinhala to English Google word to word translation can be found here